කාලි තරම් මම දරුණු නැහැ – ලක්‍ෂි ජයවර්ධන



ලක්‍ෂිකා ජයවර්ධන මීට අවුරුදු පහකට කලින් රංගනයෙන් තාවකාලික විරාමයකට යනව, ඒ ඇයගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්.දැන් නැවතත් සුපුරුදු රිද්මයෙන් ලක්‍ෂි ජයවර්ධන නමින් ඇය වැඩ පටන්ගෙන.


තත්පරයක් දෙන්න ටෙලිනාට්‍යයේ කාලි ගැන ප්‍රේක්‍ෂකයො මොකද කියන්නෙ?


මේ ටෙලි නාට්‍යයේ යම්කිසි කොටස් ප්‍රමාණයක් විකාශය වෙමින් තියෙන අතරතුර තමයි මට මේ ආරාධනය ලැබෙන්නෙ. දැවැන්ත චරිතයක් වුණත් මට ඒ වෙනුවෙන් සූදානම් වෙන්න තිබුණෙ දවස් කිහිපයක් පමණයි. මේ දේවල් එක්ක ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළ මට්ටමක තියෙනව.


ඔබ නිර්මාණයකට සම්බන්ධ වුණේ බොහොම කාලෙකින්?


ඔව්, මගේ අධ්‍යාපන කටයුතු නිසා අවුරුදු පහක් නිර්මාණවලින් ඈත්වෙලා හිටියා. අවුරුදු පහකට පස්සෙ මම වැඩකරන්න පටන්ගත්තෙ සියත නාළිකාවේ විකාශය වන ඔෆිස් ලන්තේ ටෙලිනාට්‍යයේ. නමුත් තත්පරයක් දෙන්න ටෙලිනාට්‍යයේ කාලිගෙ චරිතය නිසා මගේ ගමන වෙනම මානයකට යොමු වුණා. මොකද මම මීට අවුරුදු පහකට කලිනුත් ක්ලැසික් වැඩත් එක්ක තමයි හිටියෙ. මීට කලින් දෙරණ නාළිකාවේ විකාශය වුණ රාවණා ටෙලිනාට්‍යයේ මගේ චරිතය වුණේ භද්‍රා කාලි. අවුරුදු පහකට කලින් මම නවත්තපු තැනින් නැවත පටන් ගන්න මට සුපුන් අයියා තත්පරයක් දෙන්න තුළින් අවස්ථාව උදාකරල දුන්නා.


මේ අවුරුදු පහේ කොහේද හිටියෙ?


මම ලංකාවෙ හිටියා.


ලක්‍ෂි ක්‍ෂේත්‍රයට එන්නෙත් සිනමාව හරහා?


මම ක්‍ෂේත්‍රයට එන්නෙ වයස අවුරුදු විස්සෙදි, මිචෙල් ෆොන්සේකා අධ්‍යක්‍ෂණය කළ සුපිරි අන්දරේ චිත්‍රපටය හරහා. ඒ වැඩත් එක්ක මගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යන්න බැරි වුණා. නමුත් දැන් ෆුල් ටයිම් වැඩකරන්න මට අවස්ථාව තියෙනව. කොහොම වුණත් මගේ බලාපොරොත්තුව වෙන්නෙ ගුණාත්මක බවින් ඉහළ නිර්මාණත් එක්ක සම්බන්ධ වෙන්න තමයි.


නැවත සම්බන්ධ වීම මොන වගේ අත්දැකීමක්ද?


ඒක වෙනම ම ෆීලින් එකක්. ක්‍ෂේත්‍රයේත් වෙනස්කම් ගොඩක් සිද්ධ වෙලා වගේම මම කලින් වැඩකරපු අය වෙනුවට අලුත් අය ගොඩක් ඉන්නව. මගේ සමකාලීනයන් ගොඩක් ඉදිරියට ගිහින් තියෙනව. මේ හැම දේකටම මම ඉතා හොඳ මානසිකත්වයෙන් මුහුණ දෙන්න ඕන වගේම ඒකට ක්‍ෂේත්‍රයේ හැමෝගෙන්ම වගේ මට හොඳ සහයෝගයක් ලැබුණා.


ලක්‍ෂි සැබෑ දිවියේත් මේ වගේ නපුරුද?


ඇත්තටම මට ටිකක් තරහ යනව. ඒ වුණාට මේ වගේ කිසිම මනුස්සයෙකුට මම පිහියෙන් ඇනල නැහැ. එහෙම වුණත් ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න මම උත්සාහ කරනව.


මේ චරිතය වෙනුවෙන් බැනුම් අහන්න වෙලා නැද්ද?


ඇත්තටම මම මුලින් හිතුව මේ චරිතය හරහා මට නරක ප්‍රතිචාර ලැබෙයි කියල. නමුත් මේ නාට්‍යය බලන්නෙ එක්තරා මට්ටමක ඉන්න පිරිසක්. ඔවුන්ගේ අධ්‍යාපන තත්ත්වයත් එක්ක මාව හොඳ විදිහට භාරගත්තා. මොකද ඔවුන් සමග කතාකරන මොහොතට මම ඒ දේ හොඳින්ම තේරුම් ගත්තා.


අවුරුදු පහක විරාමය නිසා ක්‍ෂේත්‍රයේ රැඳෙන්න තිබුණ හොඳම කාලයක් අපතේ ගියා කියල හිතෙනවද?


ඇත්තටම රංගනය වෘත්තීය මට්ටමින් කරනව කියන දේට වඩා මම රංගනයට බොහොම ලව් කරනව. කාලයක් ඈත් වෙලා හිටියත් නැවත ආරාධනා කරල වැඩකරන්න පටන්ගත්තාම ඒක ඇඟ ඇතුළෙ නළියනව වගේ දෙයක් වෙනව. චරිතයක වටිනාකම මිසක ලැබෙන මුදල නෙමෙයි මම මුලින්ම බලන්නෙ. විරාමයක් ගන්න සිදු වුණ කාලය අපරාධයක් කියල නොහිතෙනව නෙමෙයි. නමුත් මම නිතරම හිතන්නෙ හැමදේම වෙන්නෙ හොඳට කියල. ඒ නිසා මට අද වෙනස්ම විදිහට ක්‍ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබිල තියෙනව.


කාලි නිසා අලුත් ආරාධනා ලැබුණද?


ඇත්තටම කාලි නිසා අලුත් ආරාධනා ගොඩක් ලැබුණා. වියළි නාට්‍යයේත් ඉදිරියේදී මම වැඩකරනව. මේ දවස්වල රූපවාහිනි නිෂ්පාදනයක් වන ෆ්ලැට් නොවන ෆ්ලැට් නිර්මාණයටත් සම්බන්ධ වෙනවා. ලබන මාසෙ 08 වැනිදා සිට සතියේ දින පහේම මේ ටෙලිනාට්‍ය විකාශය වෙනව.


ඉගෙනගන්න අතරතුර මොනවද කළේ?


ඉගෙනගන්න අතරතුර මම පොඩි බිස්නස් එකක් කළා. තවමත් තියෙනව. නමුත් ලොකුවට කරගෙන යන්නෙ නැහැ. මේ දිනවල ෆුල් ටයිම් රංගනයට තමයි සම්බන්ධ වෙන්නෙ.


හොඳම නිළිය සම්මානය ලක්‍ෂිකාගේ හීනයක්?


හොඳම නිළිය හෝ නළුවා වෙන එක මම හිතන්නෙ ඕනෑම කලාකරුවකුට තියෙන හීනයක්. නැහැ කියනවනම් ඒක බොරුවක්. මටත් ඒ ගැන හීනයක්, ආසාවක් තියෙනව. මට ලැබෙන චරිත සියයට සියයක්ම හොඳින් කරනව කියල අහන්න ලැබෙනතුරු මට තෘප්තිමත් වෙන්න බැහැ.


වියළි ටෙලි නාට්‍යය ගැන කතා කළොත්?


වියළි කියන්නෙත් ලස්සන වැඩක්. චන්දන ඉරුගල්බණ්ඩාර අයිය මට ආරාධනා කළා ඔවුන් එක්ක සම්බන්ධ වෙන්න කියල. මට ලැබිල තියෙන්නෙ සාස්තර කියන කාන්තාවකගේ චරිතයක්.


ලැබෙන චරිත ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?


මට ලැබෙන චරිත ගැන අසතුටක් නැහැ. විවිධාකාර චරිත කරන්න මම හරි කැමැතියි වගේම ලැබෙන චරිත සතුටින් කරනව.


ජනප්‍රියත්වය ගැන අදහස මොන වගේද?


මම හිතන්නෙ ජනප්‍රිය වෙන්න ඕනෑම කෙනෙක් කැමැතියි. මට ජනප්‍රියත්වය ලැබෙන්නෙ මම කරන චරිත එක්ක. ඒක ලොකු ආභරණයක් කරගෙන දඟලන්න යන්නෙ නැහැ. නමුත් මම ඒ ගැන හරිම තෘප්තිමත්.


ආදර යෝජනාත් අඩුවක් නැහැ?


ආදර යෝජනා නම් එනව. නමුත් මම දැඩි තීරණයක් අරගෙන තියෙනව තව අවුරුදු තුනක් හෝ පහක් යනතුරු ආදර සම්බන්ධයකට හෝ විවාහයකට යන්නෙ නැහැ කියල.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post