රිදී තිරයේ සුපෙම්වතා වු රොෂාන් රණවන පුංචි තිරයේ දුෂ්ටයෙක් වෙලා



හිරි පොද වැස්සක් වෙමින් සිංහල සිනමාවට ඇද හැලුණු ඔහු අපේ කාලයේ සිහින තරුවයි. මීට දශක දෙකකට පමණ පෙර රංගනයට එක්වූ ඔහු එදා සිට අද දක්වාම තම ජනප්‍රියත්වය එක ලෙස ආරක්ෂා කර ගැනීමට සමත් වූ අයෙක්. තමා සම්බන්ධ වූ සෑම නිර්මාණයක් හරහාම රසික සිත් තුළ මතකයන් සටහන් කළ ඔහු මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වන්නේ See You ටෙලි නාට්‍යය හේතුවෙනි. මේ අන් කවරකුවත් නොව ජනප්‍රිය චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු රොෂාන් රණවනයි. මේ දවස්වල කලා කටයුතු ගැන කියලම කතාව පටන් ගමු?


මේ දවස්වල ස්වර්ණවාහිනියේ See You ටෙලි නාට්‍ය විකාශය වෙනවා. කාලයකට පසුව තමයි  ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ. යශේන් කියන චරිතය තමයි මම එහි රඟදක්වන්නේ. මේ දවස්වල විකාශය වෙන වැඩකට තිබෙන්නේ ඒක. ඒ වගේම  අලුත් චිත්‍රපටයක රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඒත් එක්කම මේ අවුරුදු කාලය නිසා ඒ වැඩකටයුතුත් තිබෙනවා.


කොහොමද යශේන්ට ලැබෙන ප්‍රතිචාර?


ඇත්තටම තවම නාට්‍ය විකාශය වෙන්න පටන්ගෙන එතරම් කාලයක් නැහැ. නාට්‍ය විකාශය වෙන්න කලින්ම ට්‍රේලර් එකට වගේම තීම් සෝංග් එකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. නමුත් තවම මම ඉන්න එපිසෝඩ් කිහිපයක් පමණක් නිසා විකාශය වෙලා තිබෙන්නේ  රසිකයන්ට ඒ චරිතය කොයි වගේ එකක්ද කියලා ග්‍රහණය වෙන්න කාලය මදි. මේකෙදී මාව දකින්න ලැබෙන්නේ වෙනදා දකින්න නැති කළු චරිතයකින් නිසා ඒකත් ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වෙයි කියලා හිතනවා. ඒක නිසා සමහරු කැමැති වුණත් සමහරු අකැමැති වෙන්න ඉඩ  තිබෙනවා.


ඔබ කාලයකට පසුවයි මේ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ, ඒ අත්දැකීම මොන වගේද?


අන්තිමටම මම සම්බන්ධ වුණේ ඉත්තෝ ටෙලි නාට්‍යයට. 2019 වසරේදී වගේ තමයි ඒක විකාශය වුණේ. ඒකත් වෙනස් නාට්‍යයක්. රූපවාහිනියේ විකාශය වෙද්දි වගේම යූ-ටියුබ් එක හරහාත් බොහෝ පිරිසක් ඒක නරඹලා තිබුණා. ඒකත් වෙනස් චරිතයක්. මට තෝරා බේරාගෙන වෙනස් දෙයක් කළ හැකි නම් ඒ හරහා මම පුංචි තිරයට එනවා. ඊට පස්සේ See You ටෙලි නාට්‍ය වෙනුවෙන් ආරාධනා ලැබුණම ඒක මම භාර ගත්තා. ඉදිරියටත් මේ වගේ වෙනස් හොඳ නිර්මාණවලට ආරාධනා ලැබෙනවා නම් මම භාර ගන්නවා. මම හැම එකම කරන්නන් වාලේ කරන්න කැමැති නැහැ. නමුත් හොඳ දෙයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම කරනවා.


See Youහි ඔබේ චරිතයත් සුවිශේෂීයි ඒ ගැනත් කතා කරමු?


පළමුවැනි පාරට තමයි මම රංගන ශිල්පියෙක්ගේ චරිතයක් රඟදක්වන්නේ. මම ඒකේ මම ඉන්න වෘත්තීය රඟ දැක්වූවාට ඒකේ චරිත ස්වභාවය මගේ සැබෑ චරිතයට වඩා හාත්පසින් වෙනස්. මට හිතෙනවා ඒකත් හොඳ අත්දැකීමක් කියලා. ප්‍රේක්ෂකයාට යෂේන් හරහා දැක ගන්න පුළුවන් රොෂාන් රණවන ඒ වගේ රංගන ශිල්පියෙක් වුණොත් මොන වගේ වෙයිද කියලා. ඒක හොඳ අභියෝගයක්, ඉතිං ආසාවෙන් භාර ගත්තා.


චිත්‍රපට නළුවෙක් ලෙස ටෙලි නාට්‍යවලට සම්බන්ධ වීම ගැන තිබෙන්නේ මොන වගේ අදහසක්ද?


මම ආපු මුල් කාලේ වුණත් ටෙලි නාට්‍ය කළේ නැහැ කියලා කියන්න බැහැ. මම මුල් කාලයෙත් රිදී තිරයේ වගේම පුංචි තිරයේත් ජනප්‍රිය වුණා. වසූදා ටෙලි නාට්‍ය හරහා තමයි මාව පළමු වතාවට ප්‍රේක්ෂකයන් දැක්කේ. චිත්‍රපටය කලින් රූගත කළාට ටෙලි නාට්‍ය තමයි මුලින්ම විකාශය වුණේ. වසූදා හරහා වගේම ඊට පසුව හිරිපොද වැස්ස චිත්‍රපටය හරහාත් මට ඒ කාලයේ අසීමිත ජනප්‍රියත්වයක් හිමි වුණා. ඉන් අනතුරුව කාව්‍යා නාට්‍යයෙත් මම ප්‍රධාන චරිතය රඟදැක්වූවා. මට එහෙම ටෙලි නාට්‍ය කරන්නේ නැහැ කියලා අදහසක් තිබිලා නැහැ. නමුත් පසුව චිත්‍රපට සමඟ කාර්යබහුල  වීම නිසා වගේම මෙගා රැල්ල නිසා එක දිගටම මෙගා නාට්‍යයකට සම්බන්ධ වීමේදී ඇති වන කාලය සම්බන්ධ ගැටලු නිසා තමයි නාට්‍යවලට සම්බන්ධ වීම සීමා වුණේ. නමුත් ඒ අතරතුර මම තෝරාගත් ටෙලි නාට්‍ය සියල්ලටම වගේ විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා.


අද වන විට චිත්‍රපට හා ටෙලි නාට්‍ය අතර ඇති වෙනස දකින්නේ කොහොමද?


අද ටෙලිවිෂනය හරහා හොඳ අධ්‍යක්ෂවරු ඇවිල්ලා, හොඳ අලුත් තාක්ෂණික ක්‍රම ඇවිල්ලා, චිත්‍රපටවලට තරගයක් දෙන්න පුළුවන්. ඇතැම් විට චිත්‍රපටවලට වඩා ගුණාත්මක බවකින් යුතු  නිර්මාණ  බිහි වෙනවා. ඒත් එක්කම ටෙලිවිෂය අද වෙද්දී සිනමාව පොඩ්ඩක් පහු කරගෙන ගිහිල්ලා වගේ එකක් දැනෙනවා. ඒ වගේ හොඳ නිර්මාණ අපි කළේ නැත්නම් කාලය අපරාදේ කියලා හිතෙනවා. හොඳ සිනමාපටයක් එනතුරුම බලාගෙන ඉන්න එක නුවණක්කාර දෙයක් නෙවෙයි. මම නම් ඉන්නේ බැලන්ස් එකේ. හොඳ චිත්‍රපට එනවානම් ඒවා විතරක් කරන්න පුළුවන්. නමුත් එහෙම ගොඩක් චිත්‍රපට හැදෙන්නෙත් නැහැ අද වෙද්දී. අද ලංකාවේ චිත්‍රපට හැදෙන ප්‍රමාණය අඩුයි. අද අපිට තෝරාගැනීමක් කරලා භාරගන්න තරම් නිර්මාණ බිහි වෙන්නේ නැහැ. මම හිතන්නේ අපි මේ ගමන යන්න ඕනෑ බුද්ධියෙන්. අපි කාලයත් සමඟ වෙනස් විය යුතුයි.


වසර 20කට පෙර තිබූ ජනප්‍රියත්වය තවමත් එහෙමමයි, ඒ ගැන කතා කළොත්?


ඒක තමන්ගේ ප්‍රතිරූපය කොහොමද නඩත්තු කරන්නේ කියන කාරණය මත තීරණය වනවා. විශේෂයෙන් මේ වගේ ක්ෂේත්‍රයක ඉතාමත් බුද්ධියෙන් කටයුතු කළේ නැත්තම් අපිට රඳා පවතින්නට බැරි වෙනවා. තරු බිහි වෙනවා නමුත් රඳා පැවැත්ම තමයි අසීරු. තරු හතු පිපෙනවා වගේ බිහි වෙනවා. නමුත් රඳා පවතින අය අඩුයි. ඒක තීරණය වෙන්නේ තමන්ගේ බුද්ධිය සහ තමන් ඒක මේන්ටේන් කරන ආකාරය අනුව. අවුරුදු විස්සක් පුරාවට රැඳී සිටීමත් ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි.


පසුගිය කාලයට සාපේක්ෂව අද වෙද්දී සිනමාවට ඇදී එන ප්‍රේක්ෂකයන්ගේ වර්ධනයක් දකිනවා. ඒ ගැන කතා කළොත්?


හොඳ නිර්මාණ බිහි වෙනවා නම් ප්‍රේක්ෂකයන් හැමදාම සිනමා ශාලාවලට එනවා. එහෙම වුණත් අපිට තවමත් ගැටලු තිබෙනවා. සිනමා ශාලාවල විශාල අඩුවක් තිබෙනවා. ඒ වගේම මේ රටේ මිනිස්සු හැමදාම මොකක් හෝ අලුත් ගැටලුවක් සමඟ ජීවත් වෙන්නේ. මේ වගේ  කාලයක අපිට ඉස්සර වගේ හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. නමුත් මොන කාලයක වුණත් හොඳ නිර්මාණ එළියට එනවා නම්, හැම වෙලේම දේවල් කොපි නොකර අපිට ආවේණික දේවල් කරනවා නම් සිනමා ශාලා හවුස් ෆුල් වීම නවත්වන්න බැහැ.


අවසන් වශයෙන් ආදරණීය බිරියගෙන් ලැබෙන සහාය ගැනත් කතා කරමු?


ඇත්තටම මගේ විශාලම ශක්තිය වන්නේ ඇය. මගේ සියල්ල කළමනාකරණය කරමින් සියල්ල සිදු කරන්නේ ඇය. මම රංගන ක්ෂේත්‍රයට ආවට පසුව මුල් වසර 10 තුළ අම්මා තමයි මගේ සියල්ල කළමනාකරණය කරමින් මට සහාය වුණේ. විවාහයෙන් පසුව මගේ බිරිය අම්මගෙන් ඒ බැට්න් එක අතට ගත්තා. ඉන් අනතුරුව මේ ගෙවුණු වසර 10 තුළම මගේ සියල්ල කළමනාකරණය කරමින් සිදු කළේ ඇය. ඇත්තටම අද රොෂාන් රණවන කියන රංගන ශිල්පියා ඉන්නේ මගේ මව සහ බිරිය නිසා.


අක්ෂි මාපා වීරසිංහ



Previous Post Next Post