නිවුන් දරුවෝ තුන් දෙනෙක්ගේ පියෙක් වීම මට විශේෂ දෙයක්-චරිත් අබේසිංහ



මවක්, පියෙක් වීම ජිවීතයේ සුවිශේෂී හැඟීමක්. සුවිශේෂී වටිනාකමක්. රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂවරයෙක් වගේම නිවේදකයෙක් වුණ චරිත් අබේසිංහ ද පහුගිය දවසක පිය පදවියෙන් පිදුම් ලබලා ඒ සුවිශේෂි සතුට දෙගුණ තෙගුණ කරමින් විඳින්න වරම් හිමි කර ගත්තා. ඒ ඔවුන්ගේ කැදැල්ලට පුංචි පැටව් තුන් දෙනෙක්ම එක්වීම එක්ක. එවන් මොහොතක නිම්හිම් නැති සතුටක් දෝත දරාගෙන ඔහුට කතා කරන්නට බොහෝ දෑ තිබුණා.


ඔබ එකවර දරු පැටවු තුන් දෙනෙක්ගේ පියෙක් බවට පත් වුණා. එය දුර්ලභ, සෙනෙහෙබර ලැබීමක් නේද?   


දරුවෝ තුන් දෙනෙක් එකවර ලැබෙයි කියලා අපි හිතුවේ නැහැ. ඒ ගැන දැනගන්න ලැබෙද්දි අපිට හිතා ගන්න බැරි වුණා. මෙවැනි දෙයක් සුලභව සිද්ධ වෙන්නේ නැති නිසා අපි ඒක රහසක් විදිහට තියා ගත්තේ. හැබැයි පුතාලා දෙන්නයි දුවයි ආවට පස්සේ ඒක රහසක් විදිහට තියාගන්න බැරි වුණා. එකපාර දරුවෝ තුන් දෙනෙක්ගේ පියෙක් වීම වටිනා සහ විශේෂ දෙයක්. මේක මගේ ජීවිතේ ලොකු වාසනාවක් කියලා දැනෙන්නේ. ඒ හැඟීම, ඒ සතුට වචන කරන්න තේරෙන්නේ නෑ තවම. ඒක ඉවර වෙන්නේ නැති ආශ්වාදය නිමක් නැති ආශීර්වාදයක්, සතුටක් අපිට ලැබිලා තියෙන්නේ.


ඔබේ අලුත් අවුරුදු තෑග්ග නේද මේ කලින්ම ලැබුණේ?


ඔව්, ඔව්. මේ අවුරුද්ද මට වාසනාවන්ත අවුරුද්දක්. අපේ දරුවෝ තුන් දෙනා අප්‍රේල් පස්වෙනිදා තමයි ඉපදුණෙත්. අවුරුදු තෑග්ග කලින්ම ලැබුණා.


දුවයි පුතාලා දෙන්නයි එක්ක වැඩ රාජකාරිත් වැඩිවෙලා ඇති නේද?


ඔව්. තුන් දෙනෙක්ගෙ වැඩ කරනවා කියන්නේ ලේසි නැහැ. මට වඩා මහන්සිය තියෙන්නේ බිරියට. එක්කෙනෙක්ට කිරි දීලා ගුඩුස් යවලා එද්දි අනෙක් කෙනාට කිරි දෙන්න ඕනේ. අපේ මව්පියොත්, සහායට ඉන්න අයත් උදවු කරනවා. මේක කරදරයක් නැති මහන්සියක්. එයාලව ලොකු කරගන්න මහන්සි වෙන්න වෙනවා. මේ කාලය අමාරු වුණාට තුන් දෙනාම එකට ලොකු වෙලා තුන් දෙනාට තුන් දෙනා ඉද්දි ඒක වෙනම දෙයක් වෙයි.


බිරිය කරන කැප කිරීම මේ වෙලාවේ චරිත්ට මහ ගොඩක් දැනෙනවා ඇති නේද?


දරුවෝ කියන්නේ මගේ බිරියත් ආසාවෙන් බලාපොරොත්තු වුණ දෙයක්. අපි විවාහ වුණේ 2017දී. මීට වසර දෙකක ඉඳන් තමයි අපි දරුවෙක් ගැන හිතුවේ. හැබැයි ඒ හිතුව වෙලාවේ නෙමෙයි හරිම වෙලාවේ තමයි තුන් දෙනෙක්ම අපි ළඟට ආවේ. අපේ බලාපොරොත්තුව මල්ඵල ගැන්වීම එක්ක බිරියට ලොකු සතුටක් තියෙනවා. එයා ගොඩක් දේවල් කළමනාකරණය කරගෙන කරනවා. අපිට උදවුවට ගොඩක් අය ඉන්නවා. හැබැයි අපේ දරුවන්ගේ වටිනාකම අපිට තියෙන නිසා බිරිය හැම තිස්සෙම ඇහැගහගෙන ඉන්නේ. දැන් ඇයගේ පැය විසි හතරම ප්‍රධානව වෙන් වෙලා තියෙන්නේ දරුවන්ට. මාත් එක්ක හිටපු කෙළිලොල් චරිතය අම්මා කෙනෙක්ට මාරු වෙනවා මම දකිනවා. මහන්සි වුණත් එකවර දරුවෝ තුන් දෙනෙක්ගේ අම්මා වෙලා මගේ බිරිය උපරිම සතුටක් විඳිනවා.


කාර්‍යබහුල ජීවිතය එක්ක බිරිය ඔබව ගෙදර වැඩවලින් නිදහස් කරලද තියෙන්නේ?


මම කැමැත්තෙන් කරන වැඩ කොටසක් තියෙනවා. මට පුළුවන් උපරිම කාලය දරුවෝ වෙනුවෙන් දෙනවා. මේ ගෙවෙන කාලය ආයෙම ගන්න බැහැ. මේ මාසේ මට චිත්‍රපටයක රූගත කිරීම් කරන්නත් තිබ්බා. නමුත් ඒ රූගත කිරීම් අවලංගු වුණ නිසා මට තව කාලයක් පවුල වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් වුණා.


දරුවෝ කියන්නේ ලොකු වගකීමක්. ඔබට ඒ වගකීම දෙගුණ තෙගුණ වෙලා දැනෙද්දි වෙනදටත් වඩා මහන්සි වෙන්නත් සිද්ධ වෙයි නේද?


අපිට යම් දෙයක් කරන්න තිබ්බම අපි ඉබේම ඒ දෙයට අනුගත වෙනවා. හැම වගකීමක්ම වෙහෙසක් නොවී ඉටු කරන්න අපිට ශක්තිය ලැබෙනවා. ඒ වගේම මේ වෙලාවේ අපේ පවුල්වල අය, යාලුවෝ ඔවුන්ගේ කාලය, පරිත්‍යාගයන් කරනවා අපි වෙනුවෙන්. ඒකත් මේ වෙලාවේ හරි වටිනා දෙයක්. තව අවුරුදු විස්සක්වත් කලාව තුළ මම ජයගත් දේවල් ඉදිරියට පවත්වාගෙන යන්න ඕන. වගකීම් නැතත් තව තව වැඩ කිරීමේ ආශාවක්, පිපාසයක් මට තියෙනවා. දරුවන්ගේ වගකීම් එක්කත් මට මහන්සි වෙන්න වෙයි.


ඔබ පියෙක් විදිහට හොඳම දේ ද? හරි දේ ද දරුවන්ට දෙන්න බලාපොරොත්තු වෙන්නේ?


කොච්චර හොඳ දේවල් දීලා දරුවෝ හැදුවත් අපිට දරුවෝ මේ පවතින ලෝකයටනේ දාන්න වෙන්නේ. එතැනදී ඔවුන් යන්නේ හොඳම සමාජයකට ද කියන ගැටලුව තියෙනවා. ඒ නිසා සමාජයට අනුගත වෙමින් ජීවත් වෙන්න දරුවන්ට උගන්වන්න ඕනි කියලා මම හිතන්නේ. අකුරුවලට වඩා ඔවුන්ට ජීවිතය කියලා දෙන්න ඕනි. හොඳම දේට වඩා හරි දේ දුන්නොත් ඒක දරුවන්ට ඉදිරියටත් හොඳයි. මොකද එතකොට දරුවෝ හැමදේටම හුරුවෙනවා. අවබෝධයෙන් ජීවත් වෙනවා.


කලා කටයුතු පැත්තෙන් වැඩ කිහිපයක්ම සිද්ධ වෙනවා නේද? ඒ ගැනත් කියමු?


මම අධ්‍යක්ෂණයෙන් හා රංගනයෙන් සම්බන්ධ වෙන බඹරෙක් ඇවිත් සහ නිෂ්පාදනයෙන්, කැමරා අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වෙන පුංචි අන්දරේ කියන ටෙලි නාට්‍ය දෙක විකාශය වෙනවා. ලබන මාසේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න මුල පුරනවා. මේ ගෙවන්නේ අවිවේකි කාලයක්. හැබැයි වාසනාවන්ත කාලයක්.


දැන් ඔබේ රංගනය බොහෝ වෙලාවට දකින්නේ ඔබේ නිර්මාණවලින් විතරයි. ඇයි ඒ?


අනෙක් නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට මට ආරාධනා ලැබෙනවා. ඒවායින් නිර්මාණ කිහිපයකට විතරයි මට රංගනයෙන් සම්බන්ධ වෙන්න වෙන්නේ. දිල්ශාන් පතිරත්නගේ මීමැස්සා ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට මම සම්බන්ධ වුණා. ඉදිරියෙදී එය විකාශය වෙයි. මෙගා නාට්‍ය වගේ ඒවට කාලය වෙන් කරන්න අමාරුයි මගේ වැඩත් එක්ක. අනෙක් පැත්තෙන් මගේ වැඩක් කරලා මම උපයන ආදායම එක්ක බලද්දී වෙන වැඩක පාඩුපිට වැඩ කරන්නත් මට බෑ.


ඔබ දැන් වැඩි බර අධ්‍යක්ෂණයට ද තියලා තියෙන්නේ?


මම ඒ ඒ අවස්ථාවල කරන හැමදේම ආසාවෙන් උපරිම කැප කිරීමෙන් කරනවා. කරන වැඩේට උපරිම බර යොදනවා. නිවේදනය වුණත්, අධ්‍යක්ෂණය වුණත්, රංගනය වුණත් එහෙමයි.


ඔබ විවිධ හැඩයේ නිර්මාණ කරන කෙනෙක්. විවිධත්වයට බය නෑ වගේ?


අත්හදා බැලීම්වලට බියවන්නා තුළ ප්‍රගතියක් නෑ කියලා කතාවක් තියෙනවානේ. මම විවිධ නිර්මාණ කිරීමේ පිපාසාවෙන් ඉන්න, වැඩ කරන්න ඕනකම තියෙන කෙනෙක්. මම කරන දේ රහට කරනවා. විවිධ ශානරවල නිර්මාණ රහට කිරීම තමයි මගේ විදිහ.


තිළිණි කෞශල්‍යා විජේසිංහ




Previous Post Next Post