බනිසා කිව්වාම කවුරුත් මාව දන්නවා-රොනාල් දිල්නුක




කුඩා කළ පටන්ම රංගනයෙන් දස්කම්පාන මේ පුංචි පොඩිත්තා නමින් රොනාල් දිල්නුක. මේ දිනවල විකාශය වන හපන්නු අපි ගමේ රාජ්ජේ ටෙලි නාට්‍යයේ කරවලයා නැති නම් හරි¾දුගේ චරිතයෙන්  ප්‍රේක්ෂක ආදරය ලබන මේ කටකාර, දඟකාර පුංචි පුතා මෙවර  අදහස් බෙදාගත්තේ මෙලෙසින්. 


ඉතින් පුතේ ඔයාගේ විස්තර ටිකක් කියන්නකෝ?


මගේ නම රොනාල් දිල්නුක. මට වයස අවුරුදු 11යි. මම ජීවත් වන්නේ නුවර පොල්ගොල්ල ප්‍රදේශයේ. මගේ පවුලේ  අම්මාත්, අප්පච්චීත්,  නංගීත් මමත් ජීවත් වනවා.


පුතාගේ මුල්ම ටෙලි නාට්‍ය ගැනත් කතා කළොත්?


මම රංගනයෙන් දායක වුණු මුල්ම නාට්‍ය තමයි ‘අදිසි’ නම් ළමා නාට්‍ය. එම නාට්‍යයේ  බනිසාගේ චරිතයට මම රංගනයෙන් දායක වුණා. බනිසාගේ චරිතයෙන් තමයි මාව ප්‍රේක්ෂකයන් හ¾දුනා ගත්තේ. එය මගේ මුල්ම ටෙලි නාට්‍ය වුණත් ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර මට ලැබුණා.


පුතා මුලින්ම රංගනයට එන්නේ කොහොමද?


ඒක හරිම අහඹු සිදුවීමක්. පාසල් නිවාඩු කාලයේ මම කුරුණෑගල අපේ අත්තම්මලාගේ ගෙදර ගිහිල්ලා ඉද්දී බුද්ධික සර් අදිසි නාට්‍යයේ දර්ශන තල බලන්න අපේ රංජිත් රූබන් සීයා එක්ක අපේ අත්තා කෙනකුගේ ගෙදර ආවා. සර් එනකොට මම මිදුලේ සෙල්ලම් කර කර හිටියේ. සර් මාව දැකලා රඟපාමුද ඇහුවා. මම බැහැ කිව්වා. පස්සෙ දවසක රංජිත් සීයාට සර් කියලා තියෙනවා මාව ඒ නාට්‍යයට ඕනෑ. ඒ නිසා රඟපාන්න එන්න කැමැතිද කියලා අහන්න කියලා. ඊට පස්සේ මම හා කිව්වා. එහෙම තමයි මම මුලින්ම රඟපාන්න එන්නේ.


දිල්නුකට ප්‍රේක්ෂකය ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. “හැමෝම මගේ රංගනය අගය කරනවා. පාරෙදී හමුවන නැන්දලා, මාමලා මාව හ¾දුනාගෙන ළඟට ඇවිත් සුබපතලා යනවා. බොහෝදෙනා මාව හ¾දුනන්නේ බනිසා කියන නමින්.” ඒ අදිසි ටෙලි නාට්‍යයේ මගේ චරිතයේ නම. ඉස්කෝලෙ ළමයි එහෙම මාව දකිද්දි බනිසා කියලා කෑ ගහලා කතා කරනවා. ඒ අය මට ගොඩක් ආදරෙයි. මමත් මගේ ප්‍රේක්ෂකයන්ට ගොඩක් ආදරෙයි.


රංගන වැඩකටයුතුවලට පාසලේ ගුරුවරුන්ගෙන් මිතුරු මිතුරියන්ගෙන් උදවු ලැබෙනවාද?


ඔව්. මම ඉගෙන ගන්නේ මහවැලි ද්විතීයික පාසලේ. මගේ පාසලේ හැමෝම මට ගොඩක් ආදරෙයි. ඒ අය මට ගොඩක් උදවු කරනවා.  විදුහල්පතිතුමා, පන්තිභාර ගුරුතුමිය ඇතුළු සියලු විෂයන් භාරව සිටින ගුරුවරුන් මගේ රංගන කටයුතුවලට වගේම අධ්‍යාපන කටයුතුවලට  ලොකු සහායක් ලබා දෙනවා. ඒ වගේම පාසලේ මිතුරු මිතුරියන් සියලුම දෙනාත් මට ගොඩක් උදවු කරනවා. අතපසු වන පාඩම් වැඩ සියල්ල ඔවුන් මට ලබා දෙනවා. ඔවුන් සෑම මොහොතකම මාව දිරිමත් කරනවා.


රංගනයට අමතරව පුතා වැඩියෙන් කැමැති මොනවාටද?


මම රංගනයට පසුව වැඩියෙන්ම කැමැතියි පිහිනන්න. ඒ වගේම  සින්දු කියන්න වගේම බටනළා වාදනය කරන්නත් කැමැතියි. නිවාඩුවක් ලැබෙන සෑම වෙලාවකම නිදහසේ ඇවිදින්න යන්නත් මම ගොඩක් කැමැතියි.


රංගන කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


මාත් එක්ක රූගත කිරීම්වලට යන්නේ මගේ අප්පච්චී. අප්පච්චී නැති දවසට අත්තම්මා මාත් එක්ක යන්න එනවා. අත්තම්මා මට ගොඩක් ආදරෙයි. එයා මහන්සි බලන්නේ නැතිව මං වෙනුවෙන් එනවා. ඒ වගේම මගේ පවුලේ අනෙක් සෑමදෙනාත් මගේ රංගන වැඩකටයුතුවලට ලොකු සහයෝගයක් ලබා දෙනවා.


පුතාට අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?


නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තිබෙනවා. මේ දිනවල හපන්නු අපි ගමේ රාජ්ජේ ටෙලි නාට්‍යයේ ෂූටින් වැඩකටයුතු  කෙරෙන නිසා අනෙක් වැඩවලට අවධානය යොමු කරන්න ටිකක් අපහසුයි. නමුත් වෙළෙඳ දැන්වීම් කිහිපයක්ම පසුගිය කාලයේ සිදු කළා. තවත් වෙළෙඳ දැන්වීම් කිහිපයකටම ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ වගේම චිත්‍රපටයකටත් ආරාධනා ලැබිලා තිබෙනවා.


ඔබ මෙතෙක් පැමිණි ගමනේදී උදවු කළ පිරිසත් මතක් කළොත්?


මට ළමා රංගන ශිල්පියකු වන්න බොහෝ දෙනෙක් උදවු උපකාර කළා. විශේෂයෙන්ම මගේ රංගන කටයුතුවල ගුරුවරයා වන බුද්ධික ලොකුකැටිය සර්, මගේ පවුලේ අය සහ මගේ පාසලේ මිතුරු මිතුරියන් වගේම පාසලේ ගුරුවරුන්  සියලුමදෙනාත් රංගන කටයුතුවලට මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම හපන්නු අපි ගමේ රාජ්ජේ  ටෙලි නාට්‍යයේ මා සමඟ වැඩ කරන මගේ යහළුවන් සියලුමදෙනාත් ගොඩක් උදවු කරනවා. ඒ වගේම ප්‍රවීණ නැන්දලා, මාමලා හැමෝම මට මොනවාහරි වැරදුණොත්  මේක හරියට කරන්නේ මෙහෙමයි කියලා කියලා දෙනවා. ඒ වගේම මේ ගමන එන්න වැඩියෙන්ම උදවු කළේ මගේ පවුලේ අය. ඒ සෑම කෙනෙක්ම මම වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරනවා. ඒ අයවත් ආදරයෙන් මතක් කරනවා.


පුතාගේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මගේ අනාගත බලාපොරොත්තුව තමයි හොඳින් ඉගෙනගෙන වෛද්‍යවරයෙක් වීම. ඒ වගේම දවසක දක්ෂ රංගන ශිල්පියෙක් වන්නත් බලාපොරොත්තු වනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ



Previous Post Next Post