කොච්චර වැඩ තිබුණත් අවුරුදු චාරිත්‍ර ඒ විදියටම කරනවා-මංජුලා කුමාරි




පුංචි තිරයේ අහිංසකාවිය වූ ඇයව හැමෝම හැඳින්වූයේ ඕලු නමිනුයි. කොණ්ඩ කරලක් ගොතලා, මල් මල් චීත්ත ගවුමක් ඇන්ද ඕලුගේ රුව රසිකයන්ගේ සිත් තුළ නොමැකෙන තැනක අඳින්නට තරම් ඇය දක්ෂ වූයේ කෙලෙසද යන්න ඉතාමත් පුදුම සහගතය. ඒ තරමටම රසිකයන් ඇයත් සමඟ අදටත් බැඳිලා.


කොහොමද මේ දවස්වල ජීවිතේ…


ගොඩක් සතුටින් කාලය ගත කරනවා. පුංචි දරුවන් සමඟ ගෙවෙන ජීවිතය හරිම නිදහස් වගේම හරිම සුන්දරයි. ඒ නිසා සීමිතව කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා. මම වැඩි අවධානයක් පවුල් ජීවිතයට යොමු කරමින් කාලය ගත කරනවා.


ළඟ එන අලුත් අවුරුද්දට දැන් ලහි ලහියේ සූදානම් වෙනවා ඇති නේද


ඔව්… ඔව්… මේ දිනවල කාර්යබහුල වෙලා තියෙන්නේ උදාවෙන අලුත් අවුරුද්දට සූදානම් වෙන්නයි. අලුත් ඇඳුම් ගන්නයි, ගෙවල් අස්කරන්න වගේ වැඩ ගොඩක් එක්ක මේ දිනවල මං ඒ වැඩ වැඩවල හිරවෙලා ඉන්නේ.


අවුරුදු චාරිත්‍ර ඔබ දෙපාරක් කරනවා කියලා ආරංචියි. ඒ කතාව මොකක්ද?


ඇතැම් වසරවල සජීවීව අවුරුදු සැමරීමට විවිධ රූපවාහිනි නාලිකා වලින් ආරාධනා කරනවා. ඒවට සහභාගි වෙලා මං කඩිමුඩියේ ගෙදර දුවන්නේ ගෙදර අලුත් අවුරුද්ද සමරන්නයි. මගේ දරුවෝ දෙන්න තාම පොඩියි. එයාලා අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ගැන දැනගන්න අවශ්‍යයි. ඒ වගේම ඒ චාරිත්‍ර වාරිත්‍රවලට දරුවන් සහභාගි වී ඉටුකරන විට ඒවා ඔවුන්ට වැඩිහිටියන් වූ පසුත් අමතක වෙන්නේ නැහැ. නැත්නම් කාලාන්තරයක් පුරා රැගෙනා අපේ සංස්කෘතික අංග අපේ දරුවන්ට මඟ හැරෙනවා. දෙමවුපියන් චාරිත්‍ර වාරිත්‍ර අකුරට පිළිපැද්දොත් විතරයි දරුවනුත් ඒවට යොමු වෙන්නේ. ඒ නිසා දරුවෝ වෙනුවෙන් මං කොතරම් කාර්යබහුල වෙලා හිටියත් වෙහෙස මහන්සිය අමතක කරලා චාරිත්‍ර වාරිත්‍ර කරනවා.


ඕලු නිසා තවමත් ඔබ ප්‍රේක්ෂක ආදරය ලබනවා නේද?


ඇත්තටම ඔව්. ගොඩක් අය මට කතා කරන්නේ ඕලු කියලා. මට මංජුලා කිව්වත් ඕලු කිව්වත් මම ඒ අයට ආදරෙයි. ප්‍රේක්ෂක ආදරේ දීර්ඝ කාලීනව ලබන්න දක්ෂතාවය කැපවීම වගේම වාසනාව තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඒ අතින් මං ගොඩක් වාසනාවන්තයි.


වර්තමාන රංගන තරු අද බැබළුනොත් හෙට බිමට කඩන් වැටෙනවා. එවැනි ප්‍රවණතාවයක් ගොඩනැඟී තිබෙන්නේ ඇයි?


වර්තමාන රංගන ශිල්පීන්ට පොඩි චරිතයක් ලැබුණම මම නළුවා හෝ නිළිය කියල ඔලුව උදුම්වාගන්නවා. ඔවුන් මිනිසුන් සමඟ කතාබහ කරන්නේ වගේම හිනාවෙන්නෙත් හරිම කරදරකාරී ස්වභාවයක් පෙන්වමින්. මං හිතනවා රංගන ශිල්පීන් ජනප්‍රිය වෙනකොට නිහතමානි විය යුතුයි කියලා. රංගන ශිල්පීන් වීමේ ගෞරවාන්විත බව අප සෑම විටම පවත්වාගත යුතුයි. ආරාධනා කරන සෑම නිර්මාණයකටම තෝරා බේරා ගැනීමකින් තොරව දායක වූ විට එම පුද්ගලයන්ගේ වටිනාකම අඩුවෙනවා. රංගන ශිල්පීන්ට ස්වයං වාරණයක් නොමැතිවූ විට ඔවුන්ගේ පැවැත්ම සීමා වෙනවා. ඔවුන් කාලෙකදී ප්‍රසිද්ධ වුණත් ජනප්‍රිය වීමට නොහැකි ඒ නිසයි. අපි හරියාකාරව එක් චරිතයක් රඟපෑවත් මිනිසුන්ගේ මතකයේ රැඳෙනවා. නමුත් නිර්මාණාත්මක ගුණය අඩු නිර්මාණ බොහොමයකට දායක වුණත් ඒ මොහොතේ ප්‍රසිද්ධියක් හිමිවෙනවා විනා ජනප්‍රියත්වයක් ලැබෙන්නේ නැහැ. ජනප්‍රියත්වය ලබන්න හැකියාව, දක්ෂතාවය, කැපවීම වගේම වාසනාවත් එකසේම තිබිය යුතුයි.


ඔබට තවමත් නිර්මාණවලට ආරාධනා ලැබෙනවද?


ඔව්. මම මේ වෙනකොටත් එක් නිර්මාණයකට දායක වී සිටිනවා. එහි රූපගත කිරීම් දිනපතාම නොමැති නිසා එයට සම්බන්ධ වීම මට ගැටළුවක් නැහැ. නමුත් දීර්ඝ කාලීන ටෙලිනාට්‍යවලට ලැබෙන ආරාධනා මං බැහැර කරනවා. දරුවන්ගේ හා පවුලේ වැඩ අතපසු කරගෙන මම කලා නිර්මාණවලට සම්බන්ධ වෙන්නෙ නැහැ.


රංගන ශිල්පීන්ට පවුල හා කලාව සමබර කරගන්න අපහසුයි කියාද ඔබ ව්‍යංගයෙන් කියන්නේ…


මම ඒ තත්ත්වය බොහොමයක් දෙනා තුළින් දකිනවා. අපේ දරුවන්ව පිටස්තර පුද්ගලයෙකු රැකබලා ගන්නාවිට ඔවුන්ගේ ගතිගුණ, චර්යාවන්, පුරුදු දරුවන්ට හුරු වෙනවා. නමුත් දරුවන් මව හා පියා සමඟ ගැටෙන විට ඔවුන් ගොඩනැඟෙන්නේ මවුපියන්ගේ ගතිගුණත් සමඟයි. වර්තමානයේ ජනප්‍රිය රැල්ලේ දුවන විට බොහොමයක් රංගන ශිල්පීන්ට තම දරුවන්ව මඟහැරෙනවා. ඒ වගේම පවුල තුළ ඇති පෞද්ගලිකත්වය සමාජයට වැඩි වශයෙන් නිරාවරණය වීමත් ලොකු ගැටලුවක්. වර්තමාන ආර්ථික තත්ත්වය මත විවාහයෙන් පසු රංගන ශිල්පිනියන්ට කලාවෙන් ඈත් විය යුතුයි කියා මම කියන්නේ නැහැ. නමුත් කලා කටයුතු සමඟ පවුල් ජීවිතය සමබර කරගන්න හරිම අපහසුයි.


සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන් සමඟ ඔබ දැන් කිසිදු සබඳතාවයක් පවත්වන්නේ නැද්ද?


මට විටින් විට සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන් මුණගැසෙනවා. විශේෂයෙන් රිදී රැයක් හා විවිධ නාලිකාවල උත්සවවලදී මගේ හිතවත් රංගන ශිල්පීන් මුණගැසෙනවා. ඔවුන් සමඟ පෙර පැවති හිතවත්කම් මිතුදම තවමත් එලෙසින්ම පවතිනවා. ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පීන්ට අප දක්වන ගෞරවය තාමත් එලෙසමයි. නමුත් වර්තමානයේ බොහෝ විට එකී ප්‍රවීණත්වයට ගරු කිරීම අපට දකින්න ලැබෙන්නේ නැහැ..


පවුලේ විස්තර කොහොමද


මගේ පුංචි පවුලේ ඉන්නේ මායි සැමියයි දරු දෙන්නයි. මගේ පුතා ඔලින සංතුල්. මගේ දුව බිනෝලි එහන්සා. ඔවුන් වගේම මගේ අම්මව හා ආච්චි අම්මව ආදරයෙන් මතක් කරන්න මං මෙය වෙලාවක් කරගන්නවා.


විශ්මි ප්‍රනාන්දු





Previous Post Next Post