ඇය කලාව තුළ තමන්ටම ආවේණික මං සලකුණු තබමින් උඩුගං බලා පිහිනන්නියකි. දශක එක හමාරකට වැඩි කාලයක් පුරාවට රංගනය, නිරූපණය, නිවේදනය මෙන්ම ගායනය හරහාද එක ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ ඇය සම්මානිය රංගන ශිල්පිනි යුරේනි නොෂිකායි.
මේ දවස්වල වැඩකටයුතු කොහොමද කියලම කතාව ආරම්භ කරමු?
2025 ආරම්භ වීමත් සමඟම දැනටමත් ඉතාමත් කාර්‍යබහුලයි. අලුත් ටෙලි නාට්‍යයක වැඩ බාර ගත්තා. කිඳුරංගනාවලින් පස්සේ අවුරුදු 17කට විතර පස්සේ කරන පළමු වැනි දීර්ඝ ටෙලි නාට්‍යය ඒක. ඒ වගේම රීකන්ඩිෂන් කෙල්ල ටෙලි නාට්‍යයේ තව පොඩි ප්‍රමාණයක් රූගත කිරීම් කරන්න තිබෙනවා. ඊට අමතරව මගේ හැපි අවර් වැඩසටහනේ කටයුතුවලට දායක වෙනවා. ඔය අතරතුර මේ දිනවල මෙගා ස්ටාර් සීසන් 4 ආරම්භ වුණා. මේ වැඩ කටයුතු සියල්ලම එක්ක බොහොම කාර්‍යබහුලයි. ඒ වගේම තව විදේශ සංචාර කිහිපයකුත් ඇවිත් තිබෙනවා. ඉතින් ඔය දේවල් එක්ක අප්‍රේල් මාසය වෙනකම් ඉතාමත් කාර්‍යබහුලයි.
දිනූට ලැබෙන ප්‍රතිචාර මොන වගේද කියලා දැනගන්න කැමතියි?
ලැබෙන ප්‍රතිචාර හරිම ආදරණීයයි. මම හරි වාසනාවන්තයි කියලා හිතෙනවා. මිනිස්සු පුදුම විධියට රීකන්ඩිෂන් කෙල්ලට ආදරය කරනවා. ඇත්තටම මට ඒක හිතාගන්නත් බැහැ. ලැබෙන ප්‍රතිචාර ගැන හරිම සතුටක් තිබෙන්නේ. කලාකරුවන්ගේ වගකීම තමයි ප්‍රේක්ෂකයන්ට රසාස්වාදයක් ලබා දෙන ගමන් යම්කිසි පණිවුඩයක් සමාජ ගත කිරීම. ඉතින් මම හිතනවා ඒ දේ මේ වෙද්දි රීකන්ඩිෂන් කෙල්ල හරහා සිදු වෙනවා කියලා. ඉතින් මේ වගේ සමාජයට පණිවුඩයක් ලබා දෙන, කාන්තාවන් වෙනුවෙන් පෙනී ඉන්න චරිතයක් ලැබීම ගැන මට හරිම ආඩම්බරයක් තිබෙනවා. මං ගැන විශ්වාස කරලා මට මේ චරිතය ලබා දීම ගැන මම අනුර ඒකනායක මහත්මයාට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.
රීකන්ඩිෂන් කෙල්ල හරහා නූතන තාරුණ්‍යයේ වෙනම පැතිකඩක් ගැන කතා වෙනවා. ඒ ගැන කතා කළොත්?
අද සමාජය ගොඩක් වෙලාවට පිටින් බලලා අපේ තරුණ පිරිසව වැරැදි මිණුම්වලින් මනිනවා. ඇත්තටම ඒක නිසාම රීකන්ඩිෂන් කෙල්ල හරහා අපිට ඕනෑ වුණේ මේ ළමයින්ගේ ලෝකෙට නොපෙනන පැත්ත ගැන කතා කරන්න. හැම තරුණ, තරුණියක්ම බලාපොරොත්තු, හීන පොදි බැඳගෙන කොළඹට එන්නේ ජීවිතය ජය ගන්න. නමුත් සමහර වෙලාවට ගම්වලින් එන ඒ ළමයි ඔවුන්ගේ දැනුම් තේරුම් නොමැතිකම නිසාම අසරණ වෙන අවස්ථා තිබෙනවා. අපිට ඕනෑ වුණේ ඔවුන්ගේ සානුකම්පිත පැත්තක් ඉස්මතු කරන්න. ඒ වගේම රැකියාව මොකක් වුණත් හැම ස්ථරයකම ඉන්න කාන්තාවන් ගෞරවය ලබන්න සුදුසුයි කියන දේ සමාජයට දෙන්න අපි මේ තුළින් උත්සාහ ගන්නවා. ඒ වගේම හැම කෙනෙක්ටම සමාජය නොදන්න ඔවුන්ගේම කතාවක් තිබෙනවා. ඒ කතාව නොදැන අපි කෙනෙක්ව විනිශ්චය නොකළ යුතුයි කියන දේ රීකන්ඩිෂන් කෙල්ල හරහා ප්‍රේක්ෂකයන්ට අවබෝධ කරවීමත් අනුර ඒකනායක මහත්මයාගේ එක අරමුණක්.
දිනූගේ චරිතය හරහා විනෝදාස්වාද ක්ෂේත්‍රයේ තිරය පිටුපස කතාව පෙන්නනවා. මේ චරිතය පෞද්ගලිකව ඔබට කොතරම් සමීපද?
මේ ක්ෂේත්‍රයේ ඉන්න බහුතරයකට ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව ඔය චරිතයේ ඇතැම් සංසිද්ධීන් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට සමීප ඇති කියලා මම හිතනවා. විශේෂයෙන් දුෂ්කර පළාත්වල ඉඳලා ඇවිත් අද වෙද්දි ක්ෂේත්‍රයේ නමක් හදාගෙන සිටින ශිල්පීන් ශිල්පිනියන්ට එහි එක් සිද්ධියක් හෝ ජීවිතයට සමීප ඇති. ජීවිතයේ දිනපු, පැරැදුණු හැම කෙනෙක්ටම නොකියපු අතීත කතා තියෙනවා. ඒවාගෙන් තමයි අත්දැකීම් ලබා ගනිමින් ජීවිතය පරිණත වෙන්නේ. මට එක්තරා අවස්ථාවකදී හමුවුණු අති දුෂ්කර ප්‍රදේශයක ඉඳලා කොළඹට ඇවිත් පිළිගත් රැකියාවක නිරත වෙන කලා ක්ෂේත්‍රයෙන් පිට එක් තරුණියක් සඳහන් කළා රීකන්ඩිෂන් කෙල්ල බලද්දි ඇගේ අතීතය මතක් වෙලා ඇයට කඳුළු එනවා කියලා. ඉතින් මම හිතනවා බොහෝ දෙනා රීකන්ඩිෂන් කෙල්ල ආදරයෙන් වැලඳගෙන තිබෙන්නේ ඔවුන් නියැළෙන ක්ෂේත්‍රය මොකක් වුණත් එහි යම් කොටසක් හෝ ඔවුන්ගේ ජීවිතයට සමීප නිසා කියලා.
වර්තමානයේදි කලාවට පායන තරු බොහෝමයක් ආවටත් වඩා ඉක්මනින් බැස යනවා, ඔබ හිතන විධියට ඇයි එහෙම වෙන්නේ?
කෙනෙක්ගේ පැවැත්ම තීරණය වෙන්නේ යම් කිසි කෙනෙක්ගේ ආචාර ධර්ම, ආකල්ප හා දක්ෂතාව මත. ඊට අමතරව තමන් කොහොමහරි මේ ක්ෂේත්‍රයේ ඉදිරියටම යනවා කියලා ලොකු ආත්ම ශක්තියක් තියෙන්න අවශ්‍යයි. අද ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ නිර්මාණ තෝරා ගැනීමේදී ශිල්පීන් එකම ශානරයේ චරිතවලට කොටු වීම. එහෙම කෙනෙක්ට පැවැත්මක් තිබුණත් රංගනයේ විවිධත්වයක් නැහැ. ඊට අමතරව තව කෙනෙක් එක නිර්මාණයකට දායක වෙලා ඊට හාත්පසින් වෙනස් එකක් ලැබෙන තුරු බලා
ඉන්නවා. එහෙම සිටීමේදී නිර්මාණයක් නොලැබී යන්නත් පුළුවන්. එවිටත් පැවැත්ම ගැන ප්‍රශ්නයක් මතු වෙනවා. විශේෂයෙන් ඔය පැවැත්ම ගැන ගැටලු ඇති වෙන්නේ කලාකරුවන් රංගනයට පමණක් කොටු වීම නිසා. උදාහරණයක් විධියට මම කාලයකට සැරයක් පමණක් ටෙලි නිර්මාණයකට දායක වුණත් පැවැත්ම ගැන ගැටලුවක් නැත්තේ මම රංගනයට අමතරව, විවිධ උත්සව, වැඩසටහන්, වෙළඳ ප්‍රචාරණ, නිවේදන, ගායනය වගේ බොහෝ දේවල් සිදු කරන නිසා. අද ලෝකය වෙනස්. රංගනයෙන් පමණක් ගොඩ යන්න බැහැ. ඒ නිසා කෙනෙක්ට මේ තුළ රැඳී ඉන්න නම් එක දේකට කොටු නොවී තමන්ගේ හැකියාවන් විවිධ පැති හරහා භාවිත කරන්න ඕනෑ.
බොහෝ දෙනෙක් ලංකාවේ කලාකරුවන්ට නිසි වටිනාකමක් ලැබෙන්නේ නෑ කියන චෝදනාව කරනවා. ඒ ගැන ඔබේ අදහස?
එහි සම්පූර්ණ වරද ක්ෂේත්‍රයට පවරන්න බැහැ. කලාකරුවන්ටත් වගකීමක් තිබෙනවා තමන්ගේ වටිනාකම හදාගන්න. එහිදී තමන්ගේ දක්ෂතා ගැන ආත්ම විශ්වාසයක් තිබෙන්න අවශ්‍යයි වගේම තමන්ගේ දක්ෂතාවලට තමන් තුළම නිසි තක්සේරුවක් තිබීම අවශ්‍යයි. යම් කිසි නිර්මාණයකට තමන් ලබා දෙන ආලෝකය ගැන තමා දැන සිටින්න අවශ්‍යයි. එහෙම නොමැති වුණාම නිසි වටිනාකම ලබාගන්න නොහැකි වෙනවා. ඒ වගේම රංගනය තමන්ගේ වෘත්තිය නම් නිසි ගෙවීම ලබා ගැනීම අවශ්‍යයි. එහිදී වෘත්තිය හා මිත්‍රත්වය පටලවා ගන්න හොඳ නැහැ. එහෙම පටලවා නොගන්නා තුරු මිත්‍රත්වය නැති වෙන්නෙත් නැහැ. තමන්ගේ වටිනාකම ලබාගන්න අපහසු වෙන්නෙත් නැහැ.
ඔබ බොහොම විවෘතව අදහස් ප්‍රකාශ කරන කෙනෙක්. ලංකාව වගේ රටක ඔබේ ප්‍රතිරූපය පවත්වාගෙන යෑමට එය බාධාවක් නොවෙයිද?
මම කිසිම දවසක මං වෙන්න භය වුණු කෙනෙක් නෙවෙයි. මම මට ඕනෑ දේ කරපු කෙනෙක්. ඒ නිසා මට කිසිම දවසක තිරයේ රඟපෑම සහ එළියේ රඟපෑම කියලා දෙකක් නැහැ. අදහස් ප්‍රකාශ කිරීම අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලැබිලා තිබෙන අයිතියක්. අපිට විනිශ්චයකින් තොරව අපේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය තිබෙනවා. හැම කෙනෙක්ම අපේ අදහසට එකඟ විය යුතුයි කියලා දෙයක් නැහැ. කෙනෙක් අපිට වඩා වෙනස් ආකල්පයක් සහිත වීම නිසා ඒ පුද්ගලයා නරකයි කියලා අපිට විනිශ්චය කරන්න බැහැ. ඒක මම අපේ රටේ දකින ලොකුම අඩුවක්. මම ෆීල්ඩ් එකට ආපු දවසේ ඉඳන් උඩුගං බලා පීනපු කෙනෙක්. මම මේ ෆීල්ඩ් එකට එද්දි කලාකරුවන් තමන්ගේ ජීවිතය ගැන විවෘතව කතා කළේ නැහැ. නමුත් අද වෙද්දී බොහෝ දෙනා ප්‍රසිද්ධියේ තමන්ගේ ජීවිතය බෙදා ගන්නවා. ඒ හරහා ප්‍රේක්ෂකයන්ට කලාකරුවා කියන්නෙත් තමා වගේම සාමාන්‍ය මිනිස්සු කියන දේ අවබෝධ වෙලා තිබෙනවා.
අවසන් වශයෙන් මේ වසරේ එළියට එන අලුත් වැඩ ගැනත් මතක් කරමු?
අමල් අල්විස් මහත්මයාගේ Swans by the sea කියන අලුත් චිත්‍රපටය නිකුත් වෙන්න තිබෙනවා. ඒ චිත්‍රපටය එළැඹෙන පෙබරවාරි මාසයේ ඉඳලා ජාත්‍යන්තර චිත්‍රපට ප්‍රදර්ශන උළෙලවල් සඳහා නිකුත් කරනව. එහි මම, හේමාල් රණසිංහ සහ අශාන් ඩයස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. ඒ චිත්‍රපටයත් සමාන්‍ය ජීවිතයට බොහොම සමීප එකක්. මේ වසර අග වෙද්දී ලංකාවෙත් තිරගත වෙයි කියලා හිතනවා. ඒ චිත්‍රපටය ගැනත් ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා.
අක්ෂි මාපා වීරසිංහ