රඟපාන චරිතවල තරම්ම සැබෑ ජීවිතේ ෆෝවර්ඩ් නැහැ -ධනංජි තාරුකා




ධනංජි තාරුකා කියන්නේ පුංචි තිරයේ ඉන්න දඟකාර කටකාර පෙම්වතියක්. විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයින්ව ආමන්ත්‍රණය කර ධනංජි මේ දිනවලත් එකිනෙකට වෙනස් වූ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයින් අතරට ඇවිත් ඉන්නවා. ඒ ගැන වගේම ජිවිතේ ගැන රසඳුන සමඟ කතා බහ කළා.


ධනංජි මේ ගත කරන්නේ කාර්යබහුලම කාලයක් කිව්වොත්?


ඇත්තටම ඔව්. කාර්යබහුල කාලයක්. පුංචි තිරයේ සංසාරිණි, සික්ස් පැක්, හිච්චි ඒ වගේම රූපවාහිනියේ විකාශය වෙන්න නියමිත නාට්‍යයක් තියෙනවා.


ද ටාර්ගට් කියලා. ඔය නිර්මාණ හතරේම ෂූටින්වල තමයි කාලය ගත කරන්නේ. වේදිකා නාට්‍යය ඇතුළු අනෙක් කලා කටයුතුත් පුරුදු පරිදි කරගෙන යනවා.


නිවේදන පැත්තෙනුත් ධනංජිව දකින්න ලැබුණා?


ඒ දේවල් නම් කෙටි කාලීනව කරපු දේවල් ටිකක්. මගේ ෂූටින් වල තියෙන දින තත්වයන් එක්ක දිගටම නිවේදන කටයුතු කරන්න අමාරුයි. පුළුවන් විදියට ඒ කටයුතුත් කරගෙන යනවා.


මේ කාලයේ එකිනෙකට වෙනස් වූ චරිත කරන්නේ, කොහොමද ලැබෙන ප්‍රතිචාර?


ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ඉතා ඉහළයි. සික්ස් පැක් හී මෙතුකි කියන චරිතය තුළ මම නිළියක්. එහි ඉන්න චරිත හය ගත්තොත් හය විදිහක්. එක ගෙදරක එන ප්‍රශ්නවලට මුහුණ දෙමින් ඉන්න තරුණ තරුණියන් හය දෙනෙක්. ඒ තියෙන ආදරේට ඒ තියෙන බැඳීමට ගොඩක් ප්‍රේක්ෂකයින් කැමතියි. ඒ හින්දා මෙතුකිට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා. වයසක අයගේ පටන් පොඩි අය දක්වාම මෙතුකිට ආදරෙයි. ඊට වඩා ප්‍රබල විදියට එන චරිතයක් සංසාරිණි හිතුෂි කියන්නේ. හැබැයි මේ දවස්වල නම් තුෂි වෙනස් වෙලා තියෙන නිසා බැණුම් අහන ගතිය වැඩියි. ඇයි මේ විදියට වෙනස් වෙන්නේ කියලා අහනවා. කතාව ඇතුළේ සමාජයට පණිවිඩයක් දෙන්න ඕනේ. ඒ නිසා මේ දවස් වල දේශපාලනය කියන දේ තුළ සහ දේශපාලනයට ගියාම ධනය බලය කියන දේ ලැබුණාම ඕනෙම කෙනෙක් වෙනස් වෙනවා. තිමිර අයියා ඒ චරිතය ලියන විදියට මම ගොඩක් කැමතියි. කට්ටිය බණින්නේ මම ඒ චරිතය දැනෙන්න හොඳට කරන නිසානේ. හිච්චි නාට්‍යයයේ නම් මම ගුරුවරියක්. හරි නිවුණු චරිතයක්. ගොඩක් අය කියනවා ඔයා ඒ වගේ චරිතයක් කරයිද කියලත් හිතා ගන්න අමාරුයි කියලා. මම ඒ වගේ චරිතත් ඉතා ආසාවෙන් කරනවා. ඒ වගේ චරිතත් සමාජය තුළ ඉන්න නිසා.


ලැබෙන චරිත ගැන ධනංජි තෘප්තිමත් ද?


ඔව්. අනිවාර්යෙන්ම තෘප්තිමත්. මම ආව මුල් කාලේ ඉඳන්ම විවිධ වූ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයින්ගේ මතකයේ රැඳෙන චරිත කරලා තියෙනවා. ඉතින් එවැනි චරිත ඔස්සේ මට මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න ලැබෙනවා කියන්නේ සතුටුයි. කාලෙන් කාලෙට හදවතේ රැඳෙන චරිත මට ලැබෙනවා. ඒ ගැන මම තෘප්තිමත්.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


කරපු නිර්මාණ නම් ගොඩක් තියෙනවා. කොයි නිර්මාණ විකාශය වෙයිද කියන්න බැහැ. ඒ එක්කම මම භ්‍රමණය කියන අලුත් ෆිල්ම් එකේ රඟපෑවා. මම හිටියේ රොෂාන් රණවනගේ නංගිට. ඒ ෆිල්ම් එක මේ අවුරුද්දේ තිරගත වෙයි.


ධනංජිව දකින්නේ කටකාර දඟකාර චරිතයක් විදියට. සැබෑ ජීවිතෙත් ධනංජි ඔය වගේම ද?


ගොඩක් වෙලාවට එහෙම චරිතයක් තමයි. මම කවුරුත් නැතුව ඉන්න කැමති කෙනෙක් නෙවෙයි. ගොඩක් අය තනිවම හුදකලාව ඉන්නනේ ආස. නමුත් මම එහෙම නැහැ. දෙමාපියෝ යාළුවො එක්ක නිතර කතාබහ කරලා ඉන්න කැමති චරිතයක්. රඟපාන චරිත වල තරම්ම සැබෑ ජීවිතේ ෆෝවර්ඩ් නැහැ. මම හැමෝම එක්ක සුහදව කතාබහ කරලා ඉන්න කෙනෙක්.


ජිවිතේ ආදරේ කියන දේ ධනංජි අද දවසේ දකින්නේ කොහොමද?


ආදරේ කියන්නේ කාටත් පොදු දෙයක්. හැබැයි ආදරේ එකිනෙකාට එක එක විදියට දැනෙන්නේ ඒ ආදරේ දැනෙන විදියත් එක්ක තමයි ගණුදෙනු කරන්නේ. ආදරේ හරි සුන්දරයි. ඕනෙම කෙනෙක් ආදරේ විඳින්න ඕනේ. ඒ වගේම ආදරේ නිසා විඳවලා තියෙන්නත් ඕනේ. ඔය දේවල් හැමදෙයක් එක්කම ජිවිතේ ගලාගෙන යන්න ඕනේ. කොයි මොහොතකවත් ජිවිතේ කිසිම තැනකදී ආදරේ නිසා හෝ තමන් ඉන්න විදිය වෙනස් කර ගන්නේ නැතුව ආදරෙත් විඳගෙන යන ගමන් තමන්ගේ අරමුණු ඉලක්කවලට යන්න ඕනේ. අපි දකිනවා අද ගොඩක් අය ආදරේ නිසා ගොඩක් දේවල් අහිමි කර ගන්නවා. ආදරේ නිසා තේරුම් ගත්තොත් ආදරේ කරන ගමන් ජිවිතේ ඉස්සරහට යන්න පුළුවන්. ආදරේ තමයි අපිව සංවේදී කරන්නේ, ගල් වගේ ඉන්න මිනිස්සු පවා මෘදු වෙන්නේ ආදරේ නිසා. ප්‍රේක්ෂක ආදරේ නිසානේ අපි මේ කලාව තුළත් රැඳෙන්නේ. රඟපාන එක නවත්වන්න හිතුවත් ප්‍රේක්ෂක ආදරේ නිසානේ අපි තව තව නිර්මාණ කරන්නේ. ඒ නිසා ඕනෙම ආදරයක් ජීවිතේට ආදර්ශයක් කර ගන්න ඕනේ.


ආදරේ වැඩි නිසාම ධනංජි දැන් ඇති රඟපෑවා කිව්වොත්, ඔබ මොකද කරන්නේ?


මම හිතන්නේ ඒක නම් ඒ අවස්ථාව අනුව වෙනස් වෙයි කියලා. මේ වෙලාවේ නම් රංගන ජිවිතේ අතහරින්න කිසිම සූදානමක් නැහැ. මේ කලාව තුළ ජිවත් වෙන අපිට මේ කලාවෙන් ඈත් වෙලා ජිවත් වෙන්න පුළුවන්කමකුත් නැහැ. ඒක එක එක්කෙනාගේ කැමැත්ත. නමුත් කලාවට ආදරේ කරන කැමැත්ත තියෙන අය නම් ලැබෙන ඉඩඅනුව හෝ නිර්මාණයකට දෙකකට හරි සහභාගී වෙනවා. ඒ නිසා මම නම් අයින් වෙන එකක් නැහැ.


ධනංජි තාරුකා අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?


මම ගොඩක් සතුටුයි. මොකද මම හෙමින් ආව ගමනක් තියෙන්නේ. මම මේ ක්ෂේත්‍රයට ආව කාලේ අද කාලේ වගේ නෙවෙයි. නිර්මාණයකට සම්බන්ධ වෙන්න මහන්සි වෙන්න ඕනේ. අද නම් එහෙම නැහැ. සෝෂල් මිඩියා හරහා බොහොමයක් මාධ්‍යය විවෘත වෙලා තියෙනවා. මම මේ ක්ෂේත්‍රයට එන කාලේ එහෙම නැහැ. අපි පත්තරෙන් රංගන වරම් කියලා දැකලා තමයි ඔඩිෂන් ගියේ. එතකොට අපිට ලැබුණේ සීමිත අවස්ථාවන්. අපි කට්ටක් කාලා ආව ගමනක් තියෙන්නේ. අපි දකින විදියට කට්ට කාලා හිමිට හිමිට ඉස්සරහට ආව මාර්ගය හරි සුන්දරයි. ඕනෙම දෙයක සුන්දරත්වයක් තියෙන්නේ අපි අමාරුවෙන් ආව ගමනක. ඒ මඟ දිහා ආපසු හැරිලා බලද්දී ලොකු සතුටක් තියෙනවා. මුල් කාලයේ මඟතොටේදී කෙනෙක් හිනා වුණාම හිතෙන්නේ නිකම් වෙන්න ඇති හිනා වුණේ කියලා. ඒත් අද වෙද්දී මඟතොටේදී දැකලා හිනා වෙලා කතා කරද්දී හිතට දැනෙන හැඟීම වෙනස්. අද වෙද්දී රටේම සහ ලෝකයක ආදරේ ලබද්දී ලැබෙන සතුට නිම කරන්න බැහැ. මේ ගමන ආව එක ගැන උපරිම සතුටුයි.


අනුෂා රණසිංහ



Previous Post Next Post