මම වගේ අලුත් කෙනෙක්ට මේ ජයග්‍රහණය පුදුමු ආශිර්වාදයක් - ඩිනාරා පුංචිහේවා




ඩිනාරා... මෙවර ලෝක ප්‍රසිද්ධ Forbes සඟරාව විසින් පළ කරන ලද "30 under 30 Asia” ලැයිස්තුවට ශ්‍රී ලංකාවෙන් ඩිනාරාව නම් කරලා තියෙනවා. මුලින්ම ඒ ජයග්‍රහණය වෙනුවෙන් හදසර අපේ සුභ පැතුම්?


අනේ... ගොඩාක් ස්තූතියි.


Q අපට මේ ලැබූ ජයග්‍රහණය ගැන පොඩි විස්තරයක් කියන්න?


2024 ආසියාවේ තිහෙන් පහළ පිරිස අතරින් මේ සඳහා මාව තේරී පත්වුණා. මෙය සිදුවුණේ නවවැනි වතාවටයි. මේ සඳහා අංශ දහයක් තිබුණා. ඒ අංශ දහයට වයස අවුරුදු තිහට අඩු තිස් දෙනෙක් තේරුණා. එහිදී මම "Entertainment and sports “අංශයට ඇතුළත් වෙලා තිබුණා. මීට කලිනුත් Forbes සඟරාවට ලාංකිකයන් කිහිප දෙනෙක් තේරිලා තිබුණා. ඉතින් මෙවර මාව තේරීම මම ලබපු ජයග්‍රහණයක් විදිහට මම හිතනවා. ඒ වෙනුවෙන් Forbes ආයතනයටත් ස්තුති කරනවා.


Q මෙම ජයග්‍රහණයේ ආරංචිය මුලින්ම ඩිනාරා දැනගත්තේ කොහොමද?


බ්‍රහස්පතින්දා තමයි Forbes සඟරාවේ ඒෂියා කාණ්ඩයේ ලැයිස්තුව නම් කළේ. ඉතින් ඒකෙ නාට්‍ය හා රංගනය කරන කිහිප දෙනෙක් ඉන්නවා. මම ඒ අතරින් එක්කෙනෙක්. ලංකාවේ නම ඒ සඟරාවට ගෙන යාමට හැකිවීම ගැන ගොඩක් සතුටුයි. මමත් මේ ක්ෂේත්‍රයේ තවම අත්දැකීම් ලබමින් ඉන්න කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක්ට මෙවැනි ජයග්‍රහණයක් ලොකු ආශිර්වාදයක්. මේ ජයග්‍රහණය මම  මුලින්ම ඊමේල් එකකින් තමයි දැනගත්තේ. සාමාන්‍යයෙන් ඒ සඟරාවේ පළ කරද්දි කාටවත් මුලින් දැනුම් දීමක් කරන්නේ නැහැ. ඒක ඒ අය පුදුම කිරීමක් (Surprise) විදිහටයි හිතන්නේ. ඉතින් ඒ ගැන පුංචිම හෝ ඉඟියක්වත් මට ලැබුණේ නැහැ. ඒ අය ඒ ගැන සඟරාවේ පළ කළාට පස්සේ තමයි ඒ දැනුම්දීම සිදු කළේ. ඇත්තටම ඒක මට පුදුමයක්ම තමයි.


Q අද මේ ජයග්‍රහණය ලැබීම දක්වා ආපු ගමන ගැන මතක් කළොත්?


මම මගේ මේ වෘත්තිය ලෙහෙසියට ගත්තේ නැහැ. මම ඒ වෙනුවෙන් ගොඩක් කැපවීම් කරනවා. මහන්සි වෙනවා. චූටි කාලේ ඉඳන් මම රංගන ශිල්පිනියක් වෙන්න ආසාවෙන් හිටියේ. ඒ වෙනුවෙන් මම පුංචි කාලේ ඉඳන් අත්දැකීම් ලබා ගත්තා. මම ඉගෙන ගත්තේ කොළඹ කාන්තා විදුහලෙයි. පාසලේ දී මම වේදිකා නාට්‍යවලට සම්බන්ධවෙලා හොඳම නිළිය වුණා. පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනයට මම නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න Queen marry විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. නාට්‍ය හා රංග කලාව සම්බන්ධයෙන් ඉන්දියාවේ වැඩමුළු කිහිපයකටම සහභාගි වුණා. ලංකාවේ ඉංග්‍රීසි වගේම සිංහල වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. ඉන්පසුව තමයි "ගාඩි" චිත්‍රපටයේ "ටිකිරි" කියන චරිතය මට ලැබුණේ. අද වෙද්දි මම චිත්‍රපට පහකට සම්බන්ධවෙලා තියෙනවා. මම සිනමාවට කැමතියි. සිනමාවට ආදරෙයි.

පුංචි කාලෙ ඉඳන් නිළියක් වෙන්න ආසා කළේ ඇයි?


අනේ මන්දා... මම චූටි කාලේ ගොඩක් චිත්‍රපට බැලුවා. මගේ තාත්තත් මට ඉංග්‍රීසි චිත්‍රපට ගොඩක් පෙන්නුවා. ලොකු අයගේ කතා වුණත් මම ඒ චිත්‍රපට බැලුවා. කොළඹ ලයනල් වෙන්ඩ් එකේ වේදිකා නාට්‍ය බලන්න මාව එක්කගෙන ගියා. කාලයක් පොඩි හින්දි පිස්සුවකුත් තිබුණා. ඒ කාලේ ශාරුක් ඛාන්ගේ "කුච් කුච් හෝතා හේ" චිත්‍රපටය ආසාවෙන් කිහිප වතාවක්ම බැලුවා. නංගි මල්ලි එක්ක කාජල්, ශාරුක් හැටියට රඟපෑවා. පොඩි කාලේ ඒ ආසාව තිබුණට ලොකු වෙද්දි ඒ ආසාව නැතිවෙලා යාවි කියලා ගොඩක් දෙනෙක් හිතුවා. නමුත් මම ඉස්කෝලේ ඉංග්‍රීසි, සිංහල, දෙමළ, හැම වේදිකා නාට්‍යයටම සම්බන්ධ වුණා. උසස් අධ්‍යාපනයේදී වුණත් මම කලාව තෝරා ගත්තා.


Q ඒ තෝරාගැනීම ගැන ගෙදරින් අකමැත්තක් තිබුණේ නැද්ද?


නැහැ... එහෙම කවදාවත් අකමැත්තක් තිබුණේ නැහැ. මට අම්මගෙන් තාත්තගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න ඒ දෙන්නා මාව හරිම කැමැත්තෙන් එංගලන්තයටත් යැව්වා. ඒ නිසා අම්මා තාත්තගෙන් සෑහෙන සහයෝගයක් ලැබුණා. මට චිත්‍රපටයක පිටපතක් ලැබුණොත් මම ඒක මුලින්ම තාත්තට කියවන්න දෙනවා. තාත්තට හරි ඉක්මනට කියවන්න පුළුවන්. ඒ නිසා තාත්තා පිටපත කියවලා, මාත් එක්ක ඒ ගැන කතා  කරනවා. සමහරදාට මම තාත්තට "තාත්තා තමයි මගේ මැනේජර්" කියලත් විහිළු කරනවා. ඒ දෙන්නා වගේම නංගි මල්ලිත් මට ලොකු සහයෝගයක් දුන්නා.


Q සංජය පුෂ්පකුමාරගේ අලුත්ම සිනමා අධ්‍යක්ෂණය වන "peacock Lament” චිත්‍රපටයටත් සම්බන්ධ වුණා නේද?


ඔව්... ඒක ඉංග්‍රීසියෙන් Peacock Lament කියලා නම්  කරලා තියෙනවා. සිංහලෙන් "විහඟ ප්‍රේමය". ඒක කුඩා දරුවන් විකුණන ජාවාරමක් ගැන කියවෙන කතාවක්. ඒකෙදි මට සබීතා පෙරේරා සහ අකලංක ප්‍රභාශ්වර එක්ක රඟපාන්න අවස්ථාවක් ලැබුණා. සබීතා පෙරේරා  ඉතාමත් ප්‍රවීණ අත්දැකීම් බහුල කලාකාරියක්. ඇයත් සමඟ රඟපාන්න ලැබීමත් මගේ වාසනාවක්. ඒ චිත්‍රපටයෙන් පසුව මම "අවාලු පැහැ වලාකුළක්" චිත්‍රපටයෙත්  රඟපෑවා. ඒක රුක්මල් නිරෝෂ්ගේ චිත්‍රපටයක්. ඒකේ මම, මහේන්ද්‍ර පෙරේරා සහ බිමල් ජයකොඩි රඟපෑවා. ඒකත් හරි අපූරු අවස්ථාවක්. නිර්මාණයකදී පිටපත හොඳින් කියවලා මට ලැබෙන චරිතය සාර්ථක ලෙසින් හොඳින් කරන්න පුළුවන් කියලා විශ්වාසය තිබුණොත් මම ඒක බාරගන්නවා. ඒ හැර ලැබෙන හැම නිර්මාණයක්ම මම බාරගන්නේ නැහැ.


Q අපිට ඔයාගේ Punchi Actors සංවිධානය ගැනත් කියන්න?


මට Punchi Actors කියලා ආයතනයක් තියෙනවා. ඒක ගොඩක් පොඩි ආයතනයක්. ඒ හරහා නාට්‍ය හා රංග කලාව පිළිබඳ වැඩමුළු පවත්වනවා. විශේෂයෙන් ළමා නිවාසවල, අඩු ආදායම් ලබන දරුවන් වෙනුවෙන් මේ වැඩමුළු පවත්වනවා. මීට පෙර මම ජාත්‍යන්තර පාසලක ඉගැන්නුවා. නමුත් දැන් මම එයින් ඉවත්වෙලා මේ දරුවන්ට නොමිලේ නාට්‍ය හා රංග කලාව ගැන උගන්වනවා. ඒක මම සමාජයට කරන සේවයක්. "නාට්‍ය හා රංගනය" නමින් ඒ සම්බන්ධයෙන් මම ළඟදි පොතක් ලිව්වා. ඒ පොත මම නොමිලේ දරුවන්ට දුන්නා. රත්නපුර, මොණරාගල, බණ්ඩාරවෙල, මස්කෙළිය, පොළොන්නරුව, මහියංගණය, හැටන්, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල දරුවන්ට මේ පොත් නොමිලේ ලබා දුන්නා. කොවිඩ් කාලයේදී ලියපු මේ පොත සිංහල හා දමිළ භාෂාවට පරිවර්තනය කරලා දරුවන්ට නොමිලේ ලබා දුන්නා.


Q නාට්‍ය හා රංග කලාව සම්බන්ධයෙන් වර්තමාන දරුවන් තුළ තිබෙන උනන්දුව කොහොමද?


මම ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස සේවය කරද්දි දැක්ක දෙයක් තමයි එතැනදී සමහර දරුවන් ඒ විෂය පටන් ගනිද්දී එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් වැඩමුළු කරලා අවසාන වෙද්දි ඒ අකමැත්තෙන් හිටපු දරුවන්ගෙන් බහුතරයක් නාට්‍යවල ප්‍රධාන චරිත පවා රඟපෑවා. ඒ තරමට ඒ හැම දරුවෙක්ම නාට්‍ය හා රංග කලා විෂයට ගොඩක් ඇළුම් කළා. නාට්‍ය හා රංගනය කියන්නේ තෙරපි එකක් වගෙයි. ඒ නිසා අද කාලේ දරුවන්ට මේ විෂය ගැන ලොකු උනන්දුවක් තියෙනවා.


Q අම්මා තාත්තා වගේම ඩිනාරාට සැමියාගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා නේද?


ඔව් අනිවාර් යෙන්ම. මගේ සැමියා සංජය. එයා ගුවන් කපිතාන් කෙනෙක්. එයා පොඩි කාලේ ඉඳන් ගුවන් කපිතාන් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉඳලා තියෙනවා. මම පොඩි කාලේ ඉඳන් රංගන ශිල්පිනියක් වෙන්න ආසාවෙන් හිටියා. අද අපි දෙන්නගෙම හීන හැබෑවෙලා තියෙනවා. මගේ දේවල්වලට එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.


I දිශානි ජයමාලි



Previous Post Next Post