කාලෙකට පස්සේ ලංකාවට ආපු සසන්ති කියපු කතාව




සසන්ති ජයසේකර කියන්නේ පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙන්ද බොහෝ ප්‍රේක්ෂක ආදරය ලැබූ  සුරූපී, දක්ෂ රංගන ශිල්පිනියක්. විවාහයෙන් පසු විදේශ රටක ස්ථීර පදිංචියට ගිය නිසා කලා නිර්මාණ තුළින් අපට සසන්ති ජයසේකරව දැක ගන්නට ලැබුණේ නැහැ. නමුත් වසර ගණනක්


ලංකාවෙන් දුරස්ව සිටි සසන්ති පසුගියදා ලංකාවට පැමිණීමත් සමඟ සිය රසිකයන් අතර බොහෝ කතා බහට ලක්වුණා. ඉතින් ඒ නිසාම මෙවර හදගැස්මත් සමඟ සිය අදහස් බෙදා ගන්නට අපි සසන්ති ජයසේකරව එක් කර ගත්තා.


ඉතින් ඔබට කොහොමද?


හොඳින් ඉන්නවා. අනෙක් පිරිස වගේම මගේ වැඩ කටයුතු කරගෙන එංගලන්තයට වෙලා බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා.


කලකට පසුව ලංකාවට පැමිණියේ කෙටි විවේකයකටද?


ඔව්. මම ලංකාවට ආවේ කෙටි විවේකයක් ගත කරන්න. මගේ මහත්තයා ලංකාවට ආව දෙවැනි වතාව තමයි මේ. ඉතින් මේ වතාවේ අපට ගිය වතාවේ සංචාරය කරන්න ලැබුණේ නැති ප්‍රදේශවල සංචාරය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මගේ ලොකු මල්ලිගේ විවහයත් සිදුවන නිසා එයටත් සහභාගි වෙනවා.


ඔබ ක්ෂේත්‍රයේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයි ඔබ හදිසියේම කලාව අතහැරලා ගියේ?


ඇත්තටම මට කලාව ගැන ලොකු තණ්හාවක් තිබුණේ නැහැ. මට හොඳම නිළියට හිමි සම්මානය දිනාගන්න ලැබුණා. ඉතින් ඒ සම්මානය දෙතුන් වතාවක් දිනා ගන්න මට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. ඉතින් සම්මානය ලබාගත්තාට පස්සේ මම ලංකාවෙන් ගියා.


විදේශගත වුණු බොහෝ කලාකරුවන් විටින් විට හෝ කලාවට සම්බන්ධ වෙනවා. ඔබට එවැනි අදහසක් නැද්ද?


මම එංගලන්තයේදී ජූලියා සිනමාපටයට සම්බන්ධ වුණා. එංගලන්තයේ පැවැත්වෙන පොඩි පොඩි වැඩසටහන්වලටත් මම සම්බන්ධ වෙනවා. ඒ වගේම හොඳම නිර්මාණයකින් මට ආරාධනාවක් ලැබුණොත් මම ලංකාවට ඇවිත් ඒ නිර්මාණයට සම්බන්ධ වෙලා යනවා.


ඔබ කලකට පසුවයි ලංකාවට පැමිණියේ. ඉතින් රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එදා වගේම අදත් මගේ රසිකයන් මාව හ¾දුනා ගන්නවා. අපි රංගනයට ආපු කාලයේදී සමාජ මාධ්‍ය මේ තරම් ජනප්‍රිය  නැහැ. ඒ වගේම අපි මිනිසුන් අතරට ගියේ බොහොම මහන්සියෙන් රඟපාලා හොඳ නමක් හදාගෙන. ඉතින් ඒ ජනප්‍රියත්වය බොහෝ කාලයක් රඳා පවතිනවා. මාලනී ෆොන්සේකා කියන චරිතය පරම්පරා ගණනක් ගියත් මිනිසුන්ට අමතක වන්නේ නැත්තේ ඒ නිසා. මම සමාජ මාධ්‍ය එක්ක සම්බන්ධ වෙන්නේ බොහොම මෑත කාලයකදී. ඉතින් මම විදේශ රටක ඉඳලා සමාජ මාධ්‍යයන්ට එක් කරන  ඡායාරූප වගේම වීඩියෝපට මගේ රසිකයන් නරඹන නිසා ඔවුන් මාව කලකට පසුව දුටුවත් හ¾දුනනවා. ඇත්තටම ඒ ගැන මට බොහොම සතුටුයි.


කලකට පසුව ඔබත් සමඟ කලා ක්ෂේත්‍රයේ වැඩ කළ පිරිස මුණගැසෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම හරිම විනෝදයි. අපි ඉස්සර වගේම  විහිළු තහළු කරමින් බොහෝ විනෝද වෙනවා. මගේ මිතුරන් කිසිම කෙනෙක් වෙනසක් වෙලා නැහැ.  ඔවුන් අදත් එදා වගේමයි.


වර්තමාන කලා ක්ෂේත්‍රය තුළ ඔබ දකින වෙනස්කම් මොනවාද?


ඇත්තටම  එංගලන්තයට ගියාට පස්සේ මට විවේකයක් ලැබෙන්නේ බොහොම අඩුවෙන්. ඉතින් මට අපේ රටේ ටෙලි නාට්‍ය නරඹන්න අවස්ථාව ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඇත්තටම ටෙලි නාට්‍ය නරඹන්නේම නැති තරම්. ඒ නිසා මට වර්තමාන කලා ක්ෂේත්‍රය පිළිබඳව ලොකු අදහසක් නැහැ. නමුත් බොහෝ නවක කලාකරුවන් නම් විවිධ වැඩසටහන්වලදී මුණගැසෙනවා.


ඔබ අපේ රටේ සිටි සම්මානලාභී දක්ෂ රංගන ශිල්පිනියක්.  ඉතින් ඔබ කලාවෙන් දුරස් වීම ඔබේ හැකියාවට කරන අසාධාරණයක් නොවෙයිද?


ඇත්තටම මම එහෙම සිතන්නේ නැහැ. මොකද රංගනය පැත්තෙන් මම හොඳම නිළිය සම්මානය දිනා ගත්තා. මට එයට වඩා මේ ක්ෂේත්‍රය ඇතුළේ දිනා ගන්න දෙයක් නැහැ. නමුත් කලාවෙන් අෑත්වීම නිසා මම මට තිබුණ වෙනත් දක්ෂතාවක් හ¾දුනාගත්තා.


විදේශගත වීමෙන් පසු ඔබට රංගනය මඟහැරුණත් රූපලාවණ්‍ය ක්ෂේත්‍රය අතහැරියේ නැහැ නේද?


ඇත්තටම මම එංගලන්තයේදී හැදෑරුවේ හිසකෙස් අලංකරණය පිළිබඳව. ලංකාවේදී එය රූපලාවණ්‍ය ක්ෂේත්‍රය ලෙස සැලකුවත් එංගලන්තයේදී නම් හිසකෙස් විලාසිතා කියන්නේ වෙනම ක්ෂේත්‍රයක්. මම ඒ පිළිබඳව හොඳින් හැදෑරුවා. ඒ නිසාම මම හිසකෙස් වර්ණ ගැන්වීම පිළිබඳව විශේෂවේදියෙක් වුණා. ඒ නිසාම මට එංගලන්තයේ තිබෙන හොඳම වර්ගයේ සැලෝන් එකකත් වැඩ කරන්න ලැබුණා. මම ඒ ක්ෂෙත්‍රය ඇතුළේ ගොඩක් වැඩ කරනවා. ඉතින් රංගනය මඟහැරුණාට මම පසුතැවෙන්නේ නැහැ.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මම අනාගතය ගැන ගොඩක් සිහින දකින කෙනෙක් නොවෙයි. මොකද මම මේ වන විටත් මම මගේ අරමුණු ළඟා කරගෙන අවසන්. ඉතින් බොහොම ධාර්මික ලෙස ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැර මට ජීවිතයේ තවත් සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු නැහැ.


නිශානි සවින්දිකා රාජපක්ෂ.



Previous Post Next Post