කොල්ලන්ගේ ආකර්ෂණයට පෙම්වතා විරුද්ධ නැහැ-පියුමාලි එදිරිසිංහ




පුංචි තිරය නරඹන ප්‍රේක්ෂකයන්ගේ අලුත්ම ටෙලි නාට්‍යය ඇබ්බැහිය වෙලා තියෙන්නෙ පාට කුරුල්ලො ටෙලි නාට්‍යය. ඉතින් පාට කුරුල්ලො ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාමින් කලා ලොව එළිය කරන රංගන ශිල්පිනියක් තමයි පියුමාලි එදිරිසිංහ කියන්නෙ. කලා ක්ෂේත්‍රයට ඇය අලුත් කෙනෙක් නිසා හැමෝම කැමති ඇති ඇයගේ විස්තර දැනගන්න. ඉතින් මේ කතාබහ පියුමාලි එක්ක.




පියුමාලි ගැන විස්තර ටිකක් කියමුද?




මම පියුමාලි ප්‍රසාදිනී එදිරිසිංහ, පදිංචිය මල්වාන. වෘත්තියෙන් නිරූපිකාවක් සහ නිළියක් විදිහට කටයුතු කරනවා.




පවුලේ විස්තර...




පවුලෙ අම්මයි තාත්තයි ඇරුණහම මට තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. මම තමයි වැඩිමල් ළමයා


පවුලේ අය එක්ක ඉන්නකොට ඔබ මොනවගේ කෙනෙක්ද?




මම පවුලේ වැඩිමලා වුණාට පුංචි කාලෙ ඉඳලා මම ටිකක් හුරතලයට හැදුණෙ. පවුලෙ අය අතර ටිකක් දඟකාර හරි ආදරණීය කෙනෙක් මම.




කලාවට එන්න පුංචිකාලෙ ඉඳලා අදහසක් තිබුණද?




තේරෙන වයසෙ ඉඳලා මම කලාවට හරි ළැදියි. ඒ ළැදිකම නිසා පාසල් කාලයේදි නර්තනය හැදෑරුවා. පාසල් අධ්‍යාපනය ලබන ගමන්ම 2016 වසරේ රූපවාහිනී අවුරුදු කුමාරි තරගයට සහභාගි වුණා. අවුරුදු කුමරිකාවක් වීමත් එක්ක මට විවිධ නිර්මාණවලින් රඟපාන්න ආරාධනා ලැබුණා. හැබැයි ඒ වෙද්දි මම පාසල් අධ්‍යාපනය හදාරන නිසා රංගනයට සම්බන්ධ වෙන්න බැරි වුණා.


කලාවට එනවට පවුලෙ අය කැමති වුණාද?




ඔව්... අම්මයි තාත්තයි ගොඩක් කැමතියි මම කලා අංශයෙන් ඉදිරියට යනවා දකින්න. විශේෂයෙන් තාත්තා කැමතියි මම නිළියක් විදිහට රඟපානවට. අම්මා වුණත් රූගතකිරීම් කරන තැන්වලට මාත් එක්ක ඇවිත් මට ගොඩක් ලොකු සහයෝගයක් ලබා දෙනවා.






දැන් ටෙලි නාට්‍ය නිළියක් වුණාට මුලින්ම සම්බන්ධ වෙන්නෙ නිරූපණයට නේද?




ඔව්. මුලින්ම මම ක්ෂේත්‍රයට ආවෙ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් විදිහට. මේ වෙද්දි ජනප්‍රිය වෙළෙඳ දැන්වීම් ගොඩක නිරූපිකාවක් විදිහට කටයුතු කරලා තියනවා. ඒ වගේම මියුසික් වීඩියෝවල නිරූපිකාවක් විදිහටත් මම කටයුතු කරනවා.


පාට කුරුල්ලො ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ කොහොමද?




ටෙලි නාට්‍ය නිෂ්පාදක චාමර සමරවික්‍රම අයියා තමයි මට ආරාධනා කෙරුවෙ පාට කුරුල්ලො ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්න කියලා. ඒ වෙද්දි චාමර අයියා සහ ශිවගුරුනාදන් සර් නිර්මාණය කරපු නාඩගම්කාරයො ටෙලි නාට්‍යය මුළු රටේම ජනප්‍රියවෙලා තිබුණෙ. ඉතින් මම ගොඩක් සතුටු වුණා ඔවුන් වගේ ප්‍රවීණයො දෙන්නෙක් නිර්මාණය කරන ටෙලි නාට්‍යයක ප්‍රධාන නිළිය විදිහට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන.




කොහොමද පළමු වැනි රංගන අත්දැකීම...




මුලින් නම් ටිකක් නුහුරු විදිහට දැනු​ණෙ. දෙබස් පවා වැරදුණා. හැබැයි ශිවගුරුනාදන් සර් පිටපත පැහැදිලි කරලා දීලා දෙබස් කොහොමද හරි විදිහට කියන්න ඕන කියලා තේරුම් කරලා දුන්නා. ඒ වගේම සජිත අනුත්තර අයියයි කුසල් මදුරංග අයියයි ගොඩක් ලොකු සහයෝගයක් මට දෙනවා. රූගත කරන්න කලින් කොහොමද හරි විදිහට කරන්නෙ කියලා සජිත අයියයි කුසල් අයියයි මට කියලා දීලා චරිතය සාර්ථක විදිහට රඟපාන්න උදව් කරනවා.




රංගන කටයුතුත් එක්ක නිරූපණයට ඉඩක් තියෙයිද?




නිළියක් වුණා කියලා නිරූපණ කටයුතු අතාරින්නෙ නැහැ. රංගනය ඇරුණහම මගේ වෘත්තීය ජීවිතයේ වැඩි කොටසක් වෙන් කරලා තියෙන්නෙ නිරූපණයට.




නිරූපණයේදි විවිධ විදිහෙ ඇඳුම් අඳින්න වෙන එක ගැන අදහස මොකක්ද?






නිරූපිකාවක් වුණාම නිර්මාණයක් ලස්සන කරන්න විවිධ ඇඳුම් අඳින්න වෙනවා. හැබැයි මම නිර්මාණ භාරගනිද්දි ඇඳුම් විලාසිතා ගැන සැලකිලිමත් වෙනවා. නිරුවත ඉස්මතු කරන නිර්මාණවලට වැඩිය ගුණාත්මක තත්ත්වයෙන් කරන හොඳ නිර්මාණවලට තමයි මම නිතරම සම්බන්ධ වෙන්නෙ.




පෞද්ගලික ජීවිතයේදි ආස මොන වගේ විලාසිතා කරන්නද?




මම විලාසිතාවලට ගොඩක් කැමතියි. නිතරම අලුත් විදිහෙ විලාසිතා කරනවා. තැනට ගැළපෙන විදිහට දිග ඇඳුම් වගේම කොට ඇඳුම් පවා අඳිනවා.


ඇඟ ලස්සනට තියාගන්න මොනවද කරන්නෙ?




මම පුංචිකාලෙ ඉඳලා නර්තන කරනවා. ඒ නිසා තමයි ඇඟ සිහින් විදිහට හැදිලා උස ගිහින් තියෙන්නෙ.




ආරක්ෂාවට කෙනෙක්වත් එක්කගෙනම කලාවට ආවා කියලා ආරංචියි?




ඔව්. ක්ෂේත්‍රයට එනකොටම මම පෙම්වතියක්. එයා විදේශ රටක සේවය කරන්නෙ. හැබැයි කාලෙන් කාලෙට ලංකාවට ඇවිත් මාව බලලා යනවා.


නිළියක් නිසා පිරිමි ළමයින්ගෙ ආකර්ෂණයට ලක්වෙන එක ගැන පෙම්වතාගේ අකමැත්තක් නැද්ද?




අනේ නැහැ. කවදාවත් එයා මට කියලා නැහැ මිනිස්සු එක්ක කතාබහ කරන්න එපා කියලා. එයා කැමතියි මම මිනිස්සු අතර ජනප්‍රිය වෙනවට. මගේ වෘත්තීය ජීවිතයට හොඳ සහයෝගයක් එයාගෙන් ලැබෙනවා.




ළඟදි විවාහ වෙන්න සූදානමක් නැද්ද?




අපි තාම ආදරය විඳින ගමන් ඉන්නෙ. තව ටිකක් වයසිනුත් මුහුකුරා ගිහින් පරිණත වුණාට පස්සෙ විවාහය ගැන හිතනවා.



Previous Post Next Post