ගායකයො කියන්නෙ වෙනම ජීවීන් කොටසක් නෙවෙයි -මනේජ් සංජය




ඔහු ලාංකික ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොමඳව දිනාගත් යුගයේ ආදරණීයම ගායකයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටිනා ගායන ශිල්පියෙකි. නොපසුබට උත්සාහයෙන් තම හැකියාවෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින් ප්‍රසංග වේදිකාව තුළ තම අනන්‍යතාව තහවුරු කළ ඔහු තමන්ට හැකියාව ඇති සෑම අවස්ථාවකම රසිකයන් වෙනුවෙන් ඇපකැප වෙන ගායන ශිල්පියෙකි. අද හදගැස්ම එක්වන්නේ ප්‍රවීණ ගායක මනේජ් සංජය.


 මේ දවස්වල ගෙවී යන්නේ කොහොමද?


මේ දවස්වල අලුත් නිර්මාණ කිහිපයකම වැඩ කටයුතු සිදු කරගෙන යනවා. මගේ අලුත් නිර්මාණ කිහිපයක්ම ඉක්මනින්ම ආදරණීය රසිකයන් වෙත නිකුත් කිරීමට සිතාගෙන ඉන්නවා. ලංකාවේ වගේම විදේශ රටවල් කිහිපයක සංගීත ප්‍රසංගවලට සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ විධියට කාර්යබහුලව ජීවිතය ගෙවී යනවා.


මනේජ් සංජයට ප්‍රසංග වේදිකාවට එන්න හිතුණේ කොහොමද?


මට කුඩා කාලයේ පටන්ම ගීත ගායනා කිරීමේ හැකියාවක් තිබුණා. ඉතින් ඒ සංගීතමය හැකියාව මට බලපෑවා. මම කුඩා කාලයේ ඉගෙන ගන්න ලොකු උනන්දුවක් දැක්වූවා. මට කුඩා අවධියේ ආසාව තිබුණේ වෛද්‍යවරයෙක් වෙන්න. මම අ.පො.ස. (සා.පෙළ) ඒ සාමාර්ථ 7ක් අරගෙන සමත් වුණා. නමුත් මට අ.පො.ස. (උ.පෙළ) හරියට කරන්න බැරි වෙනවා. මේ නිසා මගේ අධ්‍යාපනය කඩාගෙන වැටුණා.  අපේ පවුලට එතරම් හොඳ ආර්ථික මට්ටමක් තිබුණෙත් නැහැ. ඉතින් ඊට පසුව තමයි මම හික්කඩුව ෂයිනි සංගීත කණ්ඩායමට බැඳිලා මගේ සංගීත ගමන ආරම්භ කරන්නේ. පසුව හිරු ස්ටාර් තරගයට මම සහභාගි වුණා. එතැනින් තමයි මම බොහෝ දෙනා හඳුනන ගායකයෙක් බවට පත්වන්නේ.


ඔබ සමාජ මාධ්‍ය තුළ රොෂාන් ප්‍රනාන්දු ඔබට කුඩා කාලයේදී ප්‍රසංග වේදිකාවක ගායනා කිරීමට අවස්ථාව දුන් බව කිව්වා මොකක්ද මේ කතාව?


ඒ කාලේ මම ගායන තරගවලට එහෙම ඉදිරිපත් වෙනවා. මම ඒ දවස්වල හර්ෂණ දිසානායකගෙ ගීත එහෙම ගායනා කරනවා. දවසක් ගමේ සංගීත සංදර්ශනයක් තිබුණා. එදා මම ඉරෙන් හඳෙන් ගීතය තමයි ගායනා කළේ. එහිදී රොෂාන් අයියා මට එක ගීයක් ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නා. එතකොට මට අවුරුදු 10යි. මම ඒ ගීතය ගායනා කරලා වේදිකාවෙන් බැහැලා ගියා. මම බැහැලා ගියාට පසුව රොෂාන් අයියා මට වේදිකාවට කතා කළා. රොෂාන් අයියා එදා කිව්වා මේ දරුවා කවදාහරි දවසක හොඳ ගායකයෙක් වෙයි කියලා. රොෂාන් අයියා එදාම කිව්වා අපිත් කවදහරි දවසක අපේ සපෝට් එකත් මේ දරුවට දෙනවා කියලා. එදා රොෂාන් අයියා ලියුම් කවරයක දාලා සල්ලිත් දුන්නා. ඒක තමයි මට ජීවිතයේ ලැබුණු පළමු පන්නරය. ඒ පන්නරය මගේ සංගීත ගමන ආරම්භ කරන්න විශාල දිරියක් වුණා. ඒක මට සදාකල් අමරණීය මතකයක්.


ඔබ ඉතා කුඩා තැනකින් පටන් අරගෙන විශාල ගමනක් පැමිණි ගායකයෙක් තරුණ පරපුරට මොකක්ද කියන්න තිබෙන්නේ?


අපි දෙයක් ලබාගන්න විශාල කැප කිරීමක් කරනවා. හැම ක්‍ෂේත්‍රයකම අපට මේ දෙය දකින්න පුළුවන්. මම මගේ ජීවිතය තුළ අටපාරක් වැටුණු කෙනෙක්. ඒ හැම පාරම අත්ඇරියා නම් මට මේ තත්ත්වයට එන්න ලැබෙන්නේ නැහැ. මම හිරු ස්ටාර් තරගාවලියේ පළමුවැනියා නොවෙයි හත්වැනියා. හිරු ස්ටාර් තරගයේ  හත්වැනි ස්ථානය ලබා ගත්තට පසුවත් මම මගේ ගේම අත්හැරියේ නැහැ.  අපි අපේ ගේම ගහගෙන දිගටම යන්න ඕනෑ. ජයග්‍රහණයේ හිණි පෙත්තටම ආපු ගොඩක් අය ප්‍රසංග ටික බන්දේසියක දාලා ගෙනත් දෙනකල් බලාගෙන ඉන්නවා. අපි තව නිර්මාණ කරන්න ඕන.  ඒ වගේම නිරන්තරයෙන් අප්ඩේට් වෙන්න ඕන.  වැදගත්ම දෙය තමයි අපි පොළොවෙ පය ගහලා ඉන්න ඕන. ගායකයෝ කියන්නේ වෙනම ජීවීන් කොට්ඨාසයක් නොවෙයි. මම කවදාවත් ඒ විධියට හිතන්නෙත් නැහැ.


මට කවුරු හරි කිව්වොත් මෙතන ගායනා කරන්න කියලා මම ගායනා කරනවා. මම ලංකාවේ දැවැන්තම ප්‍රසංග වේදිකාවන්වල ගායනා කරලා තිබෙනවා. ජනප්‍රියත්වය කියන්නේ හරි තාවකාලික දෙයක්. ඒක නැති වෙනවා. ඒ නැති වෙන දවසට මට හොඳ මතකයන් ටිකක් ඉතිරි වෙලා තිබෙනවා. ඒ ටික මට හොඳටම ඇති.


හික්කඩුව ෂයිනි සංගීත කණ්ඩායමේ මතකය අවදි කරමු?


ජනක දීප්ත අයියා තමයි මාව ෂයිනි සංගීත කණ්ඩායමට අරගෙන ආවේ. ජනක අයියට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන.  මම අවුරුදු අටක් හික්කඩුව ෂයිනි සංගීත කණ්ඩායමේ සේවය කළා. එහෙම තමයි මම මේ වැඩ සමඟ සම්බන්ධ වුණේ.


සමාජ මාධ්‍යවල බලපෑම පිළිබඳව ඔබේ අදහස?


ඉස්සර ගොඩක් දක්ෂතා තිබුණු මිනිස්සු ඔහේ මිලින වෙලා යන්න ඇති. ඒත් අද දක්ෂතා තිබෙන ඕනෑම කෙනෙක්ට සමාජ මාධ්‍ය හරහා උඩට එන්න අවස්ථාව උදා වෙලා. දැන් එහෙම ජනප්‍රිය වුණ විශාල පිරිසක් සිටිනවා. අනිත් දෙය තමයි මේ දෙය ක්ෂේත්‍රයේ හොඳ තරගයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒක තාක්ෂණයේ තිබෙන  හොඳ දෙයක්. මේ දෙය නිවැරදිව භාවිත කරන්න ඕන.


ඔබට මේ ක්ෂේත්‍රයට පැමිණීමට උපකාර කළ පිරිස සිහිපත් කරනවා නම්?


මුලින්ම ජනක දීප්ත අයියව මතක් කරන්න ඕන. ඒ වගේම හිරු ස්ටාර් වේදිකාවත් මතක් කරන්න ඕන. හිරු ස්ටාර් හරහා මට විශාල ජනතා ආදරයක් ගොඩනැඟුණා.


හිරු ස්ටාර් වේදිකාව ගැන සිහිපත් කරමු?


හිරු ස්ටාර්වලත් මට මුණගැසුණු රවී සර්වත් ආදරයෙන් මතක් කරන්න ඕන. මට අදටත් සෑහෙන්න උපදෙස් දීලා, මාව නිවැරදි මාර්ගයේ යවන්න ඔහු විශාල කැපකිරීමක් කරනවා. රවී සර්ව මතක් වෙද්දි හිරු ස්ටාර්වලදී සිදුවුණ අපූරු සිදුවීමක් මට මතක් වුණා. හිරු ස්ටාර්වල විනය නීති හරිම තදයි. අට කිව්වොත් අටම තමයි. ආයි අටයි එක වෙන්න බැහැ. ඉතින් ඒ කාලේ ෂයිනි සංගීත කණ්ඩායමේ වැඩ කරන ගමන් තමයි මම හිරු ස්ටාර්වලට සහභාගි වුණේ. සෙනසුරාදා, ඉරිදා අපි අනිවාර්යයෙන් අත්දැකීම් ලබාගන්න වේදිකාවේ ඉන්න ඕන. සෙනසුරාදා, ඉරිදා තමයි අපිට ඉඩධඹඵ තිබෙන්නේ. මම කරන්නේ උදේ 7ට ඇවිත් අස්සන් කරලා එළියට පනිනවා. අපේ පළමුවැනියා වුණ උදාර මල්ලි තමයි බෑග් එක ගෙනත් දෙන්නේ.


ඔහොම මාසයක් විතර කළා. ඔහොම පැනල ගිය දවසක රවී සර්ට අතටම අහු වුණා. රවී සර් කිව්වා ආයෙත් එන්න එපා තරගයේ නීති රීති කියලා දෙයක් තිබෙනවා කියලා. කොහොම හරි මම වැඳලා වැඳලා බැගෑපත් වෙලා ආයෙ තරගයට ගියා. මම මුලින්ම කිව්වේ රුක්මන් අසිත අයියගෙ සින්දුවක්. අදටත් මම රවී සර්ට කතා කරලා මේ ගැන කියලා, මට ඒ අවස්ථාව දුන්නේ නැත්නම් අද මම මෙතන නැහැ කියලා කියනවා. එයා නැත්නම් මම අද මෙතැන නැහැ.


ගිහාන් සචින්ත




Previous Post Next Post