මේ ටිකේ බ්‍රයිඩ්ල් ෂූට් නොකර ඉන්න අපි තීරණය කළා -පූජනී භාග්‍යා




පූජනී භාග්‍යා නම ඇසූ පමණින්ම අප නෙතු මානයට එන්නේ සුන්දර රූසපුවකි. එමෙන්ම ඇය දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියකි. සීසර්ලා ටෙලි නිර්මාණයේ Hit Fm හි Sweety Tweety ලෙසින් අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වුණු ඇය මැස්සා ටෙලි නිර්මාණයෙහි දැක්වූ රංගන හැකියාව කාගේත් අවධානයට ලක්වී තිබිණි. මේ දිනවල ඇය පසිඳු නූපේආරච්චිගේ ආයාචනා ටෙලි නිර්මාණයේ ගුවන් නියමුවරියක ලෙසින් ඔබ හමුවට එන්නීය. රංගන ශිල්පිනියකට කලාතුරකින් ලැබෙන ඒ අනගි අවස්ථාව ගැන ඇය මෙසේ අප හා පැවසුවාය.


 සමහර චරිත තියෙනවා. ඒවා හීනම විතරයි. පූජනී කියන්නෙ ඒ වගේ හීනයක් සැබෑ කරගත්ත කෙනෙක්. ඒ ගැන මොකද හිතෙන්නේ?


ඔව්. මට ඒ අවස්ථාව ලබා දෙන්නෙ පසිඳු නූපේආරච්චි කියන තරුණ නවක අධ්‍යක්ෂවරයා. ඒ මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ සතියේ දින පහේම රාත්‍රී 8.00ට විකාශනය වන ‘‘ආයාචනා‘ ටෙලි නිර්මාණයේ ගුවන් නියමුවරියකගේ භූමිකාවට පණ පොවන්න ලැබුණු අවස්ථාව. ඔහුගේ පළමු ටෙලි නිර්මාණයේ ප්‍රධාන භූමිකාවට මට ආරාධනා ලැබෙන්නෙ ඔහුගෙන්මයි. චරිතය බාරගනිද්දිම මට ලොකු සතුටක් දැනුණා. පුංචි කාලෙ ඉඳන්ම ආසාවෙන් හිටිය චරිතයකට නිර්මාණයකින් හරි සම්බන්ධ වෙන්න ලැබීම මට කියාගන්න බැරි සතුටක්. ඇත්තම කිවුවොත් මං මේ චරිතය බාරගන්න දෙපාරක් නොහිතුවෙත් මේ යුනිෆෝම් එක අඳින්න ලැබෙන අවස්ථාව නිසා.


මේ පසිඳුගෙ පළමු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය. ආරාධනා ලැබෙද්දි අභියෝගයක් කියල හිතුණෙ නැද්ද?


පසිඳු නූපේආරච්චි කියල කිවුවම මුලින්ම මට ඔළුවට ආවෙ නෑ. ඒ නම අයිකොනික් විදිහට මතකයේ තිබුණෙ නැති නිසා. ‘මැස්සා‘ ටෙලි නිර්මාණයේ මගේ රංගනය දැකල තමයි ඔහු මාව තෝරගෙන තිබුණේ. ෆයිලට් කෙනෙක් වෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. පුදුමාකාර කැපකිරීමක්, මුදලක් යොදවන්න වෙන කටයුත්තක්. රංගනයට හරි මට ඒ අවස්ථාව ලැබුණ එක ගැන මං සතුටුයි. මං හැම නිර්මාණයක්ම බදාගන්න කෙනෙක් නෙවෙයි. චරිත තෝරබේරගෙන හෙමින් ගමනක් යන කෙනෙක්.


ලංකාවේ පළමුවැනි වතාවට සැබෑම ගුවන් යානයක ගුවන් නියමු කුටියක කළ රූගත කිරීමක් මේක. ඒ අත්දැකීම ගැන කිවුවොත්?


ඒක නම් අමතක නොවන අත්දැකීමක්. පසිඳු අයියා ඒකට ලොකු වියදමක් දරලා තිබුණා. ඒ අංශයේම රැකියාව කරන කෙනෙකුට ඇරුණම සාමාන්‍ය කෙනෙකුට සල්ලිවලටවත් කොක්පිට් එකට යන්න බෑ. මේ නිර්මාණය නිසා මට ඒ අත්‍දැකීම ලබාගන්න හැකියාව ලැබුණා. ෆයිලට් කෙනෙකුගේ කාර්යභාරය ගැන අවබෝධයක් ලබාගැනීමෙන් පසුවයි මං ඒ දේ කළේ. කොහොම හරි රංගනයට හරි ෆයිලට් කෙනෙක්ගේ අත්දැකීම් ලබාගන්න පුළුවන් වුණා වගේම ගුවන් නියමු කුටියට (cockpit)යන්නත් වාසනාව ලැබුණා.


ආදි කියන්නෙ මොන වගේ චරිතයක් ද?


ආදි කියන්නෙ ගුවන් නියමුවරියක්. ආදරේට ආදරය කරන ඒත් ආදරය නිසා තමන්ගෙ කැරියර් එක නවත්තන්න අකමැති තරුණියක්. පූජනීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්. පූජනී කියන්නෙ නිතරම කච කච ගාන කෙනෙක් වුණාට ආදි කියන්නෙ අවශ්‍ය වෙලාවෙදි අවශ්‍ය දේ විතරක් කතාකරන කෙනෙක්.


නවක අධ්‍යක්ෂවරයෙක්ගෙ නවක නිර්මාණයක අත්දැකීම මොනවගේ ද?


පසිඳු නූපේආරච්චි කියන්නෙ අපේම වයසට ගැළපෙන තරුණ අධ්‍යක්ෂවරයෙක්. ඔහු අපිත් එක්ක බොහොම මිත්‍රශීලී විදිහට හරිම සහයෝගයෙන් වැඩ කළා. පූජනී භාග්‍යා, මිෂෙල් දිල්හාරා, එමාෂා සෙනෙවිරත්න වගේම චානුක ප්‍රබුද්ධ , විරාජ් ධනූෂ, සංජය මුරමුදලි කියන ප්‍රධාන චරිත හය වටා දිවෙන කතාවක් මේක. ඊට අමතරව ක්ලීටස් මෙන්ඩිස්, මීනා කුමාරි වගේ ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගයත් මතක් කරන්න ඕන. නවක අධ්‍යක්ෂවරයෙක් වුණත් ඔහු අපිට කිසිම බලපෑමක් කළේ නැහැ මේ මේ විදිහට වෙන්න ඕන කියලා. ඔහු හරිම මිත්‍රශීලීව ගනුදෙනු කළා. ප්‍රඩක්ෂන් එකේ ගැටලු නිසා ඔහු ගොඩක්ම කඩාවැටුණු තැන් තිබුණා. එතැනදි මේ හැමෝම ඔහුට ශක්තියක් වුණේ හරියට එක පවුලක් වගේ. හරිම ලස්සන අත්දැකීමක් වගේම හරිම සුන්දර බැඳීමක් ඒක.


දහසක් බාධක මැද්දේ ගලාගෙන යන පූජනී – ගයාන් ආදර කතාව ගැනත් කියමු?


මං හිරු අවුරුදු කුමරිය වුණේ 2018. මට ගයාන්ව හමුවෙන්නෙ 2019. ඒ ‘හුස්මක් තරමට’ ටෙලි නිර්මාණයෙන්. ඔහු ඒකෙ මේන් රෝල් එක කරද්දි මං හිටියෙ ෆීමේල් මේන් රෝල් එකේ යාළුවට. ඒ හඳුනාගැනීම යාළුකමක් බවට පත්වෙලා යාළුකම අපටත් නොදැනීම ආදරයක් බවට පත්වුණා. දැන් අවුරුදු 5ත් ඉවරයි. මේ කාලය සුන්දරවම ගෙවුණා කියල කියන්නත් බෑ. නොයෙක් හැලහැප්පීම් එක්ක මාස තුන හතර බ්‍රේක්අප් වෙලා අපි නොදැක හිටපු කාල තිබුණා. ඒ ඔක්කොම දරාගෙන අනේ කොයි වෙලාවෙ හරි මේක හරියයි කියන විශ්වාසයෙන් හිටිය කෙනෙක් මම. මට ඕන රිලේෂන් ෂිප් එකක් ඇතුළෙ අතාරින්න නෙවෙයි. අනෙක් කෙනා අතෑරියත් කොහොමහරි අල්ලගෙන ඉන්න ජාතියෙ කෙනෙක් මං. ආදරේට ඕනම දෙයක් කරන්න පුළුවන් කියන විශ්වාසය මා ළඟ තියෙනවා. අද මේ ඉන්න තැන බලද්දි මට ගොඩක් සතුටුයි.


දැන් ඉතින් වගකීමක් අරන් ජීවිතේ එක්තැන් කරගන්න කාලෙ හරි නේද?


ඔව්. ඔව්. ගෙවල්වලිනුත් කියනව දැන් ඔහොම හිටිය ඇති කියලා. දැන් අවුරුදු 5ක් ගිහින් හයටත් ලබපු එකේ අපි දෙන්නත් හිතුව ලබන අවුරුද්දෙ වෙඩින් එක ගන්නවා කියලා. දෙන්නම යම්කිසි ස්ථාවරත්වයකට ඇවිත්, ඉන්න තැනක් හදාගෙන ලයිෆ් එක කොහොමද ගෙනියන්නෙ, ආදායම වියදම කොහොමද කරන්නෙ වගේ දේවල් එක්ක අපි ඉදිරිය සැලසුම් කළා. බොරුවට මහා ලොකු වියදම් කරන්නෙ නැතුව සිම්පල් විදිහට වෙඩින් එක අරන් පාටියක් දානව නම් දාලා එහෙම තමා අපි හිතාගෙන ඉන්නේ. මං 2018 ඉඳන්ම එක එක විදිහට බ්‍රයිඩ්ල් ඩ්‍රෙස් කරලා තියෙනවා. තනියම වගේම අපි දෙන්නගෙ ෂූට් කරලා තියෙනවා. ඒත් මේ ටිකේ කිසිම ෂූට් එකක් නොකර ඉන්න අපි තීරණය කළා. මේක අපේ සැබෑම වෙඩින් එක කියන එක මිනිස්සුන්ගේ මතකයේ රැඳෙන්න ඕන. මෙහෙම කරමු අරෙහෙම කරමු කියලා එක එක යෝජනා නම් තියෙනවා. ඒත් මට ඕන පෝරුවේ චාරිත්‍ර හරියටම කරන්න. වෙඩින් එකේ මං කැමැතිම තැන එතැන. ඒ අත්දැකීම විඳගන්න, එතැනදි මොන වගේ හැඟීමක් ද ඇති වෙන්නෙ කියන එක අත්විඳින්න තමයි මං බලාගෙන ඉන්නෙ.


 නාමලී ගමගේ



Previous Post Next Post