ඇය මගේ ජීවිතේට ආවෙ වෛද්‍යවරියකට වඩා නිවේදිකාවක් නිසා-ප්‍රදීප් ධර්මදාස



අපට ඔහුගේ නම එතරම් මතක නැත. ඒ ඔහු ජනප්‍රිය රැල්ල හඹා යන්නෙකු නොවන නිසා වන්නට ඇත. ස්වර්ණවාහිනියෙන් විකාශය වූ ‘නිල් අහස වගේ’ ටෙලි නාට්‍යය ඔස්සේ ටෙලි රංගනයට පිවිසි ඔහු ඒ වනවිටත් ස්වර්ණවාහිනියේ නිවේදකයෙකි. එසේ වුවත් ඔහුගේ රුව හා රංග විලාසයන් අතරින් මතකයට මුලින්ම නැගෙන්න ‘සඳගලතැන්න’ ටෙලි නාට්‍යයේ ඔහුගේ රංගනයයි. සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂණය කළ එම ටෙලි නිර්මාණය එවකට විකාශය වූයේ ජාතික රූපවාහිනිය ඔස්සේයි. එකී රංගනය වෙනුවෙන් සම්මානයෙන් ද පිදුම් ලද ඔහු ප්‍රවීණ රංග ශිල්පී, නිවේදක හා නිර්මාණ අධ්‍යක්ෂ ප්‍රදීප් ධර්මදාසයි.


රංගන ශිල්පීන් විරල කලා ක්ෂේත්‍රයේ එකී හැකියාව නිරායාසයෙන් හිමි ව තිබියදී ඔබ රංගනයෙන් දුරස් වීම ප්‍රේක්ෂකයන්ට කරන අසාධාරණයක් නෙවෙයි ද?  


ඔය චෝදනාව මට නිරන්තරයෙන් එල්ල වෙනවා. බොහෝ අය කියන්නේ මම රඟපාද්දි රඟපානවා කියා නොදැනෙන බවයි. මං හිතන්නේ ඒකට හේතුව මම ඒ චරිතය තුළට ජීවය දීම වෙන්න ඇති. කොහොමටත් මට යම් චරිතයක් රඟපාද්දි ඒක චරිතයක් කියලා හිතෙන්නේ නැහැ. ඒ ඇත්තම මම කියලා මට දැනෙනවා. අනිත් එක තමයි මම එකම කාලෙකදි චරිත දෙක තුනක් කරන්නේ නැහැ. එක චරිතයක වැඩ සම්පූර්ණයෙන්ම ඉවර වුණාම තමයි ඊළඟ වැඩේ භාර ගන්නේ. ඒ නිසා හරිම අඩුවෙන් තමයි මම රඟපාලා තියෙන්නේ. සමහර ඒවා ම‍ගේ හිතට හරි ගියේ නැති වුණාමත් මම ඒවා භාර ගන්නේ නැහැ. හැබැයි මම මෙතෙක් කරලා තියෙන චරිතවලින් ප්‍රේක්ෂකයින්ට උපරිම සාධාරණය ඉටු කර තියෙනවා. ඉදිරියේදීත් රඟපෑමෙන් ඉවත් වෙන්නේ නැහැ. මට ගැළපෙන චරිත ලැබුණොත් මම රඟපානවා.


රඟපෑමට වඩා ඔබ අධ්‍යක්ෂණයට කැමැති ඇයි?


මම මුලින්ම ‘සමනලුන්ට වෙඩි තියන්න’ අධ්‍යක්ෂණය කළා. ඊට පස්සේ ‘ඇහි පිල්ලමක් යට’ අධ්‍යක්ෂණය කළා. මංජුල වෙඩිවර්ධන තමයි ඒක ලිව්වේ. ඊට පස්සේ තව නිර්මාණ ගණනාවක් මම අධ්‍යක්ෂණය කළා. මෑතකදී ‘ත්‍රෛලෝකා’, ‘දෙයියන්ගේ රටේ’, ‘දිව්‍යාදරී’ අධ්‍යක්ෂණය කළා. මගේ අලුත්ම වැඩේ තමයි ‘අයිස්ක්‍රීම්’ චිත්‍රපටය. විවිධ නිර්මාණවලට දායක වෙද්දි, තාක්ෂණික කාර්යයන් අත්දකිද්දී මගේ හිතේ ලොකු ආසාවක් සහ උනන්දුවක් අධ්‍යක්ෂණය කෙරෙහි ඇති වුණා. ඒ අනුව මම ඒ ගැන බොහෝ හැදෑරීම් කරන්න පටන් ගත්තා. ජාත්‍යන්තරව පිළිගත් නිර්මාණ නරඹමින් ඒවායින් අත්දැකීම් ලබාගත්තා. හොඳ චිත්‍රපටයක් කොහොම හරි කරනවා කියන උද්යෝගය හිතේ තිබුණා. ඒ නිසාම තමයි ‘අයිස්ක්‍රීම්’ හැදුවේ. මගේම නිර්මාණයක මම රඟපාන්න කැමැති නැහැ. එතකොට අධ්‍යක්ෂණයට හානියක් වෙයි ද කියලා මට හිතෙනවා.


‘අයිස්ක්‍රීම්’ තවමත් වැඩ නිම වෙලා නැද්ද?


මූලික වැඩ මේ දවස්වල නිම කරමින් යනවා. ඒක මගේ ලොකු ආසාවක් මල් ඵල ගැන්වීමක් කිව්වොත් හරි. ඒක ටිකක් සීරියස්. කොමඩි පැත්තට බර චිත්‍රපටයක්. ප්‍රධාන චරිතය රඟපාන්නේ හේමාල් රණසිංහයි. ඒ වගේම බිමල් ජයකොඩි, ජයලත් මනෝරත්න, වීණා ජයකොඩි, සරත් කොතලාවල, රුක්මල් නිරෝෂ්, දමිතා අබේරත්න, ඓශාරා අතුකෝරල ඇතුළු ශිල්පීන් රැසක් ‘අයිස්ක්‍රීම්’ චිත්‍රපටයේ රඟපානවා. කලණ ගුණ‍සේකර තිර පිටපත ලිව්වා. නිෂ්පාදනය කපිල විතානගේ සමඟ දුමින්ද ප්‍රියන්තයි. චින්තක සෝමකීර්ති කැමරා අධ්‍යක්ෂණය කළා. කසුන් කල්හාර සංගීත අධ්‍යක්ෂණය කළා. නාරද තොටගමුව වෙස් ගැන්වීම් කළා. අධ්‍යක්ෂණය මගේ. මේ වනවිට චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු කරගෙන යනවා. ප්‍රධාන ගීතයත් මාධ්‍යයට මුදාහැර තිබෙනවා.


ඔබ ගමෙන් නගරයට ඇවිත් ගම අමතක කළ කෙනෙක් ද?


මගේ ගෙවල් මැදවච්චියේයි. ඉස්කෝලෙ ගියේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට. ඉස්කෝලේ හැමදාම උදේට නිවේදන කටයුතු කළේ මම. ඉස්කෝලේ තිබුණු නොයෙකුත් වැඩසටහන්, උත්සවවල නිවේදන කටයුතු මම කළා. ඒ කාලේ මට ලොකු ඕනෑකමක් තිබුණේ ගුවන්විදුලියක නිවේදකයෙක් වෙන්නයි. ඒ ඕනෑකම නිසා මම මාධ්‍ය ඉගෙන ගන්න කොළඹ එනවා. එහෙම තැනකදී මට හේමනලින් කරුණාරත්න මහතා හමුවෙනවා. එතුමා නිසා මට ස්වර්ණවාහිනියේ නිවේදන කටයුතුවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ස්වර්ණවාහිනියේ වැඩසටහන් බොහෝමයක ඉදිරිපත් කිරීම් මම කළා. දේශපාලන වැඩසටහන් මෙහෙයවීම කළා. ඊට පස්සේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් හැටියටත් වැඩ කළා. ඒ අතරතුරදි රඟපෑම් කටයුතුවලටත් සම්බන්ධ වුණා. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙන්න මගේ හීනයක් තිබුණා.“අයිස්ක්‍රීම්” චිත්‍රපටයෙන් ඒ හීනය මම සැබෑ කර ගත්තා. මේ හැමදෙයක්ම අතරේ ඉඩක් ලැබුණු ගමන් දරුපවුලත් එක්ක මම ගමට යනවා. ගමේ සුළඟ ගතේ වෙහෙසත්, හිතේ වෙහෙසත් නිවා දමනවා. ගම කියන්නේ අමතක කරන්න පුළුවන් තැනක් නෙවෙයි. මට ඉන්නේ අම්මායි තාත්තායි අක්කායි. අක්කා පාසලක විදුහල්පතිනියක්. මේ හැමෝම දැන් නම් ඉන්නේ කොළඹයි.


නිවේදකයෙක් රංගන ශිල්පියෙක් බවට පත් වුණේ කොහොමද?


ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ එච්.ඩී. ප්‍රේමරත්න මහත්මයා ඒ කාලේ ස්වර්ණවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ ‍හැටියට කටයුතු කළා. එතුමා තමයි මාව බලෙන්ම වගේ රඟපෑමට තල්ලු කළේ. එතැනදී සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් මට හමුවෙනවා. ඔවුන්ගේ ඇසුර මට ලැබෙනවා. රඟපෑම සහ අධ්‍යක්ෂණය පිළිබඳ මගේ දැනුම සහ අත්දැකීම් පුළුල් කරගන්න මේ නිසා මට හැකි වෙනව


ඔබට වෛද්‍යවරියක් සමඟ විවාහ වෙන්න සිද්ධ වුණේ කොහොමද?


වෛද්‍ය දිනූජා රූපසිංහ මගේ බිරිඳ වෙන්න කලින් වෛද්‍ය ශිෂ්‍යාවක්ව සිටි කාලයේ ස්වර්ණවාහිනියේ වැඩසටහන් නිවේදනය කළා. ඒ කාලේ තමයි අපේ ප්‍රේම සම්බන්ධය ආරම්භ වන්නේ. ඇය පසුව වෛද්‍යවරියක් වුණා. දැන් ඇය වෛද්‍ය වෘත්තියකරගෙන යන ගමන් ඇයගේ විශේෂ දක්ෂතාව තියෙන නිවේදන කාර්යයත් ඇයගේම යූටියුබ් නාලිකාව මඟින් සපුරා ගන්නවා. ඒ වැඩසටහන්වලට විශාල ඉල්ලුමක් සහ ප්‍රතිචාර ලැබෙනවා. බොහොම බැරෑරුම් වෛද්‍ය කාරණා වුණත් ඇය ඉතාම සරලව ඕනෑම කෙනෙකුට තේරෙන විදිහට ඉදිරිපත් කරනවා. ඇය තුළ සිටින වෛද්‍යවරියත් නිවේදිකාවත් එකවර මතු වන අවස්ථාවක් නිසා ඒ වැඩසටහන් ඉතා සාර්ථකයි. ඒ දේවල් පටිගත කිරීම්, සංස්කරණය කිරීම් සහ තාක්ෂණික කටයුතු පැත්තෙන් මගේ පූර්ණ සහාය ඇයට ලබා දෙනවා. මගේ ළඟ කොහොමටත් කැමරා, ලයිට්, රූගත කිරීම්වලට අවශ්‍ය කරන හැමදෙයක්ම තියෙන නිසා අපි දෙන්නා කොවිඩ් කාලේ නිකමට වගේ මේ වැඩේ පටන් ගත්තේ. නොසිතූ විදිහට කෙටි කාලයකින් ඒක ගොඩාක් ජනප්‍රිය වුණා. දිනූජා වෛද්‍යවරියක් ද නිවේදිකාවක් ද කියලා වෙන්කර හඳුනාගන්න ඇත්තටම මටත් බැහැ. ඇය ඒ දෙකටම දක්ෂයි. වෛද්‍යවරියකට වඩා නිවේදිකාවක් නිසා තමයි ඇය මගේ ජීවිතය සමඟ අත්වැල් බැඳ ගත්තේ.


පවුල් ජීවිතය පහසුවක් ද?


ඒක නම් උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. හරිම පැටලිලි සහගතයි. දිනූජා වෛද්‍යවරියක් නිසා ඉතාම කාර්යබහුලයි. මමත් කලා කටයුතු නිසා ඉතාම කාර්යබහුලයි. පුතාලා දෙන්නෙක් සහ දියණියකගේ මවුපියන් නිසා අපි දෙන්නම ඉතා කාර්යබහුලයි. ළමයි තවමත් කුඩා නිසා සහ වැඩිමල් දරුවෝ දෙන්නාම පුතාලා නිසා අපි දෙන්නට මේ දඟයෝ රැකබලා ගන්න වෙනම කාලයක් වැය වෙනවා. අයියලා දෙන්නා නිසා පුංචි දුවත් දඟයි. ලොකු පුතා කත්‍යාන්ට අවුරුදු අටයි. දෙවැනි පුතා අභිරත්ට අවුරුදු හයයි. ඒ දෙන්නා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට යනවා. දුව අසෙලියාට අවුරුදු තුනයි. මේ තුන්දෙනාව එක මොහොතක් එක තැනක තියන්න බැහැ. රණ්ඩු කරනවා, ගහගන්නවා, රටේ නැති ප්‍රශ්න තමයි. දවසේ වැඩ නිමා කරලා බලද්දි අපි දෙන්නා හොඳටම හෙම්බත් වෙලා. දිනූජා මේ දවස්වල විභාග කටයුත්තකත් නිරත වෙමින් ඉන්නවා. ඇත්තටම මේ හැම දෙයක්ම අපි දෙන්නා කොහොම කරනවා ද කියලා අපි දෙන්නාටම හිතාගන්නත් අමාරුයි. දිනූජාගේ අම්මාත් අපට ලොකු සහායක් ලබා දෙනවා. හැබැයි ඉතින් දරුවන්ගේ සුරතල් සිනා සහ කතාවලින් අපේ වෙහෙස සමනය වෙනවා. අපි දෙන්නා අවබෝධයෙන්, සහයෝගයෙන් මේ ගමන යනවා. විවේකයක් ලැබෙන හැම වෙලාවකදිම දරුවෝ එක්ක කොහේ හෝ ඇවිදින්න යනවා. මොකද දරුවෝ ආසයිනේ ඇවිදින්න. එහෙම යද්දි වැඩිපුරම යන්නේ අනුරාධපුරයටයි.


තුෂාරී කළුබෝවිල




Previous Post Next Post