නයනතාරා හදිසියේම අතුරුදන් වූ හේතුව




නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ නව පරපුරේ අති දක්ෂ ජනප්‍රිය වගේම සම්මානනීය රංගන ශිල්පිනියක්. දෙරණ නාළිකාව ඔස්සේ විකාශය වූ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ දෙව්මිගේ චරිතය නිසා ඇය අතිශයින් ජනප්‍රියත්වයට පත්වුණා. ඉන්පසුව ජීවිතයේ එක දවසක් (ශාරධා), සර්කස්කාරයෝ (සහස්‍රා) වැනි ටෙලි නාට්‍ය ඔස්සේ වගේම සිනේමා වැනි චිත්‍රපට හරහාත් ඇය ප්‍රේක්ෂකයන්ට මුණගැහුණා.


පසුගියදා රයිගම් සම්මාන උළෙලේ ශාරදාගේ චරිතය වෙනුවෙන් ඇය සහාය නිළියට හිමි සම්මානයත් හිමිකර ගත්තා.


ඒත් හිටි හැටියේම සකස්කාරයෝ ටෙලි නාට්‍යයෙන් වගේම පුංචි තිරයෙනුත් නයනතාරා නොපෙනී ගියා. ඇය රංගනයට සමු දීලා විදේශගතවෙලා කියලත් සමහරු කියන්න පටන් ගත්තා. ඉතින් මේ ගැන දැනගන්න අපි නයනතාරාට කතා කළා.


හිටිහැටියේම පුංචි තිරයෙන් නොපෙනී ගියේ ඇයි? කලාව ගැන කලකිරිලාවත්ද?




ඇත්තටම කලා ක්ෂේත්‍රය ගැන සහ රංගනය ගැන කිසිම කලකිරීමක් නැහැ. අනෙක් කාරණාව මම කිසිම හේතුවක් නිසා රඟපාන එක නතර කරන්නෙත් නැහැ. මොකද ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙක්ගේ ආදරය මට ලැබුණේ මාව ජනප්‍රිය වුණේ වගේම සම්මානනීය වුණේ රංගන ක්ෂේත්‍රය නිසාමයි. ඒක මගේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් කියලයි මම හිතන්නේ. 




ඉතින් මගේ ජීවිතයට ආශිර්වාදයක් වෙන දේවල් අතහරින්නේ කොහොමද?




එහෙනම් මොකක්ද මේ නිහැඬියාව?




ඇත්තටම මේ දවස්වල මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. රංගනය පිළිබඳවම වැඩිදුර ඉගෙන ගැනීම සඳහා මම ඉන්දියාවට ආවා. ඒ නිසා තමයි මේ දිනවල පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන්ට මාව මුණනොගැසෙන්නේ. ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳෙන හොඳ නිර්මාණ කරන්න නම් අපිට තව තවත් හොඳින් මේ ක්ෂේත්‍රය ගැන අධ්‍යනය කරන්න, යම් යම් දේවල් ඉගෙන ගන්න වෙනවා. මේ දවස්වල මම ඒ වෙනුවෙනුයි කාලය යොදවලා තියෙන්නේ.




ලංකාවේ නොහිටියට රයිගම් සම්මානෙකුත් ලැබුණා නේද?




රයිගම් සම්මාන උළෙලේ සහාය නිළියට හිමි සම්මානය ලැබුණා. සම්මානය ඒ මොහොතේ අරගන්න ලැබුණා නම් හුඟක් සතුටුයි. නමුත් මොනවා කරන්නද... ලැබුණ සම්මානය ගැන ලොකු සතුටක් තියෙන්නේ.


කොහොමද අධ්‍යාපනය කටයුතු?




අධ්‍යාපනය කටයුතු හොඳින් කෙරීගෙන යනවා. බොලිවුඩ්වල ප්‍රවීණ රංගන ශිල්පියෙක් වගේම නිෂ්පාදකවරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන අනුපම් කේර්ගේ ඇකඩමියක තමයි මම අධ්‍යාපන කටයුතු කරන්නේ. දීපිකා පදුකෝන්, වරුන් ධවාන්, රිතික් රෝෂන් අභිෂේක් බච්චන් වගේ ප්‍රසිද්ධ අයත් මේ ඇකඩමියෙන් ඉගෙනගෙන තියෙනවා. ජැකී ෂෙරෝෆ්, මහේෂ් භාත් වගේ ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා.




මම මේ සඳහා අයැදුම් කළේ 2019 අවුරුද්දෙදි. මේ ඇකඩමියේ 




ඉගෙනගන්න එක කණ්ඩායමකට මුළු ලෝකෙන්ම විසිදෙනෙක් වගේ සුළු පිරිසක් පමණයි තෝරගන්නේ. ඉතින් ඒ විසිදෙනා අතරට එකතු වෙන්න මටත් අවස්ථාව ලැබීම ගැන හරිම සතුටුයි. ගොඩක් දේවල් හින්දියෙන් තමයි උගන්වන්නේ. ඇත්තටම මට මේ ඇකඩමියෙන් රංගනය ගැන වගේම ජීවිතය ගැනත් බොහෝ දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. මම තමයි මේ ඇකඩමියෙන් ඉගෙන ගන්න ලංකාවේ පළමුවැනි රංගන ශිල්පිනිය. ඒ ගැනත් නිහතමානී ආඩම්බරයක් හිතේ තියෙනවා.




ඒ කියන්නේ දැන් නයනතාරාට හින්දි භාෂාවත් පුළුවන්ද?




රඟපාද්දී අපි ලංකාවේදී වැඩිපුරම භාවිත කරන්නේ සිංහල භාෂාවනේ. ඊට අමතරව දෙමළ සහ ඉංග්‍රීසිත් පාවිච්චි කරනවා. ඒත් හින්දි වගේ භාෂාවක් කතා කරන්නේ නැතිම තරම්නේ. මෙහෙදී මට හින්දි භාෂාවෙන් ප්‍රෆෝම් කරන්න වුණා. ඉංග්‍රීසියෙන් උගන්වයි කියලා හිතුවට සමහර දේශන තිබ්බේ හින්දිවලින්මයි. ඒ නිසා මෙහේ යාළුවන්ගේත් උදව් ඇතිව මම හින්දි ඉගෙන ගත්තා. දැන් මටත් ටිකක් හින්දි කතා කරන්න ලියන්න පුළුවන්. ඒකත් හොඳ අත්දැකීමක්.


කොහොමද ඉන්දියාවේ ගෙවන ජීවිතේ?




ඒක වෙනස් අත්දැකීමක්. ඉන්දියාවේ කෑමබීම, සංස්කෘතිය, මිනිසුන්ගේ ජීවන රටාව හරිම වෙනස්. ඇත්තටම කිව්වොත් අපි චිත්‍රපටවලින් දකිනවාට වඩා මේ ජීවිතය වෙනස්. විවිධ වර්ගයේ ඉන්දියන් කෑම කන්න, ලස්සන ලස්සන තැන් බලන්න යන්න අවස්ථාව ලැබුණා. මම ඒ වෙනසට කැමතියි. ඒත් ඉතින් ලංකාව තරම් කොහෙවත් නෑ කියලා ඉන්දියාවට ආවාට පස්සේ මට හොඳටම තේරුණා.




ඇයි එහෙම කියන්නේ?




ඉන්දියාවට ඇවිත් මුල් මාසේ නම් එක එක ඉන්දියන් කෑම කෑවා. ඒත් ටික කාලයක් යද්දි අම්මගේ අතින් හැදෙන කෑම එක තරම් වෙන කිසිම කෑමක් රහ නැහැ කියලා මට තේරුණා. ලංකාව, මගේ ගෙදර අය නිතරම මතක් වුණා. ඇත්තටම අම්මා නැතිව ඇඳුම් හෝදගන්න කෑමබීම හදාගන්න වුණා. ඒ වෙලාවට ගෙදර අයට වීඩියෝ කෝල් එකක් අරන් කෑම හදන හැටි අහගන්නවා. ඒත් ඉතින් අම්මා උයන කෑම එක වගේ නැහැනේ. "දැන් මගේ අගේ තේරෙනවද" කියලා අම්මත් විහිළුවට මගෙන් අහනවා. ඇත්තටම මට එයාලා නැතුව ගොඩක් පාළුයි.




මේ අවුරුද්ද නයනතාරාට සම්මාන පිට සම්මාන ලැබෙන අවුරුද්දක් නේද?




ඔව්. ඒක ගැන නම් පුදුම සතුටක් තියෙන්නේ. මුලින්ම සුමති සම්මාන උළෙලේදී සම්මානයක් ලැබුණා. ඊට පස්සේ ස්ලිම් කැන්ටා සම්මාන උළෙලේදී සම්මාන තුනක්ම ලැබුණා. ඒ සම්මාන ගන්න ලංකාවේ ඉන්න තිබුණා නම් කියලා මට හිතුණා. මම ලංකාවේ නැති වුණත් ප්‍රේක්ෂකයින්ට මාව අමතක නොවුණ එක ගැනත් මේ තරම් ආදරයක් වටිනාකමක් ලැබීම ගැනත් මට පුදුම සතුටක් තියෙනවා. හැමදාම වගේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට, මට නිර්මාණ ලබා දුන් අධ්‍යක්ෂවරුන්ට, නාට්‍ය කණ්ඩායම්වලට සහ මාව සම්මානනීය රංගන ශිල්පිනියක් බවට පත්කළ සියලුම සම්මාන උළෙලවල්වලට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.


ස්ලිම් කැන්ටා සම්මාන උළෙලේදී ඔබට හිමි සම්මාන ලබාගන්න වේදිකාවට ගොඩ වුණේ රවීන් කණිෂ්ක. ඒ ගැනත් මේ දවස්වල බොහෝ දෙනෙක් කතා කරනවා නේද?




ඒ ගැන විවිධාකාරයේ අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා මමත් දැක්කා. රවීන් අයියා කියන්නේ මට හොඳම යාළුවෙක්. එදා සම්මාන උළෙලට අයියගේ නමක් නිර්දේශ වෙලා තිබුණා. මම ලංකාවේ නැහැ කියලා අයියා දන්නවා. ඒ නිසා මට ලැබෙන සම්මානයක් ගන්න කියලා මම රවීන් අයියට කිව්වා. ඒ නිසා තමයි එදා එයා මගේ සම්මානය ගන්න වේදිකාවට ගොඩ වුණේ.




මේ දවස්වල දෙවෙනි ඉනිමට අවන්තගේ චරිතය නැවතත් එකතු වෙලා. 




ඉතින් දෙව්මි කවදද දෙවෙනි ඉනිමට එන්නෙ කියලාත් ප්‍රේක්ෂකයන් අහනවා?




ඒ ගැන නම් මමවත් හරියට තවම දන්නේ නැහැ


සර්කස්කාරයෝ ටෙලි නාට්‍යයේ සහස්‍රාගේ චරිතයට ආයෙත් එන්නේ නැද්ද?




ඇත්තටම හදිසියේ තමයි ඉන්දියාවේ එන්න දවස් නියම වුණේ. ඒ ගැන මම සද්ධා මංගල සූරිය බණ්ඩාර මහත්මයාටත් ශිවගුරුනාදන් මහත්මයාටත් කිව්වා. ඔවුන් අධ්‍යාපනයේ වටිනාකම තේරුම් ගත්තා. ඒ නිසයි මට ඉන්දියාවට එන්න අවස්ථාවක් ලැබුණේ. ඇත්තටම මාව තේරුම් ගැනීම සම්බන්ධයෙන් සර්කස්කාරයෝ ටෙලි නාට්‍යය කණ්ඩායමටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ට යම් අසාධාරණයක් වුණා නම් ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා. මේ වැඩ කටයුතු ටික අවසන් කරගෙන ඉක්මනින්ම ලංකාවට එන්න ලැබුණොත් නැවතත් ටෙලි නාට්‍යයට සම්බන්ධ වීම ගැන හිතලා බලන්න පුළුවන්.




දැන් කරකාර බඳින්න කාලෙත් හොඳ එකේ ඉන්දියාවෙන්වත් කෙනෙක් හොයා ගත්තොත් නරකද?




කරකාර බඳින්න කලින් කරගන්න වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා ඒ ගැන දැන්ම හිතන්නේ නෑ.




කවදාද ලංකාවට එන්නේ?




මේ අධ්‍යාපන වැඩ කටයුතු ටික ඉවර කරගෙන ඉක්මනින්ම ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා.




Previous Post Next Post