පොඩ්ඩිට ලැබෙයි කියලා හිතුවට සම්මානෙ ලැබුණෙ චුංකිට?

 



පානාමංකඩ ටෙලි නාට්‍යයේ පොඩ්ඩිගේ චරිතයෙන් සහ මැස්සා ටෙලි නාට්‍යයේ චුංකීගේ චරිතයෙන් ප්‍රේක්ෂක ආදරය හිමිකරගත් මේ ළමා රංගන ශිල්පිනිය නමින් තෙනුජි විනාරා කරුණාරත්න. කුඩා කල පටන්ම රංගනයට කැමැත්තක් දැක්වූ ඇය පසුගිය සුමති සම්මාන උළෙලේ හොඳම ළමා තාරකාවියට හිමි සම්මානය මෙන්ම රයිගම්, සිග්නීස් වැනි කලාකරුවන් අගයන ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙලවලදී සම්මාන හිමිකරගත් තෙනුජි මෙවර අදහස් එක්කළේ මෙලෙසින්. 


දුවගේ විස්තර ටිකක් කියන්නකො?


මගේ නම තෙනුජි විනාරා කරුණාරත්න. මට දැන් වයස අවුරුදු ‍ෙදාළහයි. මගේ ගම ගල්ගමුව ඇහැටුවැව. නමුත් මම දැනට ජීවත් වන්නේ කොල්ලුපිටියේ. මේ වනවිට මම ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. මගේ පවුලේ අම්මත්, තාත්තත්, මල්ලිත්, මමත් ජීවත් වෙනවා.


දුව මුලින්ම රංගනයෙන් දායක වූ නිර්මාණය ගැන කතා කළොත්?


මම ටෙලි නාට්‍ය වගේම වෙළෙඳ දැන්වීම් රැසකටම රංගනයෙන් දායක වුණත්, පානාමංකඩ ටෙලි නාට්‍යයේදී තමයි ප්‍රධාන චරිතයක් මුල්වරට රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ.


පසුගිය සුමති සම්මාන උළෙලේදී හොඳම ළමා තාරකාවියට හිමි සම්මානය තෙනුජිට හිමිවුණා. ඉතින් ඒ ගැන මොකද හිතෙන්නේ?


සුමති සම්මාන උළෙලට ආරාධනා ලැබුණට පස්සේ මම හිතුවේ පානාමංකඩ ටෙලි නාට්‍යයේ පොඩ්ඩිගේ චරිතයට සම්මාන ලැබෙයි කියලා. නමුත් මට සම්මානය හිමි වුණේ මැස්සා ටෙලි නාට්‍යයේ චුන්කීගේ චරිතයට. ඇත්තටම මෙය හිතුවේ නැති මොහොතක හිතුවේ නැති විදිහට සිදුවුණු දෙයක්. ඉතින් ඒ නිසා මට ගොඩක් සතුටුයි.


ඔබට ලැබුණු අනෙක් සම්මාන ගැනත් කතා කළොත්?


මට සුමති සම්මානය ලැබෙන්නට පෙර රයිගම් ටෙලි සම්මාන උළෙලේ සහ සින්ගීස් සම්මාන උළෙලේදී සම්මාන දෙකක් හිමිවෙනවා. ඒ පානාමංකඩ ටෙලි නාට්‍යයේ පොඩ්ඩිගේ චරිතයට.


ඉතින් කොහොමද ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?


පානාමංකඩ ටෙලි නාට්‍යයේ පොඩ්ඩිගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර තවමත් ලැබෙනවා. අදටත් මට පොඩ්ඩි කියලා කතා කරන ගොඩක් අය ඉන්නවා. ඒ වගේම මැස්සා ටෙලි නාට්‍යයේ චුන්කීගේ චරිතයෙනුත් මාව බොහෝ අය හ¾දුනාගත්තා. ඒ නාට්‍යයේ මගේ චරිතය චුන්කී වුණාට මට ගොඩක් අය කතා කළේ මැස්සී කියලා. ඉතින් ඒ වගේ මම රඟපාපු සෑම චරිතයකටම ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. මට හිතාගන්න බැරි තරම් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර තවමත් ඒ චරිතවලට ලැබෙනවා. ඔයා හොඳට රඟපානවා. තවත් හොඳට රඟපාන්න කියලා ප්‍රේක්ෂකයන් ළඟට ඇවිත් පවසලා යනවා. ඉතින් ඒ ගැන මට දැනෙන්නේ ඇත්තටම නිහතමානී සතුටක්.


පාසලේ ගුරුවරුන්ගෙන් මිතුරු මිතුරියන්ගෙන් උදවු ලැබෙනවාද?


ඇත්තටම මම මේ වනවිට පාසල් තුනක අධ්‍යාපන කටයුතු කළා. ඇහැටුවැව ප්‍රාථමික විද්‍යාලය, යක්කල ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය සහ මම දැනට අධ්‍යාපනය හදාරන ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය යන මේ පාසල් තුනෙන්ම ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා. මේ බාහිර වැඩකටයුතු නිසා මට ඇතැම් වෙලාවට පාසල් යන්න වෙන්නේ නැහැ. ඉතින් මට අතපසුවෙන පාඩම් නැවත කියාදෙන්න මගේ ගුරුවරු කටයුතු කරනවා. ඒ අය මගේ රංගන වැඩකටයුතුවලට ගොඩක් ලොකු සහයෝගයක් ලබා දෙනවා. මම දැනට අධ්‍යාපනය හදාරන පාසලේ විදුහල්පතිතුමිය, ගුරුවරුන්, මිතුරියන් ඇතුළු සියලුම දෙනාම අධ්‍යාපන කටයුතු වගේම රංගන කටයුතු සමබරව කරගෙන යන්න ලොකු සහයෝගයක් දක්වනවා. ඒ හැමෝම මගේ අනාගතයට සුබ පතනවා.


ඒක මට ලොකු ශක්තියක්. මම අහලා තියෙනවා බාහිර වැඩ කටයුතුවලට අවස්ථාව නොදෙන පාසල් තිබෙනවා කියලා. නමුත් මගේ වාසනාවකට මම ගිය පාසල් තුනෙන්ම මට බාහිර වැඩ කටයුතුවලට අවස්ථාව ලැබුණා.


රංගනයට අමතරව තෙනුජි වඩාත් කැමැති මොනවාටද?


මම රංගනයට කලින් පටන් ගත්තේ නර්තනය නිසා මම නර්තනයටත් ගොඩක් කැමැතියි. මේ වෙද්දි නම් රංගනය සහ නර්තනයට අමතරව බොහෝ බාහිර ක්‍රියාකාරකම් කරනවා. මම ඒ දේවල්වලටත් ගොඩක් කැමැතියි.


රංගන කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන උදවු මොනවාද?


මගේ අම්මත්, තාත්තත් නැති නම් මම අද මෙතැන නැහැ. ඒ දෙන්නා තමයි මගේ පිටිපස්සෙන් ඉන්න ලොකුම ශක්තිය. මගේ අම්මයි තාත්තයි තමයි මාව ෂූටින් එක්කන් යන්නේ. ඒ වගේම මාව බලාගන්නේ. එයාලා තමයි මගේ වැරැදි අඩුපාඩු නිතරම කියලා දීලා ඒවා හදාගන්න උදවු කරන්නේ. මගේ මල්ලිත් මේ වෙලාවේ අමතක නොකරම බැහැ. මොකද එයා පුංචි කාලේ මම අම්මයි තාත්තයි එක්ක ෂූටින් ගිහින් එනකල් මගේ මල්ලි අත්තම්මාත් පුංචිත් එක්ක ඉන්නවා. ඉතින් මගේ පවුලම මං වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා.


තෙනුජිට අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?


මට නිර්මාණ කිහිපයකින්ම ආරාධනා ලැබුණා. මම රංගනයෙන් දායක වන සිනමා පටයක් ඉදිරියේදී තිරගත වේවි. මොකද ඒ නිර්මාණයේ වැඩ කටයුතු මේ වනවිට අවසන්.


දුවගේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මගේ කලා කටයුතු දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. විෂය බාහිර වැඩකටයුතුත් එක්ක අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන මගේ අම්මයි තාත්තයි බලාගන්න පුළුවන් මට්ටමේ රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post