සමහර ගායකයොන්ගේ මුල් කාලේ ගීත රසිකයෝ අතර එච්චර රැඳිලා තියෙන්නෙ නැහැ -රොමේෂ් සුගතපාල



මිහිරි හඬින් නිතරම ප්‍රේමණීය ගීත ගායනා කරන ගායකයෙක් තමයි රොමේෂ් සුගතපාල කියන්නේ. ඔහුගේ සංගීත ජීවිතයට අවුරුදු විස්සක් පිරීම නිමිත්තෙන් පසුගියදා රොමේෂ්ට විස්සයි නමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. මේ ප්‍රසංගයේදී රොමේෂ් ගායනා කරපු දිගු දෑස ගීතයට අකිල දනුද්දර සහ ⁣ශෙරිල් ඩෙකර් ඉදරිපත් කරපු ප්‍රේමණීය නර්තනයද සමාජ මාධ්‍ය තුළ ගොඩක් කතාබහට ලක් වුණා. ඉතින් ප්‍රසංගය ගැන වගේම සංගීත ක්ෂේත්‍රයේ විසි වසරක් ආපු ගමන ගැන දැනගන්න රොමේෂ් එක්ක අපි කතා කරමු.




විසි අවුරුද්දක් සංගීත ක්ෂේත්‍රයේ ආපු ගමන ගැන ආපහු හැරිලා බැලුවොත්..




2004 වර්ෂයේ මාර්තු 29 ඉඳලා 2024 මාර්තු 29ට මගේ සංගීත ජීවිතයට අවුරුදු විස්සක් සම්පූර්ණ වෙනවා. ‘වසනතයේ සිත සැලුණා’ ගීතයෙන් පටන්ගත්ත සංගීත ගමන තමයි මේ විදිහට අවුරුදු විස්සක් පුරාවට ආවේ. ඒ කාලෙදි මාත් එක්ක ලක්ෂානුත් හිටියා. දැන් කාලේ ගායකයන්ට එක මොහොතකින් යූටියුබ්, ෆේස්බුක්වලින් තමන්ගෙ සින්දු එළිදක්වන්න පුළුවන් වුණාට කිසිම සමාජ මාධ්‍යයක් ලංකාව තුළ නැති කාලෙදි තමයි මම ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඉතින් සින්දු නිර්මාණය කරලා ටීවී නාළිකා රේඩියෝ නාළිකාවලට ගෙනිහින් භාරදීලා තමයි ප්‍රේක්ෂකයන්ට අහන්න දකින්න සැලැස්සුවේ. පුවත්පත් මාර්ගයෙන් තමයි මම ගැන සහ මගේ සින්දු ගැන විස්තර මිනිස්සු අතරට වැඩිපුර ගියේ. ඉතින් ඒ වගේ අමාරුවෙන් ක්ෂේත්‍රයට ඇවිත් මේ වෙද්දි අඛණ්ඩව අවුරුදු 20 ක් සංගීත ක්ෂේත්‍රයේ නිර්මාණ කරමින් ඉන්නවා.




දැන් කෝ ලක්ෂාන්?




ලක්ෂාන් මේ වෙද්දි විවාහ⁣වෙලා බිරිඳත් දරුවොත් එක්ක කැනඩාවේ සතුටින් ජීවත් වෙනවා. හැබැයි ලක්ෂාන්ව මම අවුරුදු ගාණකින් දැකලා නැහැ. ඒ වුණාට අපි දෙන්නා ෆෝන් එකෙන් කතා කරනවා.




ගායකයෙක් වෙන්න ඕන වුණේ ඇයි?




මගේ තාත්තා සංගීත ගුරුවරයෙක්. තාත්තගේ සංගීත ආභාෂය මම පුංචි කාලේ ඉඳලා අහලා දැකලා සංගීතය ප්‍රගුණ කළා. ඊට පස්සෙ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ගිහින් සංගීතය විෂයක් විදිහට ඉගෙනගෙන නිර්මාණ කරන්න පටන් ගත්තා.




මුල් කාලේදි ගායනා කරපු ගීත අදටත් රසිකයො අතර ජනප්‍රියයි නේද?




සමහර ගායකයොන්ගේ මුල් කාලේ ගීත රසිකයෝ අතර එච්චර රැඳිලා තියෙන්නෙ නැහැ. හැබැයි ම⁣ම ගායනා කරපු වසන්තයේ සිත සැලුනා, හිතුමතේ, නෙතු සැලුනා, නීල දෑසේ යනාදී ගීත රසිකයන්ට තාම මතක තියනවා වගේම අන්තර්ජාලය හරහා ඔවුන් ඒවා අහනවා. අවුරුදු විස්සක් ගිහිල්ලා ඒ ගීත රසිකයො අතර තියෙන්නෙ ඒ ගී තනුවල තියන ප්‍රබලකම නිසා.




අලුත් ගායකයො බිහිවෙලා ඉද්දිත් ඔබ තාම ඉදිරියෙන් ඉන්නවා?




අද වෙද්දි විවිධ විදිහට අලුත් ගායකයෝ රටේ බිහිවෙනවා. ඔවුන්ට රැල්ලක් නිර්මාණය වුණත් මම වෙනුවෙන් වගේම මගේ ගීත වෙනුවෙන් තියන ආදරය අඩුවක් වෙලා නැහැ. ඒක ඔප්පු වුණා මගේ සංගීත ජීවිතයට වසර විස්සක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරපු රොමේෂ්ට විස්සයි ප්‍රසංගය බලන්න ආපු රසික ජනතාවගෙන්.




ප්‍රසංගය නිසා දිගු දෑස සිංදුව ආපහු කරළියට ඇවිත් තියනවා..




මම රොමේෂ්ට විස්සයි ප්‍රසංගයේදී රසිකයන්ව ගීත රසයෙන් වගේම රංගනයෙනුත් පිනෙව්වා. මගේ ගීතවල රූප රචනාවල රංගනයෙන් දායක වුණ නළු නිළියෝ ප්‍රසංගයට ගෙනල්ලා මම ගයනකොට රංගනයක් ඉදරිපත් කළා. නීල දෑසේ ගීතයට නර්මදා යාපත් දිගු දෑස ගීතයට අකිල දනුද්දරත් ශෙරිල් ඩෙකරුත් රංගනයෙන් ප්‍රසංගය ආලෝකමත් කළා. ප්‍රසංගය පවත්වපු දින රාත්‍රියෙම දිගු දෑස ගීතය වෙනුවෙන් අකිල ශෙරිල් ඉදරිපත් කරපු ප්‍රේමණීය නර්තන වීඩියෝව සමාජ මාධ්‍ය තුළ හුඟක් කතාබහට ලක්වුණා. ගොඩක් දෙනා අකිලගෙයි ශෙරිල්ගෙයි රංගනය දැකලා කියුවේ රඟපෑමක් වුණත් ඇත්තටම පෙම් යුවළක් විදිහට කරන ප්‍රේමණීය රංගනය දැකලා අවුරුදු දොළහකට පස්සෙ ආපහු දිගු දෑස සින්දුව ගැන තියෙන ලස්සන මතකය අලුත් කලා කියලා.




බිරිඳගෙන් සංගීත ජීවිතයට ලැබෙන සහයෝගය කොහොමද?




අම්මගෙනුයි තාත්තගෙනුයි පස්සෙ මට විශාල ශක්තියක් ලැබුණේ මගේ බිරිඳගෙන්. හරි විදිහට සංගීත ජීවිතය කළමනාකාරණය කරගෙන යන්න ඇය මට ලොකු සහයෝගයක් දෙනවා. බිරිඳයි පුතයි එක්ක මම ගොඩක් සතුටින් ජීවත් වෙනවා.




තාත්තා වගේම පුතත් ගායකයෙක් වෙයිද?




ඒක කියන්න බැහැ. තාත්තගේ සංගීත ආභාෂය පුංචි කාලේ ඉඳලා මට ලැබුණා වගේම මගේ සංගීත ආභාෂය පුතාට පොඩි කාලේ ඉඳලා ලැබෙනවා. හැබැයි එහෙමයි කියලා පුතා කවදාහරි වෘත්තීය වශයෙන් ගායකයෙක් වෙන්න ඕන කියලා අදහසක මම නැහැ.



Previous Post Next Post