මගෙ ලොකුම හීනය ඉන්දියාවේ ගිහින් රඟපාන එක-සප්නා



පාර දිගේ නාට්‍යයේ ‘මානවි‘ එහෙමත් නැත්නම් නානායක්කාරගේ ලොකු දුව ලෙසින් ප්‍රේක්ෂක ආදරේ ආකර්ෂණය දිනා ගත් සප්නා පාදුක්ක මේ දිනවල අපිට දකින්න ලැබෙන්නේ දෙරණ නාළිකාවේ විකාශය වන ප්‍රාර්ථනාහි චේති ලෙසින්. සප්නා පුංචි තිරයෙන් නිතරම දකින්න නොලැබුණත් ඇය කලාවෙන් දිගු ගමනක් යන්න සිහින දකින නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. මේ සප්නාගේ අලුත්ම කලා ලොවේ තොරතුරු ගැන  කළ සොඳුරු කතාබහ


සප්නා කොහොමද ජීවිතේ?


ජීවිතේ හොඳයි. ගොඩක් කාර්යබහුල කාලයක් නම් නෙවෙයි. තෝරාගත් නිර්මාණ කිහිපයක වැඩ කරනවා. එක නාට්‍යයක් විකාශය වෙනවා දෙරණ නාළිකාවේ. ප්‍රාර්ථනා කියන නාට්‍යය. එහි චේති කියන චරිතය. ටිකක් දඟකාර හුරතල් කටකාර චරිතයක්. මේ වෙනකම් තිබ්බේ ටිකක් නපුරු චරිත නිසා මේ චරිතය මට ලැබුණු වෙනස් විදිහේ චරිතයක් කියලා හිතනවා.


දැන් වැඩිය රඟපාන්නෙ නැත්තේ ඇයි?


රඟපාන්නේ නැහැ කියන්නේ මම ටෙලි නාට්‍යවලට වැඩිය සම්බන්ධ වෙන්නේ නැහැ. මට මේ චරිතය කරන්න ඕනේ, මම ආසයි කියලා දැනුණොත් විතරයි මම කරන්නේ. ඒ හැර ටෙලි නාට්‍ය කරන එක අඩු කරලා තියෙන්නේ. ගොඩක් නිර්මාණවලට කතා කළා. නමුත් භාර ගත්තේ එක චරිතයක් විතරයි. මේ දවස්වල මම යාපනයේ දෙමළ ජනතාව එක්ක සහ ඉන්දියාවේ ෆිල්ම් සහ මියුසික් වීඩියෝ කිහිපයක වැඩ කරගෙන ඉන්නවා. ඒ අය එක්ක වැඩ කරනවා කියන්නෙම මට වෙනස් අත්දැකීමක්. මේ දවස්වල ටෙලි නාට්‍ය කරනවට වඩා එයාලා එක්ක වැඩ කරනවා.


ඉදිරියට එන්න තියෙන අලුත්ම නිර්මාණ මොනවද?


මේ දවස්වල ෆිල්ම් එකක වැඩ කරගෙන යනවා. ඒ ගැන දැන්ම කියන්න කැමති නැහැ. මම හිතනවා ඒක සර්ප්‍රයිස් එකක් වුණොත් හොඳයි කියලා.


රංගනයට සීමා තියෙනවා ද?


ඒක තීරණය වෙන්නේ භාර ගන්න නිර්මාණයේ ස්වභාවය අනුව. ඒ කියන්නේ ෆිල්ම් එකක ලිප් කිස් එකක් දෙන්න වුණොත් මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද ෆිල්ම් එකක් කියන්නේ රංගනයේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්න පුළුවන්. ඒ හැර රංගනය තුළ හදාගත්තු මගේම කියන සීමාවන් නැහැ.


කටකතා ගොසිප්වලට බයද?


ඔව්. මම බයයි. ඒකට හේතුව මම කැමති නැහැ කටකතා ගොසිප් හැදිලා මම ප්‍රසිද්ධ වෙනවට. මම කැමති ජනප්‍රිය වෙන්න. ජනයාට ප්‍රියනම් නේ ජනප්‍රිය වෙන්නේ. එහෙම නැතුව මොකක් හරි ගොසිප් එකක් නිසා හෝ මම හදාගත්තු ගොසිප් එකක් නිසා ප්‍රසිද්ධ වෙනවට වඩා ජනප්‍රිය කෙනෙක් වෙන එක හොඳයි. ඒ නිසා කටකතා ගොසිප්වලට මම කොහොමත් බයයි.


සප්නා ආදරවන්තියක් ද?


දැනට නම් ආදරවන්තියක් නෙවෙයි. ආදරේ අත්දැකීම් තියෙනවා.


සප්නා කියන්නෙ කොහොම චරිතයක් ද?


මට වැඩිය යාළුවො නැහැ. ඒ කියන්නේ යාළුවො නැති තරම්. එක හොඳ යාළුවෙක් දෙන්නෙක් ඉන්නවා. ඒ වුණත් ඒ අය එක්ක වුණත් ලොකු කනෙක්ෂන් එකක් නැහැ. මගේ හොබී එක තමයි ගෙදරට වෙලා ෆිල්ම් බලන එක. ෂූටින් නැති දවසක් නම් ෆිල්ම් තුන හතරක් හරි බලනවා. මම තනියම ඉන්න කැමති කෙනෙක්. ගොඩක් පිරිසක් ඉන්න තැන් වල මම ඉන්න කැමති නැහැ.


ක්ෂේත්‍රයේ හොඳම යාළුවො කවුද?


නිසල හෙට්ටිආරච්චි මගෙ හොඳ යාළුවෙක්. එයාව තමයි මම ගොඩක් සමීපව ඇසුරු කරන්නේ.


පවුලේ කවුද ඉන්නෙ


අම්මා තාත්තා සහ අයියා. අයියා මේ වෙද්දී විවාහ වෙලා ඉන්නේ. මගේ ආච්චි සහ මගේ ලොකු අම්මා අපි එක්ක ඉන්නවා. ඒ දෙන්නා තමයි මාවයි අයියාවයි පොඩි කාලේ ඉඳන් බලා ගත්තේ. ඒකට හේතුව මගේ අම්මා තාත්තා දෙන්නම නාවික හමුදාවේ සේවය කළේ. යුද්ධය කාලේ ඒ ගොල්ලන්ට අපි එක්ක ඉන්න බැරි වුණා. දැන් නම් අපි එක්කම ඉන්නවා.


ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


ගෙදර අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මටත් වැඩිය ඒ අය කැමතියි. මම ෂූටින් යද්දී මගේ අම්මා මගෙත් එක්ක එනවා. අම්මා නැත්නම් ආච්චි හෝ මගේ තාත්තා හරි කවුරුම හරි මගේ එක්ක එනවා. ඒ අය ගොඩක් ආසයි. හැමවෙලේම මගේ නිර්මාණ බලනවා. අයියා අක්කා වුණත් මට ගොඩක් සහයෝගය දෙනවා. ඒ අයත් ගොඩක් ආස නිසා තමයි මම මේ ක්ෂේත්‍රය තුළ රැඳෙන්නත් කැමති.


වැඩිම ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිතය?


පාර දිගේ නාට්‍යයේ මානවිගේ චරිතය. අදටත් මඟ තොටේදී මානවිට ප්‍රතිචාර ලැබෙනවා. මම ගොඩක් චරිත කරලා නැහැ. කරපු චරිතවලට වැඩිය ප්‍රතික්ෂේප කරපු චරිත වැඩියි. මට මේ ක්ෂේත්‍රයට එන්න වාසනාව ලැබුණේ මානවි කියන චරිතයෙන්. ඒ නිසා ඒ චරිතයට මම හැමදාම ආදරෙයි.


දිගටම රඟපාන්නද කැමැත්ත?


ඔව්. මම දිගටම රඟපාන්න ආසාවෙන් ඉන්නවා. මම ටැමිල් සහ ඉන්දියන් අය එක්ක වැඩ කරන්න ආසයි. මේ වෙද්දී වැඩ දෙක තුනක්ම කරලා තියෙනවා. ලංකාවේ ටෙලි නාට්‍යවලට වැඩිය ෆිල්ම් පැත්තට මම ගොඩක් කැමතියි. ඒ නිසා මම ඒ පැත්තෙන් දිගටම රඟපායි. මේ වන විට මම දෙමළ භාෂාව ඉගෙන ගනිමින් ඉන්නේ.


අනාගත බලාපොරොත්තු මොනවද?


මගෙ ලොකුම හීනය ඉන්දියාවේ ගිහින් රඟපාන එක. ඒකට අවශ්‍ය මූලික අඩිතාලම මේ වෙද්දී මම දාලා තියෙනවා. තව අවුරුදු කිහිපයකින් ඒක සාර්ථක කර ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තියෙනවා.


Previous Post Next Post