ලලයි ලිලයි ලයි ඉඩෝරයට පොද වැස්සක් වගේ



ෆර්නි රෝශිනී කියන්නේ එදා වගේම අදත් කලා ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රේක්ෂක ආදරය ලබන දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පිනියක්. මේ දිනවල විකාශය වන ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යයේ ධනුෂ්කගේ් අම්මාගේ චරිතයෙන් ඔබ හමුවට එන ෆර්නි රැල්ල වෙරළට ආදරෙයි, හපන්නු අපි, ගමේ රාජ්ජේ වැනි ටෙලි නාට්‍ය  නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වෙනවා. ඉතින් ඇගේ මේ කලා කටයුතු ගැන මෙවර හදගැස්ම සමඟින් අදහස් බෙදාගත්තේ මෙලෙසින්.


ඉතින් ඔබට කොහොමද?


මේ දිනවල ගොඩක් හොඳින් සතුටින් කාලය ගත කරනවා.


ඔබේ කලා කටයුතු ගැනත් මතක් කළොත්?


මේ දිනවල සුපුන් රත්නායක අධ්‍යක්ෂවරයාගේ “ලලයි ලිලයි ලයි” කියන ටෙලි නාට්‍ය නිර්මාණය ඉතාම සාර්ථක ලෙස විකාශය වෙනවා. ඉතින් මේ නිර්මාණයේ දනුෂ්කගේ අම්මාගේ චරිතයට මම රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම රැල්ල වෙරළට ආදරෙයි, හපන්නු අපි, ගමේ රාජ්ජේ වැනි නිර්මාණ කිහිපයක්ම විකාශය වෙනවා. ඒ අතර වේදිකා නාට්‍ය කිහිපයකම වැඩ කටයුතු කරගෙන යනවා.


ඉතින් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඇත්තටම ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ දිනවල වේදිකාගත වන වේදිකා නිර්මාණත් එක්ක  ලංකාව පුරාම අපට යන්න ලැබෙනවා. ඉතින් මිනිසුන් අතරට යන්න ලැබෙන නිසාම ලලයි ලිලයි ලයි නිර්මාණයට වගේම එයට රංගනයෙන් දායක වන රංගන ශිල්පීන්ට සහ රංගන ශිල්පිනියන්ට හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියන දෙය මම අත්දකිනවා. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට හිතෙනවා ලලයි ලිලයි ලයි නිර්මාණය කියන්නේ වියළි ඉඩෝරයකට පොද වැස්සක් වගේ කියලා. ඇත්තටම මට ඒ ගැන නිහතමානී සතුටක් තිබෙනවා.


ඔබ රංගනයෙන් දායක වුණු අක්ෂි ටෙලි නාට්‍ය වගේම ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යයත් එකසේ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණා. ඇත්තටම ඔබ නිර්මාණ තෝරා ගන්නේ කොහොමද?


මගේ රූපයත් එක්ක ඇතැම් අධ්‍යක්ෂවරු සිතනවා මට මේ චරිතය කරන්න පුළුවන් වෙයි කියලා. ඒ විශ්වාසයත් එක්ක තමයි ඔවුන් මට කතා කරන්නේ. ඉතින් ඒ චරිතය ඇතුළේ මට දෙයක් කරන්න තිබෙනවා කියලා හිතෙන චරිත මම භාර ගන්නවා. ටී.වී. එකෙන් මුහුණ පෙන්නගෙන ඉන්න චරිතයක් කරනවාට වඩා ප්‍රේක්ෂකයන්ට දැනෙන චරිතයක් කරන්න තිබෙනවා නම් රංගන ශිල්පිනියක් ලෙස මම සාර්ථකයි කියලා සිතෙනවා. ඉතින් ඒ වගේ නිර්මාණ මම භාර ගන්නවා.


ඔබ රංගනයෙන් දායක වන නිර්මාණ කිහිපයක්ම එකවර විකාශය වෙනවා. මේ බැරෑරුම් කාර්ය ඔබ කොහොමද සිදු කරන්නේ.


ඇත්තටම එය පහසු නැහැ. නමුත් මම රංගනය තුළ චරිතවලට උපරිම සාධාරණයක් කරන කෙනෙක්. ඒ වගේම එකවර චරිත කිහිපයක් විකාශය වෙනවා කියන්නේම රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ප්‍රේක්ෂකයන්ගේ අවධානයට නිතරම ලක්වෙනවා කියන එක. ඒ නිසා චරිත ඇතුළේ වෙනස් දෙයක් කරන්න උත්සාහ කරනවා නම් එකම චරිතය වුණත් ප්‍රේක්ෂකයන්ට විවිධ ලෙස දැනෙනවා. ප්‍රේක්ෂකයන් මට මෙතරම් ආදරය කරන්නේ මම සාර්ථකව චරිත පෝෂණය කරන නිසා වෙන්න ඇති කියලා මම හිතනවා.


බොහෝදෙනා සාර්ථක ටෙලිනාට්‍ය බිහිවෙන්නේ නැහැ කියලා පැවසුවත් මෑත කාලයේදී සාර්ථක ටෙලිනාට්‍ය නිර්මාණ රැල්ලක්ම බිහිවුණා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?


ඇත්තටම ඒක තමයි වෙන්න ඕනෑ. මීට පෙර මෙගා ටෙලි නාට්‍යවලට රැල්ලක් හැදිලා තිබුණා. නමුත් ඒ රැල්ල මේ වන විට බිඳගෙන ගිහින්. වර්තමානයේ බිහිවෙන ටෙලි නාට්‍යවලට හොඳ හරයක් තියෙනවා.  මෙය තමයි විය යුතුම දේ කියලා මම හිතනවා.


ඔබ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඉතින් වර්තමානයේ අපේ රටේ නවක රංගන ශිල්පීන් සහ රංගන ශිල්පිනියන් එක්ක වැඩකරන්න ලැබීම මොන වගේ අත්දැකීමක්ද?


මම නම් දකින්නේ අපේ රටේ ඉන්න වර්තමාන කලාකරුවන් බොහොම දක්ෂයි. ඔවුන් නිර්මාණ ඇතුළේ තමන්ගේ රාජකාරිය නිසි අයුරින්ම කරනවා. නවක පරම්පරාව ඔවුන්ගේ චරිතවලට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා.  ඒ නිසා තමයි ඔවුන්ව එතරම්ම ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ.  මෙවැනි දක්ෂ නවක පරපුරේ කලාකරුවන් එක්ක වැඩ කරන්න මම නම් පෞද්ගලිකව කැමැතියි.


ඔබේ කලා ජීවිතය ඇතුළේ වේදිකාව අමතක කරන්නම බැහැ. ඉතින් ඒ ගැනත් කතා කළොත්?


ඔව් මේ දිනවලත් මිහිර සිරිතිලකයන්ගේ අධ්‍යක්ෂණයෙන් ගරු තරු කියන නවතම වේදිකා නාට්‍යය වේදිකාගත වුණා. මමත් මේ නිර්මාණයත් එක්ක වැඩ කරනවා. ඉතින් මේ වේදිකා නාට්‍ය අපි රට වටේ රජ ගමනක අරගෙන යනවා. ඒ වගේම තාරාවෝ ඉගිලෙති කියන වේදිකා නාට්‍යයත් මේ දිනවල වේදිකාගත වෙනවා. ඉතින් මේ වේදිකා නාට්‍ය රට පුරාම සාර්ථකව ගෙන යන්න බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි වෙනවා. ඉතින් ඒ සෑම දෙනාවම මම ආදරයෙන් මතක් කරනවා.


කලාකරුවකුට වේදිකාවෙන් ලැබෙන පන්නරය ගැනත් කතා කළොත්?


වේදිකාවෙන් ලැබෙන පන්නරය නිසා තමයි අපට අනෙක් නිර්මාණවලට හොඳ විශ්වාසයෙන් සහ චරිත පිළිබඳව  අවබෝධයෙන් දායක වෙන්න ලැබෙන්නේ. වේදිකාව කියන්නේ බොහොම පොහොසත් තැනක්. ඉතින් නිර්මාණකරුවනුත් දැනගන්න ඕනෑ වේදිකාව පොහොසත් කරන්න. ඒ වගේම කලාකරුවන්ට කලා ක්ෂේත්‍රය ඇතුළේ හොඳ ගමනක් යන්න අපූරු තෝතැන්නක්. ඒ වගේම වේදිකාවට පුළුවන් පරිපූර්ණ කලාකරුවෙක් නිර්මාණය කරන්නත්.


ඔබ අධක්ෂණයට යොමු වෙන්න අදහසක් නැද්ද?


තවම නම් එහෙම අදහසක් නැහැ. මම හිතනවා මම එයට තවම සූදානම් මදි කියලා. නමුත් බලමු.


ඔබේ අනාගත බලාපොරොත්තු ගැනත් කතා කළොත්?


ඇත්තටම සතුටින් නිදහසේ කාලය ගත කරන්න ලැබෙනවා නම් මම බොහොම කැමැතියි. ඒ වගේම මට පුළුවන් උපරිමයෙන් කලාව පොහොසත් කරන්න දායක වීම තමයි කලා ක්ෂේත්‍රය තුළ මගේ එකම බලාපොරොත්තුව.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post