ටීවී එකේ ලස්සනට පෙනුණාට ජීවිතේ ගැන කලකිරුණ අවස්ථාත් තියෙනවා – පූජනී භාග්‍යා



සතියේ දිනවල රාත්‍රි 8.00ට ස්වාධීන රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වන “ආයාචනා” ටෙලිනාට්‍යයේ “ආදී”ගේ චරිතය තුළින් ඔබේ දෑස් මානයට එන නව පරපුරේ, ආදරණීය ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනාගත් රංගන ශිල්පිනී පූජනී භාග්‍යා සමඟිනුයි මෙවර අපේ කතාබහ ඇරඹෙන්නේ.

කොහොමද මේ දවස්වල ජීවිතේ?


මේ දවස්වල ජීවිතේ ගොඩක්ම ගෙවෙන්නේ “ආයාචනා”ටෙලිනාට්‍ය එක්ක. ඒ අතරේ තව අලුත් ටෙලිනාට්‍යයක රූගත කිරීම්නුත් පටන් අරගෙන තියෙනවා. මේ වෙද්දි ටෙලිනාට්‍ය දෙකක් රූගත කිරීම් කරගෙන යනවා. ඒ අතරේ ඉතින් මගේ Sheer by Pooji ව්‍යාපාරයේ වැඩකටයුතුත් කරගෙන යනවා.

ආදිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


ගොඩක්ම ප්‍රතිචාර ලැබෙන්නෙ මම පයිලට් යුනිෆෝම් එක ඇඳගෙන ඉන්නවට. මම ගොඩක් වැඩ කරලා තිබුණට, මේ වගේ චරිතයකින් එළියට එන පළමුවැනි පාර නිසා ගොඩක් අය “ආදි”කියන චරිතය වටා එකතුවෙලා ඉන්නවා කියලා මට හිතෙනවා. ඉතිං ආදිට මම හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර තියෙනවා.


පූජනී රඟපාන්න සිහින දැකපු චරිතයක් නේද අද මේ ලැබිලා තියෙන්නේ?


ඇත්තටම මම හීන දැකපු, කැමැත්තෙන් හිටපු චරිතයක්. පයිලට් යුනිෆෝම් එක අඳින්න මම හරි ආසයි. පාසල් යන කාලෙත් මම හිතාගෙන හිටියේ එයාෆෝස් එකට යනවා කියලා. ඒ යුනිෆෝම් එකටත්, එයාර්හොස්ටර් යුනිෆෝම් එකටත් මම හරිම කැමැතියි. ඒ වගේ පොඩි කාලෙ ඉඳලා ආසාවෙන් හිටපු යුනිෆෝම් එකක් අඳින්න පුළුවන් වෙන්නේ මෙහෙම චරිතයකින් විතරයි. නැත්නම් දැන් අපේ වයසත් එක්ක එහෙම තැනකට එන්න බැහැනේ. මගේ උස, මහත එක්ක මම හිතනවා ඒ යුනිෆෝම් එක මට ගැළපෙනවා කියලා. ඉතින් මගේ ජීවිතේ එක බලාපොරොත්තුවක් ඉෂ්ට වුණා.


මෙදා පාර උපන්දිනයට ගයාන්ගෙන් ලැබුණු අමතක නොවන තෑග්ග මොකක්ද?


මෙදා පාර ගයාන්ගෙන් ස්පෙෂල් තෑග්ගක් ලැබුණා. ලස්සන බෑග් එකක්. ගොඩක් වෙලාවට ඉතින් එයාගෙන් මට ගිෆ්ට්ස් ලැබෙනවා. එයා ටුවර්ස් ගිහින් ආවම මට හැමදාම බර්ත්ඩේ වගේ තමයි. එක එක දේවල් ගෙනත් දෙනවා.


සිනමා නිර්මාණවලටත් සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණද?


චිත්‍රපටවලට ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි මට සෑහීමකට පත්වෙන්න පුළුවන් විදියේ සහ මම බලාපොරොත්තු වන විදියේ නිර්මාණවලට ආරාධනා තවම ලැබිලා නැහැ. ඒ වගේ නොයෙකුත් හේතු නිසා ආසාවෙන් භාරගන්න සහ මට කරන්න තරම් සුදුසු නිර්මාණයකට නං තවම ආරාධනා ලැබිලා නැහැ.


පූජනීගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය?


මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය විදියට මට ගයාන්ව මුණගැහුණු එක කියන්න පුළුවන්. කලා ක්ෂේත්‍රය ඇතුළේ නම් 2018 හිරු අවුරුදු කුමරිය තරගාවලිය කියන්න පුළුවන්. මොකද ඊට පස්සේ තමයි මගේ ජීවිතේ මට ලැබුණු වාසනාවන්තම දේවල් සියල්ලම ලැබුණේ.


ගයාන්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?


ගයාන්ගෙන් ලැබෙන සහයෝගය ඇත්තටම ගොඩක් හොඳයි. දෙන්නම එකම ක්ෂේත්‍රයේ නිසා වෙන පුද්ගලික ප්‍රශ්න නැහැ. එයාගේ පාරේ එයා යනවා. මගේ පාරේ මම යනවා. අපි දෙන්නගෙම ජීවිතවල නීති රීති, සීමා මායිම් නෑ. අපි දෙන්නම හරිම අවබෝධයෙන් තමයි මේ ගමන යන්නේ. මම මේ ක්ෂේත්‍රයට එනකොටමයි ගයාන්ව මුණගැහෙන්නෙ. එදා ඉඳලා අද වෙනකම් කිසිම කෙනෙක්ගෙන් කිසිම අනවශ්‍ය කතාවක්, අනවශ්‍ය යෝජනාවක් මට ඇවිල්ලා නැහැ. ඇත්තටම ඒ හැමදේටම මට ලොකුම හයිය වෙන්නේ ගයාන්.


දැන් වෙඩින් එකට තව දවස් කීයද?


වෙඩින් එකට නම් දැන් ටිකක් ළඟයි. අපි ඉතින් සූදානම් වෙමින් ඉන්නවා.


උස කියන්නේ ගැහැනු ළමයකුට ආභරණයක්නේ.


උස නිසාම ජීවිතයට ලැබුණු දේවල් තියෙනවද?


ඔව්. ඇත්තටම මගේ උස අඩි පහයි අඟල් අටයි, ඉතින් මම හිතන්නේ “ආයාචනා” ටෙලිනාට්‍යයේ ආදි කියන චරිතය මට ලැබුණෙත් මගේ උස නිසයි. මොකද ඒ යුනිෆෝම් එක අඳින්න, ඒ පර්සනල්ටි එක තියෙන්නම ඕනෑ. ඒ වගේම තමයි උස නිසා ගොඩක් තැන්වලදී කැපිල පේනවා. මම හිතනවා සමහර වෙලාවට අපි හිතන්නෙවත් නැති පර්සනල්ටි එකක් උස නිසා ලැබෙනවා කියලා. හැබැයි ඒ වගේම ඇඳුම් එහෙම ගන්න ගියාම උස නිසාම අවාසි වෙන වෙලාවලුත් තියෙනවා. මොකද මම කැමැති සමහර ඇඳුම් හොයාගන්න අමාරුයි.


රංගනශිල්පිනියක් වීම ගැන මොකද හිතන්නේ ?


ඇත්තටම සතුටුයි. හැබැයි ඒ වගේම කලකිරීම් ඇතිවුණ අවස්ථාවලුත් තියෙනවා. කාර්යබහුල වෙද්දී හරිම මහන්සියි. ඒ වෙලාවට නම් හිතෙනවා ටීවි එකේ ලස්සනට පෙනුණත් මේ ජීවිතේ මොකක්ද කියලත්. තව ක්ෂේත්‍රයේ එකට ඉන්න, ඇතැම් අය කෙටි මාර්ගවලින් ඉහළට යන විදිය දැක්කමත් ඇත්තටම කලකිරෙනවා. හැබැයි අද මට සතුටු වෙන්න පුළුවන් කිසිම කෙනෙකුට හානියක් නොකර, මගේම මහන්සියෙන්, මගේම ගමනක් පොඩියට හරි මම අද ඇවිත් තියෙනවා කියලා.


පූජනී අද ඉන්න ස්ථාවරත්වය ගැන ගෙදර අයට මොනවගේ සතුටක්ද තියෙන්නෙ?


මම මේ ගමන පටන් ගත්තෙ හරිම පුංචි තැනකින්. මම සාමාන්‍ය පවුලක ගෑනු ළමයෙක්. එදා ඉඳලම ජීවත් වුණේ හරිම සරල විදියට. එහෙම පුංචිම තැන ඉඳලා පටන් ගත්ත කෙනෙක් ආයෙ මගදි වැටුණත් රිදෙන්න දෙයක් නෑ. මට හරිම සතුටුයි මේ අවුරුදු ගාණ ඇතුළේ, මගේ හෘද සාක්ෂියට එකඟව හෙමින් ආපු මේ ගමනට.ඒ ගමනට මගේ අම්මා, තාත්තා, නංගිලා දෙන්නත් අද ගොඩක් සතුටු වෙනවා. අම්මා තමයි මුලදී මගේත් එක්ක හැම තැනටම යන්න ආවේ. හැමතැනදීම අම්මා තමයි මාත් එක්ක හිටියේ. අදටත් අම්මා, තාත්තා, නංගිලා දෙන්නා මගේ ඩ්‍රාමා එකක් යද්දි හරි සතුටින් බලනවා. මම අද ඉන්න තැන ගැන වැඩියෙන්ම, අවංකවම සතුටු වෙන්නේ මගේ ගෙදර අය තමයි.


පාරමී කෞෂිකා



Previous Post Next Post