ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ කෝලම් කුට්ටම ටෙලි නිර්මාණයේ වත්සලාගේ භූමිකාවෙන් රංගනයට අත්පොත් තැබූ ඇය තිළිණ බොරලැස්සගේ සිකුරු ඇවිත් ටෙලි නිර්මාණයේ අංජලී ලෙසින් මේ දිනවල ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කරමින් සිටින්නීය. චීන සමාගමක මයික්‍රෝ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන ඇය ඉඩ ලැබෙන පරිදි කලා කටයුතුවල ද නියැළෙන්නීය.
අංජලී වත්සලා. ඔබේ නමයි කලාවයි අතර මොකක්හරි සම්බන්ධතාවක් තියෙනව කියල හිතිල නැද්ද?
ඇත්තටම ඒක මටත් හිතාගන්න බැරි දෙයක්. මං රංගනයෙන් දායක වුණු ටෙලි නිර්මාණ දෙකයි තාම විකාශය වුණේ. ඒ චරිත දෙකේම මට සම්බන්ධයක් තිබුණා. සිවගුරුනාදන් සර්ගේ කෝලම් කුට්ටම ටෙලි නිර්මාණයේ වත්සලා තමයි මගේ කුලුඳුල් රංගන අත්දැකීම. චරිතයේ නමත් වත්සලා. මගේ නමෙත් වත්සලා කොටස තියෙනවා. ඒ වගේම තමයි දෙවැනි රංගන අත්දැකීම විදිහට තිළිණ බොරලැස්සගේ සිකුරු ඇවිත් ටෙලි නිර්මාණයේ චරිතයත්. ඒකෙ නම අංජලී. පුදුමෙ කියන්නෙ මගේ නමත් අංජලී. ඒකත් මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ටෙලි නිර්මාණයක්. ඒ නිසා මේ නිර්මාණ දෙකම මට විශේෂයි. මේක දෛවෝපගත සිදුවීමක් කියලයි මට හිතෙන්නෙ.
සිකුරු ඇවිත් ටෙලි නිර්මාණයේ අංජලී කියන්නෙ ප්‍රධාන චරිතය. කොහොමද ඒ සඳහා ආරාධනා ලැබෙන්නේ?
ඒක මගේ දෙවැනි නිර්මාණය වගේම ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වෙන පළමු අවස්ථාව. ප්‍රදීප් මානවඩු අයිය තමයි මට ආරාධනා කරන්නේ. තිළිණ බොරලැස්සගේ අලුත් නිර්මාණයේ ප්‍රධාන චරිතයට කෙනෙක් හොයනවා ගිහින් බලන්න කියලා. ගිහින් සහභාගි වෙලා තේරුණාටත් පස්සෙ ස්ක්‍රිප්ට් එක කියවද්දි තමයි දැක්කෙ චරිතයෙ නමත් මගේම නම කියලා. තිර පිටපත් රචනය සුජීව සේමසිංහ. කාලෝචිතව හරිම ලස්සනට ලියපු පිටපතක්. මාව ගන්න හිතාගෙනම ලිව්ව ද දන්නෙත් නැහැ. නාට්‍යයේ මගේ අම්මගෙ චරිතයත් සැබෑ ජීවිතේ මගේ අම්මත් ගොඩක් සමානයි.
නාට්‍යයේ අම්මයි සැබෑ අම්මයි එක වගේ නම් අංජලීටත් අම්මගෙන් තහංචි වැටෙනව ඇති?
ඔව්. ටෙලි නිර්මාණයේ අංජලීගෙ අම්ම නුවර කෙනෙක්. එයා සැරයි. එයා එක්ක වචනයක්වත් කතා කරන්න බෑ. අංජලී හදන්නෙ හිර කරලා. කැමැති දෙයක් කරන්න කැමැති විදිහට හැසිරෙන්න එයාට කිසිම ඉඩක් නැහැ. සීයා තමයි එයාගෙ හොඳම යාළුවා. හැම දෙයක්ම බෙදාගන්නෙ සීයා එක්ක. ඒ වගේම අපේ අම්මත් සැරයි. මටත් නීති දානවා. හැමවෙලේ ම පස්සෙන් ඉන්නවා. ඒ නිසා ගොඩක් දුරට සමානකම් තියෙනවා.
සිකුරු ඇවිත් ටෙලි නිර්මාණයෙන් යම් පණිවුඩයක් සමාජගත කරන්න වෙහෙසිලා තියෙනව නේද?
ගොඩක් මවුපියන් ළමයින්ගේ සිතුම් පැතුම් තේරුම් ගන්නෙ නැතුව ගෙවල්වල හිරකරනවා. එතකොට ඒ ළමයි තව තවත් මුරණ්ඩු වෙනවා. මෙතනදි වුණත් වෙන්නෙ අංජලීව හිර කරල හදන්නෙ. අංජලී පෙම්වතෙක් හොයාගත්තත් අම්ම ඒකට කැමති වෙන්න නැහැ. අම්ම කැමති වෙනත් කෙනෙකුට. එතන තමයි ගැටුම ඇතිවෙන්නෙ. කෑගහන්න, අඬන්න, ගෙදරින් හොරෙන් පනින්න මේ වගේ ලොකු මිෂන් ටිකක් තියෙනවා. ගොඩක් මුරණ්ඩු චරිතයක්. මේ නිර්මාණයෙන් මවුපියන්ගේ අවධානය යොමු විය යුතු ගැටලුවක් ගැන සාකච්ඡා කරනවා. මවුපියන්ගෙ ආදරේ දරුවන්ට අත්‍යවශ්‍යයි. ඒත් වැඩි පරෙස්සමට කියලා ඔවුන් හිර කරල තිබ්බොත් වෙන්නෙ ඔවුන් තව තවත් මුරණ්ඩු වෙනවා. ළමයි හිරකරල හදන්න එපා. ඔවුන්ට අවැසි නිදහස දෙන්න. එයාලව ගයිඩ් කරන්න.
කෝලම් කුට්ටම කියන්නෙ ඔබේ කුලුඳුල් රංගන අත්දැකීම. හොඳ අධ්යක්ෂවරයෙක් යටතේ කුලුඳුල් අත්දැකීම ලබන්න හැකිවීම ගැන මොකද හිතෙන්නේ?
කෝලම් කුට්ටම ටෙලි නිර්මාණයේ කාවින්ද්‍යා අක්කත් එක්ක රඟපාන්න තිබුණේ එයාගෙ හොඳම යාළුවා වත්සලා විදිහට. ටික කාලෙකින් මට ඒකෙන් අයින් වෙන්න සිදු වුණේ මගේ විභාගය පටන් ගත්ත නිසා. සිවගුරුනාදන් සර් කියන්නෙ හරියට රංගන පාසලක් වගේ. ආධුනික ශිල්පිනියක් විදිහට මට ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබුණා. හරිම සුහදශීලීව වැඩ කළා. ඒවගේ දක්ෂ, ප්‍රවීණ අධ්යක්ෂවරයෙක් හරහා රංගනයට පිවිසෙන්න ලැබීමත් වාසනාවක්.
කෝලම් කුට්ටම නිර්මාණයේ රූගත කිරීම් වැඩිපුරම කළේ මාදු ගඟේ. කොහොමද ඒ අත්දැකීම?
ඒක නම් ජීවිතේට අමතක වෙන්නෙ නැති සුන්දර අත්දැකීමක්. මුල්ම සීන් එක විදිහට තිබුණෙ කාවින්ද්‍යා අක්කයි මමයි ඔරුවෙ නැඟල මාදු ගඟේ යන අවස්ථාවක්. ඒක අමුතුම අත්දැකීමක් වුණා. එක දවසක් රැල්ල වැඩිවෙලා සුළඟ වැඩිවෙලා අපි ගොඩක් බය වුණා. අපි දෙන්න ඔරුව ගොඩට ගේන්න හදනවා. ඒත් බෑ. දවල් 12ට විතර කට්ට අවුවෙ. එක තැන කැරකෙනව මිසක් හෙල්ලෙන්නෑ. කිඹුලොත් ඉන්න නිසා තවත් බයයි. අනිත් අයගෙත් සහායෙන් තමයි එදා ගොඩට ආවෙ. එදා නම් හොඳටම බය වුණා. හැමදාම ෂූටින් ඉවර වෙලා එද්දි අව්වට පිච්චිලා කළුම කළුයි. ඒවගේමයි අමිල කාවින්ද අයියගෙ ආලෙන් මා කියන මියුසික් වීඩියෝ එක රූගත කරද්දි වුණ සිදුවීමත් අමතක වෙන්නෙ නෑ. චතුරංග කොඩිතුවක්කු එක්ක බයික් එකේ යන දර්ශනයක් රූගත කළේ. මං කලබලෙන් ඇවිත් බයික් එකට නඟිද්දි සයිලන්සරේ ගෑවිලා කකුල හොඳටම පිච්චුණා. අන්තිමට කොහොමහරි සති දෙකක්ම ඇවිද ගන්නත් බැරුව හිටියා.
ඔබ විදෙස් රැකියාවක යෙදෙන කෙනෙක් ඒ ගැනත් කතා කරමු?
මං අධ්‍යාපනය හැදෑරුවේ මහනුවර උසස් බාලිකාවේ. උසස් පෙළ ඉවර වුණ ගමන්ම මං චීනෙට යන්නෙ මයික්‍රෝ ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින් උපාධිය කරන්න. ඒ අතරේ චීන භාෂාවත් ඉගෙනගත්තා. දැනටත් චීන ආයතනයක රැකියාවක නිරත වෙන ගමන් තමයි කලා කටයුතුවල නියැළෙන්නේ. මගේ ආයතනයත් ගොඩක් කැමතියි මං රංගන ශිල්පිනියක් නිසා. එයාලගෙන් මට ලොකු සහායක් ලැබෙනවා. ලංකාවට ඇවිත් නිදහසේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙත් ඒ නිසා. ආයතනය තුළත් මං නිරූපණ කටයුතුවල නියැළෙනවා. නිරූපණය තමයි මාව කලාවට හඳුන්වල දුන්නේ. ඒ අතර බ්‍රයිඩ්ල් නිරූපණය විශේෂයි.
සිකුරු ඇවිත් අංජලීට සිකුරු නිසා ගොඩක් කරදර වුණා නේද?. සැබෑ අංජලීගෙ ජීවිතේට සිකුරුගෙ බලපෑම කොහොමද?
විටින් විට ලබල තියෙනවා. ඒ ගැන අත්දැකීම් තියෙනවා. ඒත් දැන් මම ආදරවන්තියක් නෙවෙයි. ආදරේ සුන්දරයි. ඒත් දැන් තනිකඩයි. ආදර ඇරයුම් නම් ඕන තරම් එනවා. හොඳ කෙනෙක් හමුවුණොත් ඒ ගැනත් හිතනවා.
නාමලී ගමගේ