ගැඹුර දැනගෙනයි පීනන්න බැස්සේ- විශ්මි නිශායා




දෙරණ අවුරුදු කුමරිය පසුගිය සිංහල අලුත් අවුරුදු දා උත්කර්ෂවත් ආකාරයට නිමා වුණා. දෙරණ අවුරුදු කුමරිය විශේෂ වෙන්නේ මෙම තරගය නිසා ලංකාවේ ජනප්‍රිය නිළියන් බවට පත්වූ බොහෝ දෙනෙක් සිටින නිසා. මෙවරත් අවුරුදු කුමරිය ලෙස කිරුළු පැලඳූ 20 හැවිරිදි විශ්මි නිශායා කාව්‍යාංජලීගේ ඉරණම කුමන ආකාරයට වෙනස් වේදැයි දැන ගන්න අපි ඇයට කතා කළා.




විශ්මි නිශායා කාව්‍යාංජලී මොකද හිතෙන්නේ අලුත් අවුරුදු ත්‍යාගය ගැන...




ඇත්තටම සතුටුයි. මේ සැබෑ වුණේ මගේ හිතේ තිබුණ හීනයක්.




ඒ කියන්නේ තරුවක් වෙන්න ආසාවෙන් උන්නේ...




ලොකු කැමැත්තක් තිබුණා. පුංචි කාලේ ඉඳලම ඩාන්සින් තමයි මගේ ජීවිතය වුණේ. ඒ හීනයට යන්න පාර කැපුණා කියලා හිතෙනවා.




කවුද ඔය ලස්සන නම තිබ්බේ?




අම්මයි තාත්තයි වෙන නමක් තමයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. නමුත් ආපු අකුරුත් එක්ක තමයි විශ්මි නිශායා කාව්‍යාංජලී කියන නම තියලා තියෙන්නේ. ඇත්තටම මමත් ඒ නමට හරිම ආදරෙයි.




උපන් ගම් පළාත ගැන කතා කරමුද...




නාවලපිටිය කියන සුන්දර ගම්මානයේ තමයි මම ඉපදෙන්නේ. ශිෂ්‍යත්වය පාස්වෙලා තමයි ගම්පොළ ශාන්ත ජෝශප් විද්‍යාලයට පැමිණෙන්නේ.




මතකද ශිෂ්‍යත්වය ගැන...




අපෝ ඔව්. ගොඩක් මහන්සි වුණා. මට ඕන වුණේ ඉහළ ලකුණක් අරගෙන මහනුවර මහමායා විද්‍යාලයට යන්න. නාවලපිටියේ කනිෂ්ඨයෙන් ශිෂ්‍යත්වය ලියලා ලකුණු 164ක් අරගත්තා. ගම්පොළ ශාන්ත ජෝශප් විද්‍යාලයට තමා යන්න වුණේ. හැබැයි හිතාගත්තා කවදා හරි මහමායා විද්‍යාලයට යනවා කියලා. සාමාන්‍ය පෙළ ලියලා තමයි මම මහාමායා එකට ගියේ.




ගෙදර පරිසරය කොයි වගේද?




මම පවුලේ එකම දරුවා. තාත්තා නම් වැඩිපුරම ඉන්නේ විදේශගත වෙලා. අම්මා තමා මාව ඇස් දෙක වගේ බලාගන්නේ. අම්මා සැලෝන් එකක් කරනවා.




එකා යකා කියන්නේ ඇත්තද?




මමත් ටිකක් දඟ ළමයෙක්. දුවලා පැනලා පෙරළිලා ඉන්න තමයි කැමැත්ත.




තාත්තා ළඟ නැති වීම දුවෙක්ට අඩුවක් නොවේද?




මට මතක කාලේ ඉඳලම තාත්තා උන්නේ විදෙස් රටවලම. ඉඩක් ලැබෙන හැම මොහොතකම එයා අපිව බලන්න එනවා. නමුත් අම්මා, තාත්තා නැති පාඩුව මට දැනෙන්න දෙන්නේ නැහැ. උපන් දිනේ දවසට මගේ තාත්තගේ අඩුව ලොකුවට දැනෙනවා. එයා රට ඉන්නේ අපිව ජීවත් කරවන්නනේ. මගේ අම්මා මගේ තාත්තත් වෙලා මාව බලාගන්නවා.




පුංචි කාලේ හීන ගැන කතා කරමුද?




ඩාන්සින්වලට තමා ලොකුම කැමැත්ත තිබුණේ. කවදා හරි කලාව පැත්තට බරවෙන හැඟීම් තිබුණා.




ඩාන්සින් කරනවට අම්මා කැමැති වුණාද?




මගේ දක්ෂතා ගැන අම්මා දැනගෙන උන්නා. ඉස්කෝලේ අය මගේ නම කිව්වත් දන්නවා. මුළු දවසම ඩාන්සින් රූම් එකේ ගත කරපු අතීතයට මම හරිම ආසයි.




මහමායා එකට යනකොට දුකක් හිතුණේ නැද්ද?




දුකක් දැනුණා. ඉස්කෝලේ ටීචටර්ස්ලා පවා බැන්නා යන්න එපා කියලා. ඔයාට මෙහේ තියෙන තැන එහේ ලැබෙන එකක් නැහැ කියලා කිව්වා. නමුත් මගේ අධ්‍යාපනය ගැනත් හීනයක් තිබුණ නිසා මම මහනුවර මහමායා විද්‍යාලයට ගියා.




කොහොමද අවුරුදු කුමාරි තරගයට එන්න ඕන කියන අදහස හිතට එන්නේ...




නුවරට ආවට පස්සේ ඉගෙනී‍ම් කටයුතුවලට හිත යෙදෙව්වා. පසුගිය ජනවාරි මාසේ උසස් පෙළ විභාගය ලියලා ඉන්නකොට අනුත්තරා කියලා මගේ අඳුනන අක්කා කෙනෙක් තමයි ඇහුවේ අවුරුදු කුමරි තරගයට යමුද කියලා. මමත් කැමැති වුණා. උසස් පෙළ ලියන අතරතුර තමා මම දෙරණට මගේ ඉල්ලුම්පත්‍රය දැම්මේ.




මතකද අවුරුදු කුමාරි තරගයට මුලින්ම ආපු දවස...




දෙරණ ආයතනයෙන් දුරකථන ඇමැතුමක් ආවා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයට එන්න කියලා. ආයෙමත් සැරයක් මම කල්පනා කළා යනවද නොයනවාද කියලා. අවසානයේ අම්මත් එක්කම යන්න තීරණය කළා.




ගොඩක් අය ඇවිත් උන්නද?




හයසීයකට ආසන්න පිරිසක් ඇවිත් උන්නා. ලස්සන ලස්සන යුවතියෝ ගොඩක් මැදදි මට පුංචි බයකුත් දැනුණා.




ඔයා හිතුවද මේ අය අතරේ ඔයාටත් තැනක් ලැබෙයි කියලා....




මට බයක් දැනුණා. සමහර අය සුදුයි, කොණ්ඩෙ දිගයි. උස අය උන්නා. මේ අය අතරේ මට ඉඩක් නැති වෙයි කියලයි හිතුණේ. ඉස්සර මගේ කොණ්ඩෙ ඉණෙන් පහළට තිබුණා. විභාගේ ඉවර වෙලා මම කොණ්ඩේ කැපුවේ පුංචි වෙනසක් දකින්න. කොණ්ඩේ කැපුවේ අපරාදේ කියලා ඒ මොහොතේ හිතුණා.




කිරුළ ගැන බලාපොරොත්තුවක් ඇති වුණේ කොයි මොහොතෙදිද?




මුලින්ම ඊළඟ වටයට 50 දෙනෙක් තෝරගත්තා. 50 දෙනා 20 වෙනකොට පුංචි බලාපොරොත්තුවක් ඇතිවුණා. විශේෂයෙන්ම මගේ නර්තන හැකියාවන්වලට ඉල්ලුමක් ලැබිලා අවසාන 12 දෙනාට එනකොට නම් හොඳ තරගයක් දෙනවා කියලා හිතාගත්තා.




අවසාන බලාපොරොත්තුව කොහොමද?




අවසාන 12 දෙනාගේ තරගයේ ආකර්ෂණීයම කුමරියට හිමි ටයිටල් එක මට ලැබෙනකොට ජයග්‍රහණය ගැන ලොකු බලාපොරොත්තුවක් ඇතිවුණා. මමයි තව කෙනකුයි තමා එතැන උන්න ළාබාලම අය. මුලින්ම එයා ඉවත් වුණා. දැන් පොඩිම කෙල්ල මම. තුන්වැනි ස්ථානයත් නිවේදනය කළා. ඒ මම නෙවේ. අනිත් අයත් කියනවා නංගි ඔයා තමා දිනන්නේ කියලා. අවසානයේ එය එලෙසම වුණා. ඇත්තමයි, ජයග්‍රාහිකාව මම කියලා කියනකොට මගේ දෑස්වලින් කඳුළු පැන්නා.




මොනවද හිතුණේ....




මට ඕන වුණේ අම්මගේ මූණ බලන්න. කැමරා වටේට තිබුණත් ප්‍රේක්ෂකාගාරයේ උන්න මගේ අම්මගේ මූණ මම හෙව්වේ. මගේ ජයග්‍රහණය ළඟ වැඩියෙන්ම සතුටු වෙන්නේ එයා කියලා මම දන්නවා. ඈත කොනක ඉඳන් බලාගෙන උන්න අම්මගේ මූණ සතුටින් බැබළෙනවා මම දැක්කා.




තාත්තට ආරංචිය කිව්වෙ නැද්ද?




තාත්තා වීඩියෝ කෝල් එකකින් ඔක්කොම බලාගෙන උන්නේ. හරිම සතුටුයි තාත්තා දුර රටක ඉඳගෙන හරි ඒ මොහොතේ සම්බන්ධ වෙච්ච එක ගැන. මේ අවුරුද්දට ලැබුණ වටිනාම තෑග්ග තමා දෙරණ අවුරුදු කුමරිය කිරුළ.




දැන් නිළියක් වීමේ පළමු අඩිය තිබ්බා නේද?




ඇත්තටම රඟපාන්න කැමැත්තක් තියෙනවා. මේ නිසා ඉදිරියේදී එවන් අවස්ථාවක් ලැබෙයි කියල බලාපොරොත්තුව හිතේ තියෙනවා.




එතකොට ඉගෙනීම නතර වෙයිද?




නැහැ. අංක එක තමා ඉගෙනීම. ව්‍යාපාර කළමනාකරණය ගැන උපාධියක් සම්පූර්ණ කළ යුතුමයි. ඒ වගේම රංගන ශිල්පිනියක් හැටියට මගේ හිතේ තියෙන ආසාවන් ඉෂ්ට කරගන්නත් ඕන.




මේ ජයග්‍රහණයේ රහස මොකක්ද?




සැහැල්ලුවෙන් තරගයට මුහුණ දීම. මම දන්න දේ හරියටම කළා. නොදන්නා දේවල් කරන්න ගියේ නැහැ.




මීට කලින් මෙවැනි තරගවලට ඉදිරිපත් වෙලා තියෙනවද?




ඉස්කෝලේ යන කාලේ පාසලේ අවුරුදු කුමරියට ඉදිරිපත් වෙලා දෙවැනි ස්ථානය දිනාගත්තා (2023) එදා තමයි මම හිතාගත්තේ අනිවාර්යයෙන්ම දෙරණ අවුරුදු කුමරිය තරගයට සහභාගි වෙනවා කියලා.




සිනමාව හා එහි රංගන ශිල්පීන් ගැන ඔබේ ඇති කැමැත්ත මොන වගේද?




මම පරණ සහ අලුත් චිත්‍රපට බලනවා. මාලිනී ෆොන්සේකා මහත්මියගේ පරණ රඟපෑම් බලන්න හරිම කැමැතියි. ඒ වගේම හේමාල් රණසිංහ, පූජා උමාශංකර් හා උදාරි වර්ණකුලසූරිය ඉන්න චිත්‍රපට බලනවා. පොඩි කාලේ මගේ නර්තනය දැක්ක සර් කෙනෙක් කිව්වා ඔයාව දැක්කම මාලනී ෆොන්සේකාව මතක් වෙනවා කියලා. එදා මට මා ගැන ලොකු ආඩම්බරයක් දැනුණා.




හින්දි නළු නිළියන්ට කැමැති නැද්ද?




දීපිකා පදුකෝන්ට තමා කැමැති. ඒකටත් හේතුවක් තියෙනවා. මම ගම්පොළ ජෝශප් එකේ ඉන්නකොට අපේ නර්තන තරගයක් විනිශ්චය කරන්න වසන්ත දුක්ගන්නාරාල සර් ආවා. මම නටනකොට ඔහුට දීපිකා පදුකෝන්ව මතක් වුණා කිව්වා. මට එදා ඉඳන් තමා දීපිකාට කැමැත්තක් ඇතිවුණේ.




දිගටම නාවලපිටියේ ඉන්නද අදහස...




රංගන අවස්ථාවන් හිමි වුණොත් කොළඹට එනවා. මොකද මගේ අධ්‍යාපන කටයුතුවලටත් එය පහසුයි.




ළඟදි තාත්තා එනවද?




ඉක්මනින් එනවා කිව්වා. එයාටත් මගේ මූණ දකිනකම් ඉවසුමක් නැහැ.




කලා ක්ෂේත්‍රයේ ප්‍රශ්න දැනගෙනද දෙමාපියෝ ඔයාට මේ ගමන යන්න අවසර දෙන්නේ...




මට එදා ඉඳන්ම පුදුම නිදහසක් ලැබුණා. අම්මයි තාත්තයි දෙන්නම දන්නවා ඒ නිදහසෙන් මම අයුතු දේ කරන්නේ නැහැ කියලා. අපි හොඳ නම් ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ.




ආදරය ගැන මොකද හිතෙන්නේ....




අම්මගෙන් තාත්තගෙන් ලැබෙන ආදරය හොඳටම ඇති.




මම අහන්නේ එහෙම ආදරයක් ගැන නෙවේ...




මම හිතන්නේ එහෙම ආදරයකට මම තාමත් සූදානම් නැහැ. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නවා. විවාහ වෙන කාලේ ආපුවාම විවාහ වෙනවා ඒක නිසා හදිසියක් නැහැ.




ඔබ වැනි සුන්දර යුවතියකට තරුණයන්ගෙන් ලොකු ආකර්ෂණයක් ඇති නේද?




ආකර්ෂණය තිබුණට මට හදිසියක් නැහැ. ඇත්තටම අධ්‍යාපන කටයුතු නිමා කරලා තමයි මම එවැනි සම්බන්ධයක් ගැන හිතන්නේ.




කලාවේ ප්‍රශ්න ගැන ඔබත් දන්නවා ඇති නේද?




ලිමිට්ස් තියාගෙන වැඩ කළොත් ඕන තැනක ඉන්න පුළුවන්. සීමාව පන්නගත්තොත් තමා අනිත් අයත් සීමාව ඉක්මවා එන්නේ.




ඒ කියන්නේ ඔබට ඔබ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා...




වතුරේ ගැඹුර දැනගෙන තමා මම පීනන්න ලෑස්ති වෙන්නේ.




කොහොමද ඔච්චර ලස්සනට හැඩට ඉන්නේ?




මගේ අම්මා රූපලාවණ්‍ය ශිල්පිනියක්. මගේ ඇඳුම් නිර්මාණය කරන්නේ ඇය. ඒ වගේම මට ලස්සනට ඉන්න කියලා දෙනවා.




ඔබේ මීළඟ පියවර මොකක්ද?




උපාධිය සම්පූර්ණ කරගෙන කලාවේ හොඳ නිර්මාණවලට දායක වෙන්න කැමැතියි. හැම දෙයක්ම පිළිවෙළට සිද්ධ වුණා වගේම ඒකත් සිද්ධ වෙයි.



Previous Post Next Post