මම ජනප්‍රිය රැල්ල පස්සෙ දුවන්න කැමැති කෙනෙක් නෙවෙයි




ඔහු දායක වූ නිර්මාණ සංඛ්‍යාව සීමිත වුවද ඒ සෑම නිර්මාණයක් තුළින්ම රංගනය විෂයෙහි තමා සතු දක්ෂබව මැනවින් පෙන්වීමට සමත් වූ ශිල්පියෙකි. මෑත කාලීනව මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් ඉස්මතු වූ හැකියාව පිරිපුන් තරුණයෙක් වන මොහුගේ රංගනය ඇස ගැටෙද්දි, අනාගත ටෙලි නාට්‍ය කලාවට දක්ෂයන්ගෙන් අඩුවක් නොවෙනු ඇතැයි යන සිතුවිල්ල මතුවෙයි. මීට වසර කිහිපයකට පෙර පැංචා ලෙසින් රටම හ¾දුනාගත් ඔහු මේ දිනවල වඩාත් ජනප්‍රියව සිටින්නේ, සුකුමල් හා සූර්යා ලෙසිනි. නමින් දුලාන් මංජුල ලියනගේ වන ඔහු මෙවර  කළ කතාබහයි මේ. 


කොහොමද? මේ දවස්වල මොකද වෙන්නේ?


මේ දවස්වල මම රංගනයේ යෙදෙන සුපුන් රත්නායක මහත්මයාගේ ලලයි ලිලයි ලයි සහ චරිත් අබේසිංහ මහත්මයාගේ බඹරෙක් ඇවිත් කියන  ටෙලි නාට්‍ය දෙක විකාශය වෙනවා. ඊට අමතරව අලුත් අධ්‍යක්ෂවරයෙක්ගේ නිර්මාණයක වැඩ කටයුතු කෙරීගෙන යනවා.


ලලයි ලිලයි ලයිහි සුකුමල් කියන්නේ  පැංචාට පසුව ඔබට විශාල ප්‍රේක්ෂක අවධානයක් ලබා දුන් චරිතයක්. ඒ ගැන කතා කළොත්?


පැංචාගේ චරිතය තමයි මුලින්ම මාව ප්‍රේක්ෂකයන් අතරට රැගෙන ගිය මගේ හැරවුම් ලක්ෂ්‍යය. මම දායක වෙලා තිබෙන්නේ සීමිත නිර්මාණ ගණනකට පමණයි. මම ටිකක් තෝරලා බේරලා තමයි නිර්මාණවලට සම්බන්ධ වුණේ. අවුරුදු දෙකකින් තමයි ලලයි ලිලයි ලයි හරහා නිර්මාණයකට දායක වුණේ. ඒ අතරතුර ටෙලි නාට්‍ය කිහිපයක්ම අත්හරින්න වුණා. මේ දවස්වල සුකුමල් කියන චරිතය ප්‍රේක්ෂකයන් අතර ප්‍රචලිත වෙලා තිබෙනවා. අපේ එපිසෝඩ් හැමදාම ට්‍රෙන්ඩිංග් වෙනවා. වෙනස් චරිතයක් හරහා මේ දවස්වල කතාබහට ලක්වෙන එක ගැන ගොඩක් සතුටුයි.


අවුරුදු දෙකක විරාමයක් ගත්තේ විශේෂ හේතුවක් නිසාද?


නළුවෙක්, චරිතාංග නළුවෙක් වෙන්න නම් එකම චරිතයකට කොටු වෙලා බැහැ. අපේ ලංකාවේ තිබෙන  දෙයක් තමයි නළු නිළියන්ව එකම ආරයේ චරිතවලට කොටු කිරීම. ඒ හරහා ඒ ශිල්පීන්ට චරිතාංග ශිල්පීන් විධියට ඉස්මතු වෙන්න තිබෙන ඉඩ ඇහිරෙනවා. ශිල්පියෙක්ව චරිතයකට තෝරගන්නේ නිර්මාණකරුවෝ. ඔවුන්ට අවබෝධයක් තිබිය යුතුයි දක්ෂ ශිල්පීන් කවුද කියලා හ¾දුනාගෙන ඔවුන්ගෙන් වැඩ ගන්න. නළුවෝ කියන්නේ මැටි ගුළි වගේ. ඒ මැටි ගුළිවලින් රූපය අඹන්නේ නිර්මාණකරුවන්. නමුත් ලංකාවේ ඇතුළේ ගොඩක් වෙලාවට ශිල්පීන්ට එකම ආරයේ චරිත ලැබෙන්නේ. ඒ වගේ එකම විධියේ චරිත කිහිපයක් ලැබීම නිසා තමයි ඒ කාලය ඇතුළත ලැබුණු නිර්මාණ මම භාර නොගත්තේ.


ඔබේ නිර්මාණ ලැයිස්තුව දෙස බැලුවම විශාල ලෙස තෝරා බේරා ගැනීමක් සිදු කරලා තිබෙන බව පේනවා?


ඇත්තටම මම කැමැති අභියෝගාත්මක චරිත භාර ගන්න. මට චරිතයක් ලැබුණත් එහි මට යමක් කරන්න තිබෙනවද කියන දේ මම බලනවා. මම ඇත්තටම ජනප්‍රිය රැල්ලේ දුවන්න කැමැති කෙනෙක් නෙවෙයි. මට ඕනෑ ප්‍රේක්ෂකයාට දෙයක් දෙන ගමන් ඒ නිර්මාණය තුළින් මටත් දෙයක් ලබා ගන්න, ඉගෙන ගන්න. සුදු ඇඳගෙන කළු ඇවිදින්හි පැංචාගේ චරිතය ගත්තොත්, ඒ තුළත් අවධි 4ක් තිබෙනවා. ඒ චරිතයට පණ පොවද්දි මම ඒ හරහා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම පැංචාගේ තාත්තට රඟපෑ ආනන්ද කුමාර උන්නැහැගේ චරිතයේ තිබුණු පිස්සුවෙත් රිදම් එකක්


තිබුණා. එහිදි ඒ තාත්තගේ පුතා විධියට ඒ ආභාශය පවා මට චරිතයට අරූඪ කරගන්න සිදු වුණා. ඉතිං රඟපාන එක ලේසි නැහැ. මම තවමත් දේවල් ඉගෙන ගන්නවා. නිර්මාණයක් තුළින් මට දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් මම ඒක භාර ගන්නවා. එහෙම නැතිව ප්‍රසිද්ධියට හෝ මුදල් මත රඟපාන්නේ නැහැ. කවදාහරි ලංකාවේ හෝ  ලෝකයේ හොඳ නළුවෙක් වෙන එක තමයි මගේ ඔළුවේ තිබුණේ. ඒක නිසා නිර්මාණයකට සම්බන්ධ වෙද්දි සැලකිල්ලක් දක්වනවා.


කවදා හෝ මෙහෙම නළුවෙක් වෙනවා කියන සිතුවිල්ල ඇති වෙන්න බලපෑ හේතුවත් මතක් කරමු?


මම පුංචි කාලේ ඉඳන් චිත්‍රපට බලනවා. ඒ කාලේ ගත්තොත් වැඩිපුරම බැලුවේ හින්දි චිත්‍රපට. ඉතින් ඒ දවස්වල ආසම නළුවෝ තමයි ශාරුක් ඛාන්, අමීර් ඛාන් වගේ අය. එයාලාගේ රඟපෑම නිසා අපිත් එයාලට ආදරය කරන්න ගන්නවා. රංගන ශිල්පියෙක්ට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය මේ ලෝකයේ වෙන කිසි කෙනකුට ලබා ගන්න බැහැ. මම හිතන්නේ රංගන ශිල්පීන්ට ප්‍රේක්ෂයන්ගෙන් ලැබෙන ඒ ආදරයට මම ආස කළා. මිනිසුන් පිනවලා ඔවුන්ගේ ආදරය ලබා ගැනීම ඒක වෙනමම දෙයක්. මම හිතන්නේ නළුවෙක් වෙනවා කියන සිතුවිල්ල මට එන්නේ ඒ හේතුව නිසා.


බඹරෙක් ඇවිත් ටෙලි නාට්‍යයේ සූර්යාගේ චරිතය ගැන කතා කළොත්?


ඒක ඇත්තටම මම මීට කලින් කරපු චරිතවලට වඩා වෙනස්ම චරිතයක්. මේ කතාව ගෙතෙන්නේ  70 දශකයේ රටේ සිදු වුණු සමාජ, ආර්ථික, දේශපාලන වෙනස්කම් වටා. එතැනදී පොඩි අභියෝගයක් තිබෙනවා. එහි අධ්‍යක්ෂ චරිත් අබේසිංහ මහත්මයා සමඟ මම වැඩ කරන්නේ පළමු වතාවට. ඔහුගේ නිර්මාණවල වෙනම කොලිටි එකක් තිබෙනවා. ඉතිං ඔහු මට මේ නිර්මාණයට කතා කළාම මට ගොඩක් සතුටු හිතුණා.


සූර්යා කියන්නේ ටිකක් සීරියස් චරිතයක්. සූර්යා කියන්නේ හැත්තෑව දශකයේ ජීවත් වූ පුද්ගලයෙක්. ඒ කාලයේ කතා අපි අහලා තිබුණාට ඒ ගැන ලොකු අත්දැකීමක් නැහැනේ ඒ නිසා අධ්‍යක්ෂතුමාගෙන්, මෙහි පිටපත් රචක සමන්ත කුමාර ගමගේ මහත්මයාගෙන් අහල දැනගෙන ඒ ගැන පොඩි අධ්‍යයනයක් කරලා තමයි මේක කරගෙන යන්නේ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනෑ සූර්යා හරහා මම මගේ පෞද්ගලික මතයක් හුවා දක්වන්නේ නැහැ. මම කරන්නේ පිටපතට අනුව චරිත නිරූපණය. 


දක්ෂ නළුවෙක් වෙන්න සැලකිලිමත් වෙන්න ඕනෑ කරුණු මොනවාද?


ඕනෑම කෙනෙක් මේ ක්ෂේත්‍රය ඇතුළේ  නළුවෙක් විධියට ඉස්මතු වෙන්න නම්, රංගනය කියන දේ යම්තාක් දුරට හෝ හදාරලා තිබෙන්න ඕනෑ. ඒ වගේම හොඳට පොතපත කියවලා, සමාජය ආශ්‍රය කරලා, චිත්‍රපට බලලා අපේ ජීවිතයට දේවල් උකහා ගන්න ඕනෑ. සමාජයේ විවිධ චරිත ඇහැට දැකලා තිබීම අනිවාර්යයි. මොකක් හෝ චරිතයකට ආරූඪ වෙන්න නම් ඒ වගේ චරිත දැකලා ඔවුන්ව අධ්‍යයනය කරලා තිබෙන්න ඕනෑ. ඒක ගෙදරට වෙලා නිදහසේ ඉඳලා කරන්න බැහැ. රංගන ශිල්පියෙක්ට සමාජයේ රස්තියාදුවක් ගහලා කට්ටකාලා අත්දැකීම් තිබෙන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් මම පාරේ යද්දි අමුතු විධියේ කෙනෙක් දැක්කොත් ඒ හැසිරීම මොන වගේද කියලා පොඩ්ඩක් අවධානයෙන් බලනවා. චරිත නිරූපණයේදී ඒ අධ්‍යයනය හරිම වැදගත්.


අද වෙද්දි ටෙලි නාට්‍යවල ග්ලැමර් තරු වෙනුවට, යථාර්ථයට වඩාත් සමීප චරිත ඉස්මතු වෙලා තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස?


ඇත්තටම ඒක වෙන්න ඕනෑ දෙයක්. එහෙම වුණේ නැත්තම් අපේ ප්‍රේක්ෂකාගාරය කවදාවත් බුද්ධිමත් වෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයා ඇත්තටම වෙනස් දේවල් දකින්න, බලන්න කැමැතියි. නමුත් නිර්මාණකරණයේදියි ගැටලුව තිබෙන්නේ. නිර්මාණකරුවන් මොන දේ හිතුවත් ප්‍රේක්ෂකගාරය වෙනස් දේවල් හොඳින් ග්‍රහණය කරගන්නවා. කූඹියෝ, තණමල්විල කොල්ලෙක්, සුදු ඇඳගෙන කළු ඇවිදින් වගේ නිර්මාණ ඒකට හොඳ උදාහරණ.


සමාජය වුණත් අපිට නිතරම වගේ මවාපාන්නේ බොරුව. සමාජයේ ඇතුළත තිබෙන සත්‍ය එළියට එන්නේ කලාතුරකින්. ඉතිං මිනිසුන්ට මේ ඇත්ත පෙන්වන්න තිබෙන එකම ක්‍රමය තමයි කලා නිර්මාණ. මිනිස්සු ඒ වගේ යථාර්ථයට සමීප නිර්මාණවලට, චරිතවලට සමීප වීම ඇත්තටම සතුටක්.


අවසන් වශයෙන් ඉදිරියේදී එන්න තිබෙන නිර්මාණ ගැනත් මතක් කරමු?


නිර්මාණ කිහිපයකම වැඩ කටයුතු කෙරෙමින් පවතිනවා. ඒ වගේම සාකච්ඡා මට්ටමේ තිබෙන වැඩ කිහිපයකුත් තිබෙනවා. බලමු ඉදිරියේදී ඒ ගැන දැනුම් දෙන්නම්.


අක්ෂි මාපා වීරසිංහ



Previous Post Next Post