මට ජනප්‍රිය වෙන්න ඒ ෆොටෝ දාන්න ඕන නෑ - විනූ පෙරේරා




හිරු නාළිකාවේ විකාශය වුණු ‘දිවිතුරා‘ ටෙලි නිර්මාණයේ ටෙහානිගේ භූමිකාවට පණ පොවමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය මේ දිනවල සියත නාළිකාවේ විකාශය වන ්සංසාරේ‘ ටෙලි නිර්මාණයේ ෂෙහානි ලෙසින් ද ඔබ හමුවට එන්නීය. පසුගියදා හිරු නාළිකාවේ විකාශය ඇරැඹුණු චරිත් අබේසිංහගේ ‘බඹරෙක් ඇවිත්‘ ටෙලි නිර්මාණයේ මල්කාන්තිගේ භූමිකාවෙන් වෙනස්ම ප්‍රතිරූපයක් මවන ඇය විනූ පෙරේරාය. පහුගිය දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු ඇය අප හා මෙසේ කතාබහට එක්වූවාය.


“හැමදේම හොඳ විදිහට ලැබෙමින් තිබුණු කාලෙක හිටිහැටියේම අපේ සතුට හොරු අරන් ගියා වගේ. හැමදේම ලැබිලත් මට වටිනාම දේ නැති වුණා. මේ කාලය තුළ ගොඩක් හැලහැප්පීම්වලට මුහුණදුන්නා. හැමදාම වගේ දුකේදිත් සැපේදිත් මගේ ළඟම හිටිය මගේ යාළුවො හතර දෙනා විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඔවුන් තමයි මට තිබුණු එකම හයිය. මොන දේ වුණත් අපි බාරගත්ත නිර්මාණවලට අසාධාරණයක් කරන්න බෑ. එ්නිසා මේ දවස්වල නැවතත් කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා. සියත නාළිකාවේ විකාශය වෙන ‘සංසාරේ‘ ටෙලි නිර්මාණයේ වගේම හිරු නාළිකාවේ විකාශය වන ‘බඹරෙක් ඇවිත්‘ ටෙලි නිර්මාණයේ ෂූටින් කෙරෙනවා. ‘බඹරෙක් ඇවිත්‘ කියන්නෙ 70 දශකයේ කතාවක්. මල්කාන්ති කියන්නෙ ප්‍රධාන චරිත තුනෙන් එකක්. ‘දූවිලි සීමා‘ කියලා තව අලුත් නිර්මාණයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ලබන මාසෙ ඒකෙ ෂූටින් පටන්ගන්නවා. මේ දේවල් එක්ක තමයි මේ දවස් ගෙවෙන්නේ.”


පසුගිය දිනවල ලද අත්දැකීම් මුහුණු පොතට එක් කළ ඇයට ඇතැමුන් දෝෂාරෝපණය කර තිබූ බව ඇය පැවසුවේ ද කලකිරීම මුසු හැඟීමකිනි.


“මට හිටියෙ අම්මයි, තාත්තයි, මල්ලියි විතරයි. තාත්තා තමයි අපේ ශක්තිය වුණේ. තාත්තා නැති වෙලා ලබන මාසෙට මාස තුනක්. තාත්තා නැතිවෙන්න කලින් දවසෙ නොහිතුව විදිහට මාත් ඇක්සිඩන්ට් වුණා. මට තාමත් හිතාගන්න බෑ මේ හැමදේම වුණේ කොහොමද කියලා. ගෙදර වැඩිමලා හැටියට දැන් ගෙදර වගකීම තියෙන්නෙ මගේ අතේ. අම්මයි මල්ලියි බලාගන්න ඕන. මල්ලිට උගන්නන්න ඕන. මේ දේවලුත් එක්ක මට කරන්න ගොඩක් දේවල් තියෙනවා. තාත්තගෙ අවසන් ගමනෙ පින්තූර මං ෆේස්බුක් එකට දැම්මෙ මගේ මතක සිහිවටන ගබඩාව තියෙන්නෙ එතැන නිසා. අපට ඕන කාලෙක ආයිම ඒ මතකයන් බලන්න පුළුවන් විදිහට සුරක්ෂිතව තියාගන්න පුළුවන් තැන ඒක. ඒත් සමහරු දාපු කමෙන්ට් දැක්කම දුක හිතෙනවා. මං තාත්තාගෙන් ජනප්‍රිය වෙන්න හදනවලු. මට ජනප්‍රිය වෙන්න ඒ ෆොටෝ දාන්න ඕන නෑ. මං ගැන බොහෝ දෙනා දන්නවා. ඒ වගේම මං ප්‍රමෝෂන් වැඩ කරන්නෙ ෆේස්බුක් එකෙන්. ගොඩක් දවස් මොකුත් දැම්මෙ නැති නිසා මං පරණ ඒවා නැවත අප්ලෝඩ් කළා. ඔහොම ඉන්න පුළුවන් ද එදා එහෙනම් බොරුවට නේද ඇඬුවෙ කියල අහන අයත් හිටියා. මට හිතාගන්න බෑ ඇයි මිනිස්සු මේ විදිහට හැසිරෙන්නෙ කියලා. දෙයක් වුණා තමයි. ඒත් හැමදාම අඬ අඬා හිටිය කියලා ප්‍රශ්න විසඳෙන්නෑ. මං තනියම නැඟිටින්න ඕන. මගෙ තාත්තා කොහොමත් කැමති නෑ මං වැටෙනවට. එයා තමයි මට කලාවට එන්න පාර හදල දුන්නේ.”


මවුපියන්ගේ කැමැත්තට ඉඩදී පෞද්ගලික හෙදියක් ලෙස වසර කිහිපයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැඳුණු ඇය රංගනයට ලැබුණු අහඹු අවස්ථාව වාසනාව ලෙස සලකා හෙද සේවයට සමුදී රංගනයට යොමුවූ තරුණියකි.


“කලා ක්ෂේත්‍රයේ දන්න කියන කෙනෙකුත් නැතුව රංගනයට ලැබුණු මේ අවස්ථාව මගේ වාසනාවට ලැබුණු දෙයක්. කලාවයි රැකියාවයි සමබරව කරගෙන යන්න උත්සාහ කළත් එක දිගට රැකියාවේ නිරත වීම නිසා මං අසනීප වෙන්න ගත්තා. තාත්ත කිව්වෙ ඔයා කැමැති පැත්තක් තෝරගන්න කියලා. එතැනදි මං කල්පනා කළේ උගත් දෙයින් පස්සෙ හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්, මේ වෙලාවෙ ලැබුණු වාසනාව උරගා බලන්න ඕන කියලා. එදා චැම්පියන් ස්ටාර් වැඩසටහනට ගිය වෙලාවෙ මං ඉන්ජෙක්ෂන් ගහන විදිහ කියලා පේෂල අයියල මාව බයිට් කළෙත් ඔය ගැන කතා කරලා. ඒ වැඩසටහන විකාශය වුණේ හරියටම තාත්තා නැතිවෙන්න කලින් දවසෙ. එයාට ඒක බලන්නම ඕන වුණා. යූටියුබ් එකට දැම්මම ෆෝන් එකෙන් හරි පෙන්නන්න හිටියත් ඒකට අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒක මට අදටත් වේදනාවක්. හෙදියක් විදිහට ලබාගත් දැනුම ජීවිතේ හැමදාටම වටිනවා. පහුගිය දවසක අපේ ගෙවල් ළඟ පොඩි ළමයෙක් සියඹලා ඇටයක් උගුරෙ හිරකරගෙන. ඒ අවස්ථාවෙ මං ඉගෙනගත්ත දෙයින් ලොකු ප්‍රයෝජනයක් ගත්තා. උගත් දෙයක් කවදාවත් අපතේ යන්නෙ නෑ. ඒ ගැන හිතද්දි මට අසීමිත සතුටක් දැනෙනවා.”


තම මව මෙන්ම සැමියා සහ දරුවන් ආදරෙන් රැකබලාගන්නා ආදරණීය බිරියක් වීමේ බලාපොරොත්තුවෙන් පසුවන විනූ විවාහ ජීවිතය තම දිවියේ අංක එක බවට පත්කර ගන්නා බව පැවසුවේ ද සත් වසක ප්‍රේමයේ අඳුරු මතකයන් මුලිනුපුටා දැමීමේ බලාපොරොත්තුව ද පෙරදැරිවය.


නාමලී ගමගේ



Previous Post Next Post