මම අඬපු ඇඬිල්ල කිසිම කෙනෙක් දැක්කේ නැහැ-අනුරාධා නන්දසිරි




 මහාචාර්ය සනත් නන්දසිරි ගාන්ධර්වයන් මියගොස් මාර්තු මාසයට වසරක් සපිරෙනවා. මේ ගෙවුණු අවුරුද්ද තුළදි ඔහුගේ වියෝව ඔය හිත් දෙක දරාගත්තේ කොහොමද? 


ඇත්තටම අම්මගෙයි මගෙයි මේ හිත් දෙක හදාගන්න හරිම  අමාරු දෙයක්. අදටත් එහෙමයි. මටවත් අම්මටවත් තාත්තා නැති ලෝකයක් තිබුණේ නැහැ. කවදාවත් තාත්තා නැති ලෝකයක් අපි මවාගත්තෙවත් නැහැ. හැබැයි තාත්තා අසනීප වුණාට පස්සෙත් තාත්තටයි අම්මටයි එතෙක් ලැබෙමින් පැවති විවිධාකාර උත්සවවලට ලැබුණු ආරාධනාවලින් අඩුවක් තිබුණේ නැහැ. ඒ නිසා තාත්තව ගෙදර තියලා ඒ හැම උත්සවයකටම මටයි අම්මටයි සහභාගි වෙන්න සිද්ධ වුණා. ඒ යුතුකම ඔහු වෙනුවෙන් කරන්නට මටයි අම්මටයි සිදුවුණා. තාත්තා අසනීප වුණු මුල් කාලයේදි ඒ උත්සවවලට සහභාගි වෙන්න තාත්තා අකමැති වුණා. ටිකෙන් ටික තාත්තා ඒ දේවල්වලට මාවයි අම්මවයි හුරු කළා. ඒ නිසා  මාස කිහිපයක්ම තාත්තා නැතුව ඒ තැන්වලට යන්න අපි දෙන්නට සිදුවුණා. හැබැයි අපි දෙන්නා එළියට බැහැලා ඒ දේවල්වලට සහභාගි වුණාට තාත්තා වෙනුවෙන් තුන්දෙනෙක් අපේ ගෙදර තියලයි අපි ගියේ. අපේ නෑදෑයෝ, තාත්තාගේ ගෝලයෝ, ඒ වෙනුවෙන් අපිට උදව් කළා. ඒ නිසා කිසිමදාක අපි තාත්තාව තනි කළේ නැහැ. ඉතින් තාත්තා නැතිවුණාට පස්සෙත් ඒ යුතුකම් කරන්නට මටයි අම්මටයි සිද්ධ වුණා. ඒවාට තාත්තා ටිකෙන් ටික අපි දෙන්නා හුරු කළා කියලයි මට හිතෙන්නේ. "මම නැති ලෝකයක ඔයාලට සැරිසරන්න වෙනවා" කියන හැඟීම ඇඳේදි තාත්තාට හිතෙන්න ඇති. වෙනදට ගේ පුරා ඇවිදපු තාත්තා මාස කිහිපයකට කාමරයකට, ඇඳකට සීමා වෙද්දි තාත්තා ගේ ඇතුළේ සැරිසරන  එකත් නැතිව ගියා. එහෙම ගෙවුණු කාලයකදි තමයි තාත්තා මේ හැමදේම දාලා ගියේ. ඒ වෙද්දි ඒ හැමදේටම තාත්තා අපිව පුරුදු කරලයි තිබුණේ. තාත්තා නැති අඩුව කවරදාකවත් අපෙන් නැතිවෙන්නේ නැහැ. ගෙදර බැලූ බැලූ අත තාත්තාගේ පින්තූර තියෙනවා. ඒවායින් තාත්තා අපි දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් දැනෙනවා. හැබැයි තාත්තා ටිකෙන් ටික ඒ දේට මුහුණ දෙන්න මගේ හිත හයිය කළා කියලයි මට අද දැනෙන්නේ. ‍


Q මීට අවුරුද්දකට පමණ පෙර ඔහුගේ වියෝවත් සමඟම ඒ දවස් කිහිපය අනුරාධා දරාගත්තේ කොහොමද? 


ඒක හරි අමාරු දවස් කිහිපයක්. හැබැයි මට වැටෙන්න බැහැ. එහෙම වුණොත් මගේ අම්මා මටත් වඩා වැටෙන බව මම දැනගෙන හිටියා. අම්මා අඬද්දි "අඬන්න එපා හිත හදාගන්න" කියලා කියන්නවත් මම අඬන්නේ නැතුව ඉන්න ඕනෑනෙ. ඒ නිසා මම දැඩි කෙනෙක් බවට පත්වුණා. තාත්තා ගිය අවුරුද්දේ මාර්තු විසි අට වැනිදා නැතිවෙලා විසි නම වැනිදා තාත්තව ගෙදර ගෙනල්ලා ආයෙත් තාත්තාව අප්‍රේල් පළවෙනිදා ගෙදරින් ගෙනිච්ච දවස් අතරතුරේ බොහෝ වාර ගණනක් මම උඩට ගිහින් මගේ කාමරයේ දොර වහගෙන, නාන කාමරයට ගිහින් ෂවර් එක ඇරගෙන, ඇති තරම් අඬල අඬලා, අඬපු නැති ගාණට පහළ ඇවිත් තාත්තාට අවසන් ගෞරවය දක්වන්නට ආපු පිරිස එක්ක   කතාබහ කළා. ඒ දවස් කිහිපය තුළදි මම අඬපු ඇඬිල්ල කිසිම කෙනෙක් දැක්කේ නැහැ. ඒක ජීවිතේ හරි අමාරුම කාලයක් වුණා. 


Q ජීවිතේ මේ ගෙවුණු අවුරුද්ද පුරාවට හැමදාමත් "තාත්තා හිටියා නම්" කියලා හිතෙනවා ඇති. ඒ අතරින් ඔහුව දැඩිව දැනිච්ච දවසක් මතක් කළොත්? 


තාත්තා කරගෙන ආ සංගීත පුහුණු කිරීමේ කටයුතු මම දැන් දිගටම කරනවනෙ. තාත්තා නැතුව පළමු වතාවට 2024 පෙබරවාරි මාසයේ මම පන්තිය ආරම්භ කළා. ඒ දවස මගේ පපුවේ, මගේ ඔළුවේ, මගේ මුළු ශරීරයේම ඒ තරම් බරක් කොහොම උහුලා ගත්තාද කියලා මට හිතාගන්න බැහැ. ඊට පෙර  කවදාවත් තාත්තා නැතුව මම පන්ති පටන් අරගෙන තිබුණේ නැහැ. ඉතින් පළමු පාඩම දරුවන්ට පැහැදිලි කරලා දරුවන්ට උගන්වන්න යද්දි මට උගන්නන්න බැරිවෙලා මට හොඳටම ඇඬුණා. "අනේ තාත්තා හිටියා නම්" කියලා මට ඒ මොහොතේදි හිතුණා. මම රාග ගයද්දි මගේ කටහඬ ඇතුළෙන් තාත්තා ගයනවා වගේ මට දැනුණා. ඒක හිතට පුදුමාකාර විදිහට තාත්තා නැති අඩුව තදින්ම දැනිච්ච දවසක් වුණා. 


Q ඔහු සතුන්ට හරියට ආදරය කළ මිනිසෙක් නේද? 


අනේ ඔව්. තාත්තා සතුන්ට, මිනිසුන්ට පමණක් නෙවෙයි, ඔහු හැමදේටම ආදරය කළා. ප්‍රාණයක් නැති දේවල්වලට පවා ඔහු ආදරය කළා. ඔහු වාහනයටත් ආදරය කළා. ගෙදර පුටුවලට පවා ප්‍රාණයක් තියෙනවා කියලයි ඔහු  හිතුවේ. සමහරක් විට ඒ ගතිගුණේ මට පිහිටලා තියෙනවා ඇති. මම පුංචි කාලේ මට ලස්සන කාමරයක් තිබුණා. මට ලස්සන ඇඳක් තිබුණා. ලස්සන මේසයක් අල්මාරියක් ඇතුළු හරි ලස්සන කාමරයක් තිබුණා. මම ඒ කාලේ අම්මයි තාත්තයි මැද්දේ ඒ අයගේ කාමරේ තමයි නිදාගත්තේ. හැබැයි හැමදාම මම ඒ කාමරේට ගියේ මගේ කාමරයේ ඇඳට, අල්මාරියට, මේසයට, කාමරයට, “ගුඩ් නයිට්" කියනවා. එක වතාවක් මම %ඕපන් යුනිවර්සිටි^ එකේ ඉගෙන ගන්න කාලේ අවුරුද්දකට වතාවක් වීදි සුනඛයන් අල්ලාගෙන යන වාහනයක් ආවා. බොහෝ වෙලාවට ඒ වාහනෙන් වීදි සුනඛයන්ව මැරුවා. දවසක් ඒ වාහනෙන් කැම්පස් එක ගාව හිටපු ලොම් හැලිච්ච, කුෂ්ඨයක් හැදිච්ච බැල්ලියක්ව ගෙනියන්න  හැදුවා. මම ඉක්මනට ඉදිරිපත් වෙලා ඒ බැල්ලිව අරගෙන ගෙදර ගෙනිච්චා. හැබැයි එදා අම්මවත් තාත්තවත් මම ඒ බැල්ලිව ගෙදර ගෙනාවා කියලා බැන්නේ නැහැ. අපි බෙහෙත් කළා.  මම මේ සතාගේ කරට නිකම්ම චේන් එක දාලා අපේ වත්ත පහළට මළපහ කරන්න අරගෙන ගියා. මේක දවසක් දෙකක් තාත්තා දැක්කා. දවසක් එහෙම ගෙනියද්දි තාත්තා ළඟට ඇවිත් "ඔයාලගේ මේ බොරු ආදරේ.... මේ සතාගේ බෙල්ල තව තුවාල වෙනවනේ* කියලා ලස්සන ලෙදර් බෙල්ට් එකක් මගේ අතට දුන්නා. තාත්තා සතුන්ට අසීමිතව ආදරය කළා. හැබැයි ඒ ආදරේ ඇඟේ තියාගෙන පින්තූර අරගෙන තාත්තා පෙන්නුවේ නැහැ. 


Q ඔහු ලෝකයේ දරුවන්ට ඥානය, දැනුම, ආදරය ලබාදුන් ගුරුවරයෙක්. ඔබේ ආදරණීය පියා ගැන දියණියක් විදියට යමක් කිව්වොත්? 


ඔහු ආදරේ පිරිච්චම කෙනෙක්. හැම කෙනාටම එක සේ  ආදරය කළ කෙනෙක්. ඒ  ආදරේ විශේෂ කොට තාත්තා මට පෙන්නුවේ නැහැ. හැබැයි මම එයාට විශේෂම කෙනෙක් කියලා මම දන්නවා. තාත්තා උගන්නද්දි මමත් ඒ අය එක්කම තමයි සංගීතය ඉගෙන ගත්තේ. මට වෙනමම තාත්තා උගන්නලා නැහැ. තාත්තා අසනීප වුණාට පස්සේ එයාව පුංචි දරුවෙක් වගේ මම බලා ගත්තා. තාත්තා ඉතාම ආත්ම අභිමානයෙන් හිටපු කෙනෙක්. තාත්තාට මුලදි අමාරු වුණත් පේන්න එයා අල්ලගෙන ගියේ නැහැ. මම දියණියක්නෙ. නාන කාමරයට තාත්තා මාව අල්ලගෙන ගියත් ඒ දැවැන්ත ශරීරයේ පිටුපස තමයි මට තාත්තා ඉන්න දුන්නේ. මට ඉස්සරහ මුකුත් පේන්න දුන්නේ නැහැ. නමුත් තාත්තා ටික දවසකින් ඇඳට වුණාට පස්සේ ඒ සියලු පිරිසිදු කිරීම්  මම කළා. තාත්තා ඒක හරි ඉවසීමෙන් දරාගෙන හිටියා. එයා අසරණ වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. නමුත් ඒ හැමදේම තාත්තා වචනයකින්වත්  එළියට නොදමා හැමදේම දරා ගත්තා. වචනවලින් නොකීවාට තාත්තාගේ ලෝකය මම කියලා මම දන්නවා. 


I දිශානි ජයමාලි



Previous Post Next Post