ජීවිතේ හමුවුණු සමහර අය නිසා මම ජීවත් වෙන්නෙ ෂේප් එකේ -තාරා කළුආරච්චි



තාරා කළුආරච්චි බොහෝ විට අප නෙත ගැටෙන්නේ සුන්දර මනාලියකගේ රුවිනි. බොහෝ දෙනා ලංකාවේ ආශ්වර්‍යා ලෙස හඳුන්වන්නේ ද ඇයයි. බ්‍රයිඩ්ල් නිරූපණය හරහා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට දහස් වතාවකටත් වඩා වැඩි වාර ගණනක් මනාලියක ලෙස හැඩගැන්වී තිබීමම විස්මය උපදවන්නකි. ඇය සතු රංගන හැකියාව ද ඊටම දෙවැනි නොවේ. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන සුපුන් රත්නායකගේ ‘ලලයි ලිලයි ලයි’ ටෙලි නිර්මාණයේ ජීවා ලෙසින් ඔබ හමුවට එන ඇය හිරු නාළිකාවේ ‘හිච්චි’ ටෙලි නිර්මාණයේ ඩයනා මෙන්ම දෙරණ නාළිකාවේ සීසර්ලා ටෙලි නිර්මාණයේ මිහිරි ද වන්නීය. මේ ඇය හා කළ කතාබහයි.


මේ දිනවල ඔබ නාළිකා තුනක නිර්මාණ තුනකින් ප්‍රේක්ෂකයන් හමුවට එනවා. ගොඩක් කාර්යබහුල චරිතයක් නේද?


ඔව්. ස්වර්ණවාහිනියේ විකාශය වන ලලයි ලිලයි ලයි කියන්නෙ සුපුන් රත්නායකගේ කොමඩි ආරට යන වෙනස්ම නිර්මාණයක්. එහි චරිත හය හතයි තියෙන්නෙ. චරිතවලට නම් දාල තියෙන්නෙ ලග්නවලට අනුව. ජීවා කියන්නෙ වෘශ්චික ලග්නයට හැදුණු නම. ජීවාට ලැබෙන ප්‍රතිචාර සියයට සීයයි. ගොඩක් අය මම ආශ්වර්යා වගේමයි කියනවා. හිරු නාළිකාවේ හිච්චි නාට්‍යයේ ඩයනා කියන්නෙත් ප්‍රධාන චරිතය. දෙරණේ විකාශය වන සීසර්ලා හි මිහිරිටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


තාරා කළුආරච්චි කියන්නෙ ලංකාවේ බ්‍රයිඩ්ල් නිරූපණ කලාවේ බ්‍රෑන්ඩ් එකක් කිව්වොත්?


මං වෘත්තියෙන් නිරූපණ ශිල්පිනියක්. බ්‍රයිඩ්ල් නිරූපණය තමයි ප්‍රධාන. මුලින්ම බ්‍රයිඩ්ල් කෙනෙක් විදිහට ඇන්දෙ අවුරුදු 16දී. ඒ මීට අවුරුදු 10කට කලින් අපේ නෑදෑ කෙනෙක්ගෙ ෂෝ එකකට. විවාහයට කලින් තුන්තැල්ල දාන්න හොඳ නෑ කියල මතයක් තිබුණත් අපේ ගෙදරින් නම් මට කිසිම තහනමක් වැටුණෙ නෑ. මේ වෙද්දි මං එක්දහස් පන්සිය වතාවටත් වඩා මනාලියක් විදිහට හැඩගැන්විලා තියෙනවා. මාසෙකට කොහොමත් හය හත් වතාවක් අඳිනවාමයි. තරග ජයග්‍රහණ ගොඩක් හිමිකරගෙන තියෙනවා. යාපනේ ටැමිල් අයගේ ප්‍රධානම ෂෝ එකක් වන අරුන්දතී ෂෝ එකට වගේම සිංහල අයගේ තම්බපණ්ණි ෂෝ එකටත් අනිවාර්යයෙන්ම ආරාධනා ලැබෙනවා.


 අනුරාධපුරය වගේ දුෂ්කර ගමක ඉපදුණු තාරා කොළඹට ඇවිත් ජනප්‍රිය චරිතයක් වුණ හැටිත් කියමු?


අපේ පවුලෙ ඉන්නෙ අයියල දෙන්නයි, නංගියි, අම්මයි, මමයි විතරයි. මෙහේ මං නැවතිලා ඉන්නෙ නෑදෑ වෙන අක්ක කෙනෙක්ගෙ ගෙදර. එයත් කොස්ටියුම් ඩිසයිනර් කෙනෙක්. අපේ අම්මට තරමටම මං ඒ අක්කටත් ආදරෙයි. හැමවේලේම මගේ පස්සෙන් ඇවිත් මාව පුදුම විදිහට ආරක්ෂා කරනවා. මං අද යම් තැනක ඉන්නව නම් ඒ අක්ක නිසා කිව්වත් හරි.


පාසල් කාලය ගැනත් මතක් කරමු ?


අපේ තාත්ත, රේල්ලුවේ වැඩ කළ නිසා එයා යන යන තැනට අපිටත් යන්න වුණා. ඒ නිසා පාසල් කිහිපයකටම යන්න වුණා. අන්තිමටම ගියේ අනුරාධපුර නිවත්තක චේතිය ජාතික පාසලට. ඒ කාලෙ ඉඳන්ම මට නර්තන හැකියාවත් තිබුණා. පාසල් කාලෙ උතුරු මැද පළාතේ නර්තන කණ්ඩායමේ සාමාජිකාවක්. රංගනය පැත්තෙන් ගත්තත් සමස්ත ලංකා දක්වා ගියා. ඊට අමතරව නෙට්බෝල්, බාස්කට් බෝල් වගේම හොකී ක්‍රීඩාවෙන් සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ ලැබුවා.


එතකොට තාරා රංගනය පැත්තට යොමු වෙන්නෙ කොහොමද?


මුල්ම රංගන අත්දැකීම ලැබුවේ සියත නාළිකාවෙ විකාශය වුණු එන්කවුන්ටර් 2 නාට්‍යයේ. ඩිලාන් අයියා තමයි මාව ෆීල්ඩ් එකට ගෙනාවේ. ඊට පස්සෙ හර්ෂ උඩකන්දගේ ලොක්කි 2 ටෙලි නිර්මාණයේ නතාෂා ලෙසින් ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තා. සිනමාවට සම්බන්ධ වුණේ රජිත හිරාන්ගේ රයිඩර් සිනමාපටයෙන්. එය තිරගත වුණා. ඊට පස්සෙ උදයකාන්ත වර්ණසූරිය සර්ගෙ කොස්තාපල් පුංචි සෝම කළා. පහුගිය දවස්වල ඔහුගේම ගිනි අවි සහ ගිනිකෙළි 2 සිනමා පටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒකෙ ෂූටින් දැන් ඉවරයි. ඒ දෙකම තාම තිරගත වුණේ නෑ. ඊට අමතරව ටෙලි ෆිල්ම්, මියුසික් වීඩියෝවලට සම්බන්ධ වුණා.


ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?


ප්‍රේක්ෂකයන්ගෙන් වගේම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගොඩක්ම වටිනවා. බෑඩ් කමෙන්ට්ස් තාම නම් ලැබිල නෑ. මට මතකයි හිච්චි ටෙලි නිර්මාණයේදී ප්‍රවීණ රංගන ශිල්පී ජනක් ප්‍රේමලාල් මහත්මයා මගේ හැකියාව ගොඩක් අගය කළා. කාලෙකට පස්සෙ හොඳ නිළියක් දකිනවා කිව්වා. පෙනුම, උස වගේම හොඳින් දෙබස් උච්චාරණය කරමින් හොඳට රඟපානවා කියල කිව්වා. ඒක මට සම්මානෙකට වඩා වටිනවා.


ඔබ ගොඩක් උස රංගන ශිල්පිනියක්. උස නිසාම රංගනයට ලැබෙන අවස්ථා මඟහැරෙනව ඇති?


ඇත්තටම ඒක නම් වෙනවා. මං අඩි 5යි අඟල් 9ක් උසයි. මගේ උසට සරිලන කිහිප දෙනයි මේ ක්ෂේත්‍රයේ ඉන්නෙ. සමහර නිර්මාණවල ලොකේෂන් එකට ගියහම නළුව කොටයි. එහෙම අවස්ථාත් තිබිල තියෙනවා.


ලංකාවේ ආශ්වර්යා කිව්වම රූපෙ ගැන කතා කරන්න දෙයක් නෑනෙ. ආදරණීය ඇරයුම්වලින් අඩුවක් නැතුව ඇති?


ආදරය ගැන අත්දැකීම් කිහිපයක්ම තියෙනවා. මං එයාල නිසා ගොඩක් අවස්ථා මඟහැර ගත්තා. ඒත් එයාල, මගෙන් බැබළෙන්න උත්සාහ කළා මිසක් මගේ හිත සැනසෙන්න හිත සතුටු වෙන්න කිසිදෙයක් කළේ නෑ. මට හමු වුණේම ඒ වගේ අය. ඒ නිසා දැන් මම ෂේප් එකේ ඉන්නවා. වෘත්තිය පැත්තෙන් සාර්ථක වුණොත් ඊට පස්සෙ මං ඒ ගැන හිතනවා. ක්ෂේත්‍රයේ අයත් එක්ක සම්බන්ධකම් තිබිලත් නෑ. කවදවත් පවත්වන්නෙත් නෑ. ආදරේ කියන්නෙ හරි පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. මට ආදරේ සියයට සීයක් ඕන කෙනෙක්. ඒ වගේම ආදරේ දෙන කෙනෙක්. කවදහරි එහෙම කෙනෙක් හමුවුණොත් ඒ ගැන හිතනවා. විවාහයෙන් පස්සෙ අනිවාර්යයෙන්ම මම ෆැමිලි ලයිෆ් එකට මුල්තැන දෙනවා.



Previous Post Next Post