අගෝස්තුවේදී මම ලංකාවෙන් යන්නම යනවා - ශලනි තාරකා



ශලනි පහුගිය කාලයෙ ලංකාවෙ හිටියේ නැහැ නේද? 


ඔව්.. මම පහුගිය කාලයෙ කැනඩාවේ හිටියෙ. නිහත ඉන්නෙ කැනඩාවෙ. ඉතින් එයාව බලන්න ගිහින් මම ළඟදි තමා ආයෙත් ලංකාවට ආවෙ. 


 නිහත එක්ක ගත කරන අලුත් ජීවිතේ කොහොමද?


අලුත් ජීවිතේ ගොඩක් හොඳයි. සතුටින් ඉන්නවා. මම බොහෝ වෙලාවට ආයෙත් අගෝස්තු මාසේ කැනඩාවට යන්න බලාපොරොත්තු වෙනවා.


 පහුගිය කාලයෙ ලංකාවේ හිටපු නැති නිසාත්, ආයෙත් ලංකාවෙන් යන නිසාත් ශලනි මේ දවස්වල කාර්යබහුල වෙලා ඇති?


ඔව්.. බාරගත්ත වැඩ කිහිපයක්ම තියෙනවා. මේ දවස්වල ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන සඳුන් බණ්ඩාර නිෂ්පාදනය කරන "see you” ටෙලිනාට්‍යයේ රෑගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒකෙ මම නිළියකගේ චරිතයක් තමයි රඟපාන්නෙ. නෙතුමලී කියන වත්තක හිටපු කෙල්ල නිළියක් වුණාට පස්සෙ නේහා  විදිහට නම වෙනස් කර ගන්නවා. ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ දවස්වල "see you” ටෙලිනාට්‍යයේ හතරවැනි අදියර රෑගත කිරීම් කරනවා. ඒ ටෙලිනාට්‍ය ගැන අපි මුලින්ම කතා කළේ 2022 අවුරුද්දෙ. නේහාගේ චරිතය ඔළුව උදුම්මවා ගත්ත නිළියක් කියලා කවුරු හරි හිතයි. නමුත් කතාව බලද්දි නේහාගෙ සැබෑ චරිතය වටහා ගන්න පුළුවන් වේවි. පොතේ කවරෙන් කෙනෙක්ව බලන්න එපා. ඇතුළාන්තය ගොඩක් වෙනස්. ඒක ලොකු කොටස් ගණනක් ඇදගෙන යන ටෙලිනාට්‍යයක් නෙවෙයි. ඊට අමතරව සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කළ රුවන් චින්තක රණවීර නිෂ්පාදනය කළ "තත්පරයක් දෙන්න" ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වුණා. ඒකෙ රෑගත කිරීම් පහුගිය කාලෙදි අවසන් කළා. ඊට අමතරව චිත්‍රපට තුනකට විතර ආරාධනා ලැබිලා තියෙනවා. 


කැනඩාවෙ ගමන කොහොමද?


ඒ ගමන ටිකක් අමාරුයි. කැනඩාවෙ මම මාස එකහමාරක් විතර හිටියා. පැය ගණනාවක් එකදිගට ෆ්ලයිට් එකේ යන එක මට එපා වුණා. කැනඩාවට මම ගියේ සීත කාලයෙදි. ඒ නිසා සීතලත් එක්ක මුලින් මට ඒ දේශගුණයට හුරු වෙන්න ටිකක් අමාරු වුණා. හැබැයි ටිකෙන් ටික ඒ දේශගුණයට හුරුවීමත් එක්ක ඒ ගමනට මට ආසා හිතුණා. නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් එහි තිබුණා. අනිත් අයගේ දේවල් හොයන්නෙ නැතුව තමන්ගේ පාඩුවේ ජීවත්වෙන වටපිටාවක් එහෙ තියෙන්නෙ. ඒ නිසා මම ඒකට හරි කැමතියි. 


ශලනිගෙ රසික රසිකාවියන්, ශලනිට ආදරේ කරන අය කැනඩාවේ හිටියද?


ඔව් හිටියා. ලංකාවෙන් කැනඩාවට ගිහින් පදිංචිවෙලා හිටපු පවුල් ගොඩක් හිටියා. අපි ගිය සාදයකදීත් ඒ අයව මට මුණගැහුණා. ඒ වගේම මඟතොටේදි ලංකාවෙ අය මාව හඳුනාගෙන මාත් එක්ක කතා කළා. හැබැයි ඉතින් ලංකාවෙ වගේ නෙවෙයි. ඒ රටේදි නිදහසේ මට නිහතත් එක්ක ඇවිදින්න පුළුවන් වුණා. මාස එකහමාරකටත් වැඩි කාලයක් අපි හරිම සතුටින් කැනඩාවෙ හිටියා. 


 නිහතත් පවුලේ අයත් ඔයාව හරිම ආදරෙන් පිළිගත්තා නේද?


ඔව්.. එයාලා මට හරි ආදරෙයි. මාව ගුවන් තොටුපොළෙන් ගන්න නිහතගේ පවුලේ අයත් එයා එක්ක ඇවිත් හිටියා. මාව හරිම ආදරෙන් පිළිගත්තා. ඒ මාස එකහමාර පුරාවටම ලංකාව දාලා ආපු පාළුව මට නොදැනෙන්න, මාව සතුටින් තියන්න නිහත වගේම ඒ දෙමව්පියන් ඇතුළු හැමෝම උත්සාහ කළා. ලංකාවේ හැමදේම අත ඇරලා කැනඩාවට ගියාට පස්සේ මට දුක හිතෙයි කියලා හිතලා ඒක නැති කරන්න හැමවෙලේම ඒ අය උත්සාහ කළා. 


 ශලනි... බාරගත්ත චිත්‍රපට ඇතුළු  නිර්මාණ අතරමඟ දාලා කැනඩාවට ඉක්මනින් යාවිද?


නැහැ... චිත්‍රපට කොහොමටත් දින කිහිපයකින් එකදිගට රෑගත කිරීම් කරලා අවසන් වෙනවා. ටෙලිනාට්‍ය වුණත් දීර්ඝ ටෙලිනාට්‍ය මම බාරගත්තෙ නැහැ. 


මේ බාරගත්ත නිර්මාණ මම ඉවර කරගෙන යනවා. ඒ අතරේ හොඳම නිර්මාණයක් හැරෙන්න හැමදේම බාරගන්න බැරි වේවි. 


ඔබ ජීවිතේ සතුටින්ම ගත කරපු කාලය කොයි කාලයද?


මම ජීවිතේ හැමදාම සතුටින් හිටියේ. මගේ ජීවිතේ වැඩ කරන කාලෙදි මම පීඩනයක් ඔළුවට දාගත්තෙ නැහැ. නිවාඩුවක් නැතුව හැමදාකම වැඩ කරපු කාලයක් තිබුණා. හැබැයි ඊට වඩා නිදහසේ මම දැන් ජීවත් වෙනවා. උදේ පාන්දර ඉඳන් රූ නින්දක් නැති කාලයක් මට තිබුණා. මට මගේ ගැන හිතන්න වෙලාවක් නැති කාලයක් මම පහු කළා. ඒක හරියට මැෂිමක් වගෙයි. නමුත් දැන් මම තෝරා බේරාගෙන හරි නිදහසේ වැඩ ටික කරගෙන ඉන්නවා. මම හැමදාම සතුටින් හිටියා. දැන් ඒ සතුට වැඩියි. මට මානසික නිදහස දෙන සැමියෙක් ඉන්නවා. ඒක තමයි මට තියෙන ලොකුම සතුට. යාළුවෙලා ඉන්න කාලෙදිත් මට ඒ සතුට එයා දුන්නා. 


නිහත කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. කලා ක්ෂේත්‍රය ගැන ඔහුගේ තියෙන අවබෝධය කොහොමද?


මම එයාව ආශ්‍රය කරන්න පටන් ගත්තෙ 2020 අවුරුද්දෙ ඉඳන්. එදා ඉඳන් කවදාවත් එයා කිසිම දෙයක් ගැන ප්‍රශ්න කරපු කෙනෙක් නෙවෙයි. ඕනෑවට වඩා එල්ලි එල්ලි කිසිම දෙයක් ගැන එයා මගෙන් ඇහුවෙ නැහැ. එයා මේ ක්ෂේත්‍රය කොයි වගේද, මේ ක්ෂේත්‍රයේ මිනිසුන් එක්ක මම ගනුදෙනු කරන්නේ කොහොමද කියන දේ ගැන තේරුම් අරගෙනයි හිටියේ. අදටත් එහෙමයි. එයා කවදාවත් මාව සැක කළේ නෑ. අපි දෙන්නා රටවල් දෙකක හිටියත් අපි හැම වෙලේම කතාබහ කළා. මම කොහේ ගියත් කාත් එක්ක ගියත් ඒ හැමදේම නිහත දන්නවා. මම හැමදේම එයාට කිව්වා. මිනිස්සු දකින්නෙ අපේ ෆොටෝ එකක් විතරයි, වීඩියෝ එකක් විතරයි. හැබැයි ඒ වීඩියෝ, ෆොටෝ අස්සේ මම එයා එක්ක කතා කරන දේවල් අනිත් අය දන්නෙ නැහැ. ඒ නිසා නිහත මේ කිසිම දෙයක් කවදාවත් ප්‍රශ්නයක් කරගෙන නැහැ. අපිට අපි ගැන හොඳ අවබෝධයක් තියෙනවා. කොහොමටත් මම හැම පාටියකටම, හැමදේටම යන කෙනෙක් නෙවෙයි. මට සීමිත යාළුවෝ පිරිසක් විතරයි ඉන්නෙ. ඒක නිහතත් දන්නවා. ඉතින් කවදාවත් නිහත මගේ ක්ෂේත්‍රය ප්‍රශ්නයක් කරගෙන නැහැ. 


ශලනිගේ අතින් ලස්සන කවි ලියැවුණා. දැන් ඒක මග ඇරිලද?


අපේ වෙඩින් එකට මම ලියපු සින්දුවක් කළා. ඊට පස්සේ මට සින්දුවක් ලියන්න බැරි වුණා. මේ වෙනකම් මම ලියපු කවි එකතු කරගෙන ඉන්නවා. මම පොතක් ලියන්න පටන් ගත්තා. ඒකත් වැඩත් එක්ක නතර වුණා. ඉදිරියේදි මම කැනඩාවෙදි හරි ඒ වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්න බලාපොරොත්තු වෙනවා. රංගනයට විවේකයක් තියද්දි ලේඛන කලාවට ආරම්භයක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. 


 ඔබ ළඟදිම නිහත එක්ක කැනඩාවෙ පදිංචියට යාවිද?


ඔව්... බොහෝ දුරට අගෝස්තු මාසෙදි මම කැනඩාවට පදිංචියටම යාවි. දැන් මගේ ජීවිතේ වෙන කඩඉමක් මම පටන් අරගෙන තියෙනවා. මට අපේ අනාගතේ වෙනුවෙන් ඒ තීරණය ගන්න වේවි. ඉදිරියේදි හොඳම කියන නිර්මාණයක් ලැබුණොත් මම කරාවි. මෙච්චර කල් මම මගේ ක්ෂේත්‍රය වෙනුවෙන් බොහෝ කැප කිරීම් කළා. නිර්මාණයක් බලන තරමට නිර්මාණයක් කරන්න ලෙහෙසි නැහැ. ඒ නිසා මගේ ජීවිතේ අමාරුම කාලයක් ගෙවලා ඉවරයි කියලයි මට හිතෙන්නෙ. 


 දිශානි





Previous Post Next Post