පාසල් කාලෙ ඉඳන්ම තිබුණු ආදර කතාවක් මටත් තියෙනවා - රුමලී කෙශීඩා

 


බටහිර හුරුවට නෑකම් කියන කතා විලාසය මෙන්ම ඇගේ රුව ද මනබඳිනා සුලුය. දෙවැනි ඉනිම ටෙලි නිර්මාණයේ රදීෂ්ගේ සොහොයුරිය ලෙස ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනා සිටින ඇය මේ දිනවල තිරගත වන හර්ෂ උඩකන්දගේ රෝස ආදරේ සිනමාපටයේ ශෙනාලිගේ භූමිකාවෙන් ප්‍රේක්ෂක ආදරය දිනා සිටින්නීය. රිදී තිරය හා පුංචි තිරයටත් වඩා වෙළෙඳ දැන්වීම් ඔස්සේ නිතර දකින ඇය නමින් රුමලී කෙශීඩා ය. මේ කතාබහ සුන්දර රුමලී සමඟිනි.


රුමලී මේ දිනවල පළමු වතාවට රිදී තිරයේ දකිනවා. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?


මේ දවස්වල හර්ෂ උඩකන්දගේ ‘රෝස ආදරේ’ සාර්ථකව තිරගත වෙනවා. ඒක මගේ තිරගත වුණු පළමු සිනමා අත්දැකීම. මට අහම්බෙන් සම්බන්ධ වෙන්න ලැබුණු අවස්ථාවක්. දවසක් උපන්දින සාදයකදී හර්ෂ අයියා හමුවෙලා නංගි මෙන්න මේ වගේ කැරැක්ටර් එකක් තියෙනවා. මේ වගේ කාස්ට් එකක් ඉන්නේ. ඔයා මොකද කියන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවෙ මං කිව්වා අයියා මට පොඩි කාලයක් දෙන්න. මං කියවලා බලලා කියන්නම් කිව්වා. තිර පිටපත කියවලා බලද්දි මටත් හිතුණා මේක හොඳ නිර්මාණයක් කියලා. අද මට හිතෙනවා එදා මං ගත්ත ඒ තීරණය නිවැරැදියි කියලා.


චරිතය ගැන කතා කළොත්?


ගොඩක් අය හිතන්නේ රෝස ආදරේ කිව්වම මේක ආදරය ගැන විතරක් කතා වෙන චිත්‍රපටයක් කියලා. නැහැ. මේක ආදරය වගේම දුෂ්ටකම්, මැරකම් එක්ක දිවෙන චිත්‍රපටයක්. මම තමයි ශෙනාලි චරිතය රඟපාන්නේ. ශෙනාලි කියන්නේ උඩින් හොඳ හිත පෙන්නගෙන යටින් ගේමක් ගහන විලන් පැත්තටත් බර ටිකක් සරාගී බවකුත් තියෙන චරිතයක්. කතාව වෙනස්ම පැත්තකට ගෙනියන්නේ ශෙනාලිගේ චරිතයෙන් කිව්වත් හරි. ඒකාකාරීබවෙන් මිදිලා කතාවට අමුතු රසයක් එක්කරන චරිතයක්. පොඩි අභියෝගයක් නැත්තෙමත් නැහැ. ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවම මං සාර්ථකව ඒ අභියෝගය ජය අරන් කියලා හිතෙනවා.


රෝස ආදරේ විඳින ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර කොහොමද?


ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයින් රෝස ආදරේ හරිම ආදරෙන් වැලඳ ගෙන කියලා හිතෙනවා. මේක රිදී තිරයෙන් ප්‍රේක්ෂකයින් මාව දකින පළමු අවස්ථාව. මීට කලින් සිනමා නිර්මාණ දෙකකට සම්බන්ධ වෙලා තිබුණත් ඒවා තාම තිරගත වෙලා නැහැ. පුංචි තිරයේ භූමිකාවලට ලැබෙන ප්‍රතිචාරයි සිනමාවට ලැබෙන ප්‍රතිචාරයි අතර මං ලොකු වෙනසක් දකිනවා.




කොහොමද ඔබට ඒ වෙනස දැනෙන්නේ?


මෙතෙක් කල් මං විඳල තිබුණේ පුංචි තිරයේ ප්‍රේක්ෂක ප්‍රතිචාර විතරයි. මං මුලින්ම දායක වුණු ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලි නිර්මාණයේ ටීෂාට හොඳ ප්‍රතිචාර ලැබුණත් ‘දෙ‍ෙවනි ඉනිම’ ටෙලි නිර්මාණයේ රදීෂ්ගේ අක්කා දිලුක්ෂිට ප්‍රේක්ෂකයින් බණින අවස්ථා තිබුණා. ‘රෝස ආදරේ’ ශෙනාලි කියන්නේ කළු සුදු දෙකම මිශ්‍ර චරිතයක්. නමුත් ශෙනාලිව ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ අරන් කියලා හිතෙනවා. සමහර විට ඒකට හේතුව වෙන්න ඇත්තේ කළු චරිතයක් වුණත් සිනමාපටයකදී දකින්නේ බොහෝ විට එක අවස්ථාවයි. ඒ නිසා ඒ කැරැක්ටර් එකේ එල්ලිලාම ප්‍රතිචාර දක්වන්න ඔවුන්ට අවස්ථාවක් නැහැ. නමුත් ටෙලි නිර්මාණයක් ගත්තම සතියේ දින පහේම දකිනවා. නිතර නිතර දැකලා ඒ චරිත තමන්ගේ කරගන්න නිසා තමයි ඔවුන් ඒ විදිහට බණින්නේ.


රෝස ආදරේට කලින් ඔබ සිනමාවේ අත්දැකීම් ලබල තියෙනවා නේද?


ඔව්. මීට කලින් සිනමාපට දෙකකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. එකක් කොමඩි එකක්. අනෙක් එක දේශපාලනය සම්බන්ධ නිර්මාණයක්. එකිනෙකට වෙනස් චරිත දෙකක්. ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.


රුමලීගේ ක්ෂේත්‍රයට පිවිසීම ගැන මතක් කළොත්?


මුලින්ම ටෙලි නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ පාවෙලා වලාකුළේ ටෙලි නිර්මාණයේ ටීෂාගේ චරිතයෙන්. ඊට පස්සේ දෙ‍ෙවනි ඉනිම ටෙලි නිර්මාණයට සම්බන්ධ වුණා. දෙ‍ෙවනි ඉනිම දිලුක්ෂි ප්‍රේක්ෂකයින් අතරට ගියා. මේ දවස්වල දෙ‍ෙවනි ඉනිම දෙ‍ෙවනි අදියර විකාශය වෙනවා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එන්න කලින් මං නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කළා. මං වැඩිපුරම දායක වෙලා තියෙන්නේ වෙළෙඳ දැන්වීම් කලාවට. මේ වෙද්දි වෙළෙඳ දැන්වීම් තිහකට වැඩි ප්‍රමාණයකට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව 2021 වසරේ මිස් අර්ත් ශ්‍රී ලංකා කිරුළට හිමිකම් කියන්නත් අවස්ථාව ලැබුණා. 2022 වසරේ මිස් ඒෂියා ග්ලෝබල් තරගයේ ජයග්‍රාහිකාව බවට පත්වෙලා මැලේසියාවේ පැවැති ලෝක රූ රැජන තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නත් අවස්ථාව ලැබුණා.


දෙ‍ෙවනි ඉනිම දිලුක්ෂිගේ කතා විලාසය වගේම හැසිරීමත් බටහිර ආරට හුරුයි. ඒක ඔබට අභියෝගයක් වුණේ නැද්ද?


මට පහසුවෙන විදිහට ඒ චරිතයට අවශ්‍ය පරිසරය හැදිලා තිබුණා. සමන් අයියා ඒ චරිතය මට පැහැදිලි කරලා දුන්නා. මම ජාත්‍යන්තර පාසලක ඉගෙන ගෙන තිබුණු නිසා ඒ වචන හුරුව කොහොමත් මගේ තිබුණා. ඒ නිසා ඒක මට ලොකු අභියෝගයක් වුණේ නැහැ.


රුමලී කියන සුන්දර යුවතියට ආදරය ගැන අත්දැකීම් නැතිවෙන්නත් බෑනේ?


පාසල් කාලෙ ඉඳන්ම තිබුණු ආදර කතාවක් මට තියෙනවා. ඔහු කලාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. කලා කටයුතුවලදී විතරක් නෙවෙයි ඔහු මගේ ජිවිතේ හැම පියවරකදීම සෙවණැල්ල වගේ මගේ ළඟ හිටියා. ගෙදර අය වගේම ඔහුත් මට ලොකු හයියක්.


 නාමලී ගමගේ



Previous Post Next Post