නොකා නොබී වැඩ කරපු කාලයක් මට තිබුණා- දිමංක වෙල්ලාලගේ




ඔහු ලාංකේය ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියෙක්. විරහවෙන් සහ ආදරයෙන් රසික හදවත් මුසපත් කළ මෙම ගායකයා රසික හදවත් තුළට තම කුලු¾දුල් ගීතයෙන්ම ඇතුළු වූ ගායකයෙක්. අද  එක් වන්නේ ප්‍රවීණ ගායන ශිල්පී දිමංක වෙල්ලාලගේ. 


මේ දවස් ගෙවී යන්නේ කොහොමද?


මේ දවස්වල ප්‍රසංග වැඩකටයුතු සමඟ හරිම කාර්යබහුලයි. අප්‍රේල් මාසය කියන්නේ සීසන් එකනේ. මාර්තු මාසයේ මැද හරියේ ඉඳන්ම කාර්යබහුල අයුරින් තමයි කාලය ගෙවී ගියේ. අපේ ආදරණීය රසික රසිකාවියන් වෙනුවෙන්ම හරිම ආසාවෙන් ලංකාව වටේම එන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ හැඟීම මට අවුරුදු ගාණක් පුරාවටම ගෙන ආවේ ආදරණීය බවක්. ඉතින් කාර්යබහුලව තමයි මේ දවස් ගෙවී යන්නේ.


අලුත් වැඩක් එහෙම කරන්න අදහසක් නැද්ද?


මේ දවස්වල අලුතෙන් වැඩක් ප්ලෑන් කරගෙන යනවා. මම නිරන්තරයෙන්ම ගායනා කළේ ආදර ගීත සහ විරහ ගීතනේ. මෙවර මම කාලීන මාතෘකාවක් එක්ක අලුත් වැඩක් කරගෙන යනවා. ඒ ගීතය රචනා කළේ ප්‍රවීණ ගී පද රචක චාමින්ද රත්නසූරිය. එය සංගීතවත් කළේ ඩිලාන් දේවින්ද. අප්‍රේල් මාසෙ පහුවෙලා මැයි මාසෙ වගේ ඒ ගීතය ආදරණීය රසිකයන්ට විඳගන්න ලැබේවි. ඒ ගීතය තුළ මිනිස්සුන්ට හිතන්න බොහෝ දේ තිබෙනවා. එය රසිකයන්ට බොහෝ පණිවුඩ ලබා දෙයි කියලා මම සිතනවා.


වත්මන් තරුණ තරුණියන් දිමංකගේ විරහ ගීතවලට වගේම ආදර ගීතවලටත් දැඩි ළැදියාවක් දක්වනවා. මොකද ආදරය සහ විරහව ගැන ගීත නිර්මාණය කරන්න සිතුවේ.


මෙහෙමයි, මම මගේ ගමන පටන් ගත්තේ නිදුකින් ඉනු මැන ගීතයෙන්. අදටත් එය ඉතා ජනප්‍රියයි. මීට වසර 10කට පෙර තමයි ඒ ගීය ආවේ. ඉතින් මම හිතනවා එකිනෙකාට දැනෙන හැඟීම් අනුව තමයි මේ ගමන යන්නේ. අපි කවුරුත් මොනතරම් සතුටින් හිටියත් තනියම අඬනවා. අපි හැමෝ තුළම සැඟවුණු වේදනාවන් තිබෙනවා. මට වගේම මේක කියවන ඔබටත්  ඒක එහෙම වෙන්න ඇති. අපි විරහවට හරිම ආදරෙයි. ඒකයි අදටත් මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ, ප්‍රියා සූරියසේන මහත්තයාගේ ගීතවලට ආදරය කරන්නේ. අපි ඒ ගීතවලින් අපි නොහිතන අපේ මතකයන්ට ගමන් කරනවා. මේක කවදාවත් නතර වෙන එකක් නැහැ. මම පෞද්ගලිකවම විරහ ගීත ගායනා කරන්න ආස කරන කෙනෙක්. නමුත් ගායකයෙක් විධියට විරහවට විතරක් සීමා වෙන්න බැහැ. මම මේ ක්ෂේත්‍රයේ වසර ගණනාවක් සිටි කෙනෙක් ලෙස විවිධ මාතෘකා ඔස්සේ ගමන් කරන්න සහ සොයා යන්න බලාපොරොත්තු වනවා. ඉදිරියේදී ගොඩක් වෙනස් මාතෘකා ගැන මම සින්දු නිර්මාණය කරාවි.


ඔබට නිදුකින් ඉනු මැන ගීතයෙන් ලැබුණු ප්‍රතිචාර නිසාද ඔබ විරහ ගීත ගායනයට යොමු වුණේ?


ඉස්සර අපිට විවිධ රෙකෝඩ් ලේබල් තිබුණා. දැන් ඒ වගේ අවකාශයන් හරි අඩුයි. අපි ආර්ථිකමය වශයෙන් දේවල් තිබිලා මේ ක්ෂේත්‍රයට ආපු අය නෙවෙයි. නමුත් මේ ගීතයෙන් ලැබුණු පන්නරය නිසා ගොඩක් කම්පැනි සමඟ වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඔවුන්ගේ ඉල්ලීම වුණේ විරහ ගීත. ඔවුන් කර්මාන්තයක් විධියට රින්ගින් ටෝන් ටාගට් කරලා තමයි ගොඩක් දේවල් කළේ. ඒ තුළ මම ගීත තෝරා ගැනීමේදී ගොඩක් සැලකිලිමත් වුණා. මම මගේ ගමනට බලපෑමක් කරන රසිකරසිකාවියන්ට කාලයක් පුරා රසවිඳිය හැකි නිර්මාණ තමයි තෝරා ගත්තේ. මම ගායනා කළ ගීත අදටත් මිනිස්සු අහනවා. ආදරෙයි වස්තු වගේ ගීත ඒ අතර තිබෙනවා.


අද ක්ෂේත්‍රය ගොඩක් වෙනස් වෙලා. බොහෝ ගායකයන් ගීත ඇල්බමයන් කරන්නෙ නැහැ. ට්‍රෙන්ඩින් වීමට උත්සාහ දරනවා. වෙනස් වුණු ක්ෂේත්‍රය සමඟ ඔබ නව නිර්මාණයක් සිදු නොකිරීම අපරාධයක් කියා සිතෙන්නේ නැද්ද?


මම විශ්වාස කරන දෙයක් තමයි නිර්මාණ බිහි වෙන්න ශක්තිමත් පදනමක් සහ කලාකරුවා ශක්තිමත් වෙන්න ඕනයි කියන දෙය. මිනිස්සු අපේ චරිතයට තමයි ආදරය කරන්නේ. මිනිස්සු සහ අපි අතර තිබෙන බැඳීම තමයි අපිට ශක්තිමත් ගමනක් යන්න උපකාර කරන්නේ. අපි මාසෙන් මාසෙට නිර්මාණ කරන්න අවශ්‍ය නැහැ. චාමර වීරසිංහ අයියා එයාගෙ අවසන් කැසට් එක 2009 තමයි නිකුත් කළේ. ඊට පස්සෙ ආවෙ නිර්මාණ ඉතා අතළොස්සයි. ඒවට මියුසික් වීඩියෝස් මොකුත් නැහැ. නමුත් එයාට මිනිස්සුන්ගෙ තිබෙන ආදරයෙහි අඩුවක් නැහැ. අන්න ඒ හෘදයාංගම බව තමයි අපි ගොඩනඟා ගත යුත්තේ. එහෙම නැතිව මාසෙන් දෙකෙන් අපි නිර්මාණ කරලා වැඩක් නැහැ. මට කා එක්කවත් තරගයක් නැහැ. මට තරගය තියෙන්නෙ මාත් සමඟ විතරයි. මම නිර්මාණ ගොඩක් කරලා තිබෙනවා. ඒවා මම කළේ සතියෙන් දෙකෙන් දාන්න නෙවෙයි. ඒවට ගොඩක් කැප වෙන්න ඕන. ඉස්සර වගේ දැන් ලෙහෙසි නැහැ. අපි කලින් වැඩ කළා වගේ නෙවෙයි අප්ඩේට් වෙලා දෙයක් දෙද්දී ගොඩක් රිච් වෙන්න ඕනෑ. ඒ නිසා තමයි විශාල කාලයක් නිර්මාණයක් සඳහා අපිට වැය කරන්න වෙන්නේ.


ඔබ ලංකාවේ ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයෙක්. දිමංක කියන බ්‍රෑන්ඩ් එක නිර්මාණය කරන්න ඔබ කළ කැපකිරීම ගැන සහ අසීරුතා ගැන මතක් කරනවා නම්?


මම මුලින්ම සොබාදහමට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අම්මට, තාත්තට වගේම මාව නිර්මාණය කරන්න කැපවුණු සැමට මම ස්තූතිවන්ත වෙනවා. මට මේ ක්ෂේත්‍රයේ කිසිදු දුකක් කරදරයක් සිදු වුණේ නැහැ. නමුත් මම මේ ක්ෂේත්‍රයට එන්න විශාල පරිශ්‍රමයක් දැරුවා. මට මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කිසි කෙනෙක් සිටියේ නැහැ. අපේ පියා ඉතා දුක්බරව වෙහෙස මහන්සි වෙලා තමයි අපිව හැදුවෙ වැඩුවෙ. මම නාවික හමුදාවට ගිය කෙනෙක්. මම ඒ නිසා ලංකාවෙ විවිධ පෙදෙස්වල ජීවත් වුණා. ඒ කටුක බව නිසාම මට හිතුණා මට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා.


මම පස්සෙ නාවික හමුදාවෙන් නීත්‍යනුකූල නොවන අයුරින්  එළියට ආවා. ඒ නිසාම මට බන්ධනාගාරගත වෙන්නත් සිදු වුණා. ඊට පස්සෙ සිකියුරිටි ෆර්ම් එකක බොහෝ කල් වැඩ කළා. ඔය කාලෙ තමයි මම සින්දු නිර්මාණය කළේ. ඒ කාලේ මම නොකා නොබී වැඩ කළා. ඉන් පස්සෙ තමයි නිදුකින් ඉනු මැන නිකුත් කරලා මට ප්‍රතිචාර ලැබුණේ. මම මුලින්ම ප්‍රසංගයකට ගියේ රාජාංගණයේ. මම මුලින්ම ගියේ බස් එකේ නැඟලා. මට එතැනින් බත් පැකට් එකකුත් හම්බුණා. ඕක කාලා තමයි මම සින්දු කිව්වේ. මට ඒ මොහොතෙ මම මොකක්ද කරන්නෙ කියලා පොඩි අවිනිශ්චිත හැඟීමකුත් ආවා. නමුත් මගේ බිරිය මාව ශක්තිමත් කළා. මේ හැමදේටම මම රසික රසිකාවියන්ට සහ සොබාදහමට ස්තුතිවන්ත වෙනවා.


ඉදිරි වැඩකටයුතු ගැන කතා කරනවා නම්?


මම විවිධ පැතිකඩ ඔස්සේ ගමන් කරන නිර්මාණ කිහිපයක්ම හදලා තිබෙනවා. ඒ වගේම ආදරය ගැන වෙනස් කියවීමක් තිබෙන නිර්මාණ කිහිපයකුත් නිකුත් වීමට නියමිතයි. කලාකරුවාට දැක්මක් තිබෙන්න ඕන නැත්නම් ඔහු ෆේල් වෙනවා. ඊට අමතරව මගේ ලයිව් ඉන් කොන්සට්ටුව පැවැත්වීමට කටයුතු සූදානම් කරගෙන යනවා. මගේ පළමු සජීවී ප්‍රසංගය විසල් පරිශ්‍රමයක් දරලා ඉටු කරන්න තමයි සිතාගෙන ඉන්නේ.


ගිහාන් සචින්ත



Previous Post Next Post