තහංචි දාන්නෙ නැති ආදරයකට මගේ හිතේ ඉඩක් තියෙනවා -මාෂා නුවන්ගි



ඩ්‍රම්ස් වාදනයේ මෙන්ම සැක්සෆෝන් වාදනයේ ද උරුමකාරිත්වය පිරිමි පාර්ශ්වය සතුවීම අද ඊයේ සිදුවූවක් නොවේ. එහි නියැළෙන්නන් ගණන ද අතළොස්සකි. කාන්තාවන්ට ද එය කළ හැකි බව ඔප්පු කළ රූමත් තරුණියකගේ අපූරු සැක්සෆෝන් වාදනයක් පසුගිය දා සමාජ මාධ්‍ය කලඹමින් වේගයෙන් සංසරණය වූවේ මිලියන ගණනකගේ නෙත ගැටෙමිනි. ‘තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්’ ගීතය සැක්සෆෝනයෙන් වාදනය කරමින් ඉතාම කෙටි කාලයක් තුළ ජනප්‍රියත්වයට පත්වුණු ඇය වෘත්තියෙන් සංගීත ගුරුවරියකි. අද අපේ කතාබහට එක්වන ඇය නමින් මාෂා නුවන්ගිය.


ලංකාවේ එළිමහන් ප්‍රසංගයක සැක්සෆෝන් වාදනයක් ඉදිරිපත් කළ එකම කාන්තා නියෝජනය ඔබ ?


ඔව්. ඒක ඇත්තක්. වෙන කවුරුත් එහෙම කළා කියල කොහේවත් සඳහනක් නෑ. ඒ ගැන පුංචි ආඩම්බරයක් නැතුවම නෙවෙයි. පිරිමි පා‍ර්ශ්වය වුණත් එළිමහන් ප්‍රසංගවල වාදනය කරනව දකින්න නැති තරම්. පහුගිය දවසක වත්තේගම පැවැති එළිමහන් ප්‍රසංගයේ මං සැක්සෆෝනය වාදනය කළා. මුලින්ම ගීත දෙකක් ගායනා කරලා ඊළඟට ගීත දෙකක් වාදනය කළා. එළිමහන් ප්‍රසංගයක මම වාදනය කළ පළමු අවස්ථාව ඒක. මං වාදනය කළේ ‘තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්‘ ගීතය. එකපාරට මට බය හිතුණා. ඒ මගේ හැකියාව ගැන නෙවෙයි. ඒ මොහොතෙ විශාල පිරිසක් නර්තනයේ යෙදිල හිටියෙ. ඒ නිසා ස්ලෝ සින්දුවක් වාදනය කරද්දි එයාලට කේන්ති යයි කියල මට බය හිතුණා. සිද්ධ වුණ දේ මට අදහගන්නත් බැරි වුණා. හැමෝම ජංගම දුරකතන අතට අරන් වීඩියෝ කරන්න පටන් ගත්තා. හැමෝම මගේ වාදනය රස විඳිනව කියල දැක්කම මට අමුතු ජවයක් ආවා. ඒක ඉවර වෙනවත් එක්කම බීට් එක වැඩිකරල පියමැන්නේ ගීතය වාදනය කළා. ඊට පස්සෙ සැක්සෆෝන් එක තියල ක්ෂණයෙන් වේගරිද්ම ගීතයක් ගායනා කළා. හැමෝටම හිතාගන්න බැරිවුණා පොඩි කාල පරාසයක් තුළ සිදුවුණු දේ ගැන. විශේෂයෙන්ම තරුණියක් සැක්සෆෝන් එකක් වාදනය කරනව කියන එක හැමෝගෙම කතාබහට ලක්වුණා.


සැක්සෆෝනය කියන්නෙ තරුණියකට නුහුරු දෙයක්. කොහොමද ඒක ඔබට හුරුවුණේ?


මං වෘත්තියෙන් නවයාලතැන්න විමලධර්ම ප්‍රාථමික විද්‍යාලයේ සංගීත ගුරුවරියක්. අපේ පවුලටම ගායන හැකියාව තියෙනවා. ඉඩ ලැබෙන වෙලාවලදී මං කැන්ඩි සිටි සෙන්ටර් එකේ ගෲප් එකක් එක්ක ගීත ගායනා කරනවා. මගේ අම්මට ඕන වුණේ ගීත ගායනයෙන් ඔබ්බට ගිහින් මගෙන් මොකක්හරි විශේෂ වෙනසක් කරවන්න. ඒක වෙන්න ඇති මේ පාර මගේ උපන්දිනේට අම්මයි අප්පච්චියි සැක්සෆෝන් එකක් අරන් දෙන්න තීරණය කරන්න ඇත්තේ. ඒක මං ආසම කළ සංගීත භාණ්ඩයක්. අම්මට වගේම මටත් ඕන කළා කතාබහට ලක්වෙන වෙනසක් කරන්න. එතැනදි තමයි සැක්සෆෝනය හරහා ඒ වෙනස කරමු කියන අදහස ආවේ. ඉස්කෝලෙ යන කාලෙ මං වාදනය කළේ ට්‍රම්පට් එක. කොතරම් ආස වුණත් ඒ කාලෙ මට සැක්සෆෝන් එකට ළං වෙන්න බැරි වුණා. මීට මාස තුනකට කලින් තමයි සැක්සෆෝනයක් මගේ අතට ලැබුණේ. දවස් තුනක් ඇතුළත මට ඒක ඉගෙන ගන්න හැකියාව ලැබුණෙ ඉස්කෝලෙ යන කාලෙ ට්‍රම්පට් එකට අත හුරුවෙලා තිබුණ නිසා වෙන්න ඇති. මෙතැනදී භාරත රාජපක්ෂ සර්ට ස්තුතිවන්ත වෙන්න ඕන ඉතාම කෙටි කාලයකින් මට ඒ හැකියාව ලබාදුන්නට.


තරුණියක් සැක්සෆෝන් වාදනය කරනව කියන එක පිළිගන්න ගොඩක් දෙනෙක් මැළි වෙනවා. කොහොමද ඔබේ දක්ෂතාව ලෝකයට විවර කළේ?


අපේ පවුලටම කලා හැකියාව තියෙනවා. අපි ඔක්කොම එකතුවෙලා පහුගිය කාලෙ ෆැමිලි ෂෝ එකක් කළා. එතනදී තමයි මං පළමු වතාවට සැක්සෆෝන් එක වාදනය කළේ. කට හඬට හානි වෙයි, ගායනය කරන්න බැරි වෙයි කියලා ගොඩක් දෙනා ගොඩක් දේවල් කිව්වා. හරියට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනව නම් එහෙම වෙන්නෙ නෑ. එදා ඒක බලන්න ඇවිත් හිටිය උපාලි සර් තුසිත අයියත් එක්ක එකතුවෙලා ඒක වීඩියෝ කරල ස්වර්ණවාහිනියට යවල තිබුණා. ඒ හරහා බුද්ධික රඹුක්වැල්ල අයියා මට හිත ඉල්ලන තරු වැඩසටහනට ආරාධනා කළා. එතැනදී මට සජීවීව වාදනය කරන්න අවස්ථාව ලැබුණා. ඒක තමයි මගේ ටර්නින් පොයින්ට් එක වුණේ. ඒක වයිරල් වුණා. ඊට පස්සෙ තමයි බෑන්ඩ් එකේ අය කිව්වෙ ගායනා කරන අතරේ සැක්සෆෝන් එකත් වාදනය කරමු කියලා. පළමුවෙනි දවසෙ ‘එදා රෑ ගුවන් තොටුපළේදී‘ ගීතය වාදනය කළා. ඒක ලක්ෂ 6ක් විතර නරඹල තිබුණා. ඊට පස්සෙ වාදනය කළ


‘තනිවෙන්නට මගේ ලොවේ‘ ගීතය තමයි ගොඩක් වයිරල් වුණේ.


මේ ගමනට අඩිතාලම වැටුණු පාසල් කාලය ගැනත් කියමු?


මං අධ්‍යාපනය හැදෑරුවේ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහලෙන්. සංගීත භාණ්ඩයක් උස්සගන්න බැරි තරම් පොඩි කාලෙ තමයි මං වෙස්ටර්න් බෑන්ඩ් එකේ සෝලෝ ට්‍රම්පට් වාදකයා විදිහට කටයුතු කළේ. සැක්සෆෝන් එකට කොතරම් ආස වුණත් බෑන්ඩ් එකෙන් අයින් වෙනකලුත් මට ඒකට අවස්ථාව ලැබුණෙ නෑ. ගායන හැකියාව නිසා හිරු ස්ටාර් එකේ බැට්ල් රවුන්ඩ් එක දක්වා ආවා. ඊට පස්සෙ දිවිතුරා ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. එතැන තමයි මේ ගමනෙ ආරම්භය.


තරුණියක් සැක්සෆෝන් වාදනය කරද්දි සමාජයෙන් ලැබුණෙ මොනවගේ ප්‍රතිචාරයක් ද?


මගේ සැක්සෆෝන් වාදනය මේ තරම් වයිරල් වුණේ තරුණියක් වාදනය කළ නිසා වෙන්න ඇති. මේක ඉගෙන ගන්න අමාරු වැඩක්. ගොඩක් දෙනා අතරමඟදි අතහරිනවා. මං කොහොමත් පුංචි කාලෙ ඉඳන්ම වෙනස් දේවල් කරන්න කැමති කෙනෙක්. යෞවන සම්මාන උලෙළේ එකෝස්ටික් ඩ්‍රම්ස්වලින් ඕල් අයිලන්ඩ් වුණා. සැක්සෆෝන්, ට්‍රම්පට්, වයලීන්, ගිටාර් මේ වගේ භාණ්ඩ ගණනාවක් වාදනය කිරීමේ හැකියාව තියෙනවා. මගේ එකම හීනය වර්ල්ඩ් සැක්සෆෝන් ක්වීන් වෙන එක. අම්මා, අප්පච්චි, මල්ලි මගේ හෙවණැල්ල වගේ මගේ ළඟ ඉන්නවා. මං උගන්වන පාසලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ සිසු දරුවන්ගෙන් අසීමිතව ප්‍රතිචාර ලැබෙනවා. මං ඉන්දියන් සංගීත විශාරද කරල තියෙනවා. දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂිකාවක්. මගේම කියල ගීතයකුත් කරල තියෙනවා. ඉදිරියේදී ගායනය කරමින් සැක්සෆෝන් එක වාදනය කිරීමේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.


ලොවේම අවධානයට ලක්වුණු මාෂාගේ අවධානය ගත්ත කෙනෙකුත් ඇති?


මට යන්න තව දුර ගමනක් තියෙනවා. එතැනදී මාව තේරුම් අරන්, මගේ ගමනට උදවු කරන, නීතිරීති තහංචි දාන්නෙ නැති ආදරයකට මගේ හිතේ ඉඩක් තියෙනවා.


නාමලී ගමගේ




Previous Post Next Post