මේ තමයි මට සම්මානයක් ලැබුණු පළමුවැනි වතාව-ශයිනි නෙත්තිකුමාර





මේ දිනවල විකාශය වන ‘සංගීතේ’ ටෙලි නාට්‍යයේ සකුනිගේ චරිතයෙන් සහ ‘හපන්නු’ අපි ‘ගමේ රාජ්ජේ’ ටෙලි නාට්‍යයේ වන්දනාගේ චරිතයෙන් ඔබ හමුවට එන ශයිනි නෙත්තිකුමාර බොහෝ ප්‍රේක්ෂක ආදරය ලබන දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ වසරේ නැඟී එන විශිෂ්ටතම නිළියගේ සම්මානයෙන් පිදුම් ලැබූ තරුණ රංගන ශිල්පිනියද වනවා. පුංචි තිරයේ මෙන්ම රිදී තිරයෙන්ද සිය රංගන ප්‍රතිභාව මැනවින් ඉදිරිපත් කරන ශයිනි නෙත්තිකුමාර මෙවර  අදහස් එක් කළේ මෙලෙසින්. 


මේ දිනවල මොකද වෙන්නෙ?


මේ දිනවල සතුටින් හොඳින් කාලය ගත කරනවා. ඒ වගේම රංගන වැඩ කටයුතුත් කරගෙන යනවා.


ඉතින් මේ දිනවල ඔබේ කලා කටයුතු ගැනත් කතා කළොත්?


මේ වන විට මම අලුත් ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම මම රංගනයෙන් දායක වන හපන්නු අපි ගමේ රාජ්ජේ සහ සංගීතේ ටෙලි නාට්‍ය දෙකද මේ දිනවල විකාශය වනවා.


ලැබුණ රයිගම් සම්මානය ගැනත් කතා කළොත්?


ඇත්තටම මම බලාපොරොත්තු වුණේ නැහැ සම්මානයක් ලැබෙයි කියලා. රයිගම් සම්මාන උළෙලේදී වසරේ නැඟී එන විශිෂ්ටතම නිළිය සම්මානයට නිර්දේශ වීමම ලොකු දෙයක් ලෙසයි මම නම් හිතුවේ. ඇත්තටම ඒ ගැන මට ගොඩක් සතුටුයි. රයිගම් ටෙලි සම්මාන උළෙල බලන්නවත් මම ගිහින් තිබුණේ නැහැ. මෙය මාව සම්මාන උළෙලකට නිර්දේශ වූ සහ මට සම්මානයක් ලැබුණු ප්‍රථම වතාව. ඒ අත්දැකීම ලබාගන්න පුළුවන් වීම ගැන ඇත්තටම හරිම සතුටුයි.


නවක රංගන ශිල්පිනියක් ලෙස මෙවැනි ගමනක් එන්න ලැබීම ගැන මොකද හිතන්නේ?


ඇත්තටම මට මං ගැන නිහතමානී ආඩම්බරයක් තිබෙනවා. එක දිගටම කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න නොලැබුණත් මම රංගන ක්ෂේත්‍රයේ වැඩ කටයුතු ආරම්භ කරලා අවුරුදු දහයක් වගේ වෙනවා. පාසල් කාලයේ අධ්‍යාපන වැඩකටයුතුත් එක්ක එක දිගටම රංගනයේ යෙදෙන්න අවස්ථාව


ලැබුණේ නැහැ. ඉතින් ඒ වැඩකටයුතු අවසන් කරලා තමයි රංගන වැඩකටයුතුවලට අවධානය ලබාදීලා ඒ වැඩකටයුතු ආරම්භ කළේ. මේ වෙලාවේ සුපුන් රත්නායක අයියා සහ සුරාජ් මාපා අයියාවත් විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. මොකද ඔවුන් දෙදෙනා තමයි මාව මේ වගේ චරිත දෙකකට තෝරාගත්තේ. මගේ හැකියාව දැකලා ඒ චරිත මට දුන්න නිසා තමයි මම මේ සම්මානයට පාත්‍ර වුණේ.


ඔබට සම්මාන හිමි වූ ඒ චරිත  ගැනත් කතා කළොත්?


ඔව්. ඇත්තටම රයිගම් ටෙලි සම්මාන උළෙලේදී නැඟී එන හොඳම නිළිය සම්මානය ලැබෙන්නේ “ෆෝචූන් රෙසිඩන්සි”  නිර්මාණයට සහ “නොනිමි” නිර්මාණයටයි. ඉතින් මේ ටෙලි නාට්‍ය දෙකේ මගේ චරිත එකිනෙකට වෙනස් චරිත දෙකක්. නමුත් මම ඒ චරිත දෙකටම එක වගේ ආදරෙයි. ඒ චරිත දෙකෙන්ම සමාජයට ලොකු පණිවුඩයක් ගෙනෙනවා.


ඔබ චරිත තෝරාගැනීමක් කරනවාද?


ඇත්තටම ඔව්. මම කැමැතියි සෑම තැනකම දකින්න නොලැබෙන තරමක් වෙනස් චරිත කරන්න. අපි එකම චරිතවලින් නැතිව වෙනස්, විවිධ චරිතවලින් එනවාට ප්‍රේක්ෂකයන් කැමැතියි. ඒ වගේම හැම කෙනෙක්ම ආදරය කරන, මගේ හැකියාව පෙන්වන්න පුළුවන් චරිත කරන්න මම කැමැතියි. එතැනදී මගේ නමට හෝ පෞද්ගලිකත්වයට හානි වන චරිත මම තෝරාගන්නේ නැහැ.


කොහොමද ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?


ඇත්තටම මෙය මට හිතාගන්න බැහැ. ප්‍රේක්ෂකයන් තුළ මෙතරම් ආදරයක් ඇතිවුණාද කියලත් හිතුණා. මගේ ප්‍රේක්ෂකයන්, මිතුරු මිතුරියන් වැනි බොහෝදෙනා මාව අගය කරලා සුබ පැතුම් එක් කළා. ඇත්තටම ප්‍රේක්ෂකයන්ගෙන් ඒ වගේ ප්‍රතිචාර ලැබීම ගැන මට ගොඩක් සතුටුයි.


දැන් වේදිකාවෙන් අෑත් වෙලාද?


වේදිකාව අත ඇරලා නැහැ. පසුගිය කාලයේ වේදිකා නාට්‍ය සීමිත ප්‍රමාණයක් තමයි නිර්මාණය වුණේ. ඒ නිසාම වෙන්න ඇති මට ආරාධනාවක් ලැබුණේ නැහැ. නමුත් දැන් ඒ තත්ත්වය ටිකක් වෙනස් වෙලා. ඉතින් හොඳ වේදිකා නිර්මාණයකින් ආරාධනාවක් ලැබුණොත් දෙපාරක් හිතන්නේ නැතිව මං ඒක භාරගන්නවා. මොකද මම ටෙලි නාට්‍යයට එන්න කලින් වේදිකා රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කළා.


අලුත් සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?


ශ්‍රී වික්‍රම රාජසිංහ සිනමා නිර්මාණය මීට මාස කිහිපයකට කලින් තිරගත වීම ආරම්භ වුණා. එය තමයි මගේ පළමුවැනි සිනමා නිර්මාණය. ඒ නිර්මාණයෙන් පසුව නම් තවම සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැහැ.


නවක කලාකරුවෙක් ලෙස රංගන ක්ෂේත්‍රය තුළ පැමිණි ගමනේදී ඔබට අභියෝගවලට මුහුණ දෙන්න වුණේ නැද්ද?


ජීවිතය කියන්නේම අභියෝගයක්. ඉතින් කලා ක්ෂේත්‍රය තුළ පමණක් අභියෝග නැතිවෙන්නේ නැහැ. මම එන අභියෝගවලට නොබියව මුහුණ දුන්නා. ඇතැම් වෙලාවට මගේ පවුලේ අය මගෙත් එක්කම සිටියා. ඒ වගේම මම ඒ දේවල් ගැන වැඩිය හිතන කෙනෙක් නෙවෙයි.


ඔබේ අනාගත බලාපොරොත්තු ගැනත් කතා කළොත්?


මම දැනට ගුරුවරියක් ලෙස කටයුතු කරනවා. ඉතින් ඒ දේවල් ඉදිරියට කරගෙන යන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රංගන කටයුතුත් හොඳින් කරගෙන යන්නත් බලාපොරොත්තු වනවා. එතැනදී මගේ හැකියාව තවත් හොඳින් පෙන්වන්න පුළුවන් නාට්‍යයකට සම්බන්ධ වෙන එක තමයි මගේ ඊළඟ අරමුණ. ඒ වගේම දවසක හොඳම නිළිය වෙන්නත් බලාපොරොත්තු වෙනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ



Previous Post Next Post