සෙල්ලම් නිරිඳු රඟපාන්න ගියේ ඇඳුම් ටික දාලා-නිමල් ජයසිංහ




ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම හඬකැවීම් ශිල්පියෙක් වන ඔහු ළමා වැඩසටහන් තුළින් අතිශය ජනප්‍රියත්වයක් සහ ප්‍රේක්ෂක ආදරයක් හිමිකරගත් අයෙක්. නමින් නිමල් ජයසිංහ වන ඔහු මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන නීල පබලු ටෙලි නාට්‍ය තුළින්ද ඔබ හමුවට එනවා. එම නිසාම අපි අපේ කතාබහට ඔහුව සමීප කරගන්නට අප සිතුවා. 


කොහොමද මේ දවස්වල වැඩකටයුතු?


මේ දවස්වල අවුරුදු නාට්‍ය දෙකකට පමණ සම්බන්ධ වුණා. රූපවාහිනි නාළිකාවල අවුරුදු වැඩසටහන් කිහිපයකටත් සම්බන්ධ වුණා. ඊට අමතරව සුපුරුදු පරිදි කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා.


ඔබේ රංගන දිවියේ ආරම්භය පිළිබඳව කෙටියෙන් මතක් කරමු?


මම රංගන දිවියට අත්පොත් තබන්නේ පාසල තුළදීයි. පාසලේ 9 ශ්‍රේණියේදී මගේ පන්ති භාර ගුරුවරයා විධියට කටයුතු කළේ ශ්‍රියන්ත මෙන්ඩිස් ගුරුතුමා. එතුමාගේ ගුරුහරුකම් මැද පාසල් වේදිකාව තුළ රංගනයට සම්බන්ධ වීමට හැකියාව ලැබුණා. ඉන් පසුව 1991දී හීනටිගල ප්‍රේමදාස මහත්මයාගේ වේදිකා නාට්‍යයක් සඳහා ශිල්පීන් තෝරා ගැනීම සඳහා පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වෙලා ඒ හරහා එම නාට්‍යයට


සම්බන්ධ වුණා. එම නාට්‍යය තුළින් මට එකල ක්‍ෂේත්‍රයේ සිටි දැවැන්ත චරිත සමඟ මුහුවෙලා වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඉන් පසුව හීනටිගල ප්‍රේමදාස මහත්මයා මාව රූපවාහිනි සංස්ථාවේ ශ්‍රීමතී ලියනගේ මහත්මියට හ¾දුන්වා දුන්නා. ඒ හරහා රස කතා, බිත්තර පැංචා වගේ ළමා නාට්‍ය සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඉන් පසුව ටෙලි නාට්‍යවලටත් ආරාධනා ලැබුණා.


ළමා වැඩසටහන්වලට සම්බන්ධ වීම තුළින් ඔබ වටා ළමා රසික රසිකාවියන් බොහෝ පිරිසක් ඇතිවුණා නේද?


ඔව්. ඒ කාලයේ ළමා රසික රසිකාවියන් බොහෝ පිරිසක් මා වටා ඒකරාශි වුණා. එපමණක් නොවෙයි වර්තමානය වන විට එම ළමා පිරිස වැඩිහිටියන් බවට පත්වෙලා ඔවුන්ටත් දරුවන් සිටිනවා. ඔවුන් තමන්ට ලැබුණු ඒ රසවත් වින්දනය පිළිබඳ තවමත් මතක් කරනවා. රස කතා වැඩසටහන හරහා ගොඩනැඟුණු ඒ රසික පිරිස අදටත් මට ආදරය කරනවා. ඔවුන් අද දුක් වෙනවා ඔවුන්ගේ දරුවන්ට එවැනි වැඩසටහන් නැරඹීමට නොහැකි වීම ගැන. එම වැඩසටහන් නැවත විකාශය කරන්න කියලා ඔවුන් ඉල්ලීම් කරනවා. රූපවාහිනි නාළිකාවල පුස්තකාලවල එම වැඩසටහන් තවම තිබෙනවා. ඒවා නැවත විකාශය කරන්න හැකියාව තිබෙනවා නම් එය ඉතාමත් වටින දෙයක් වෙයි.


මේ ක්‍ෂේත්‍රය තුළ හඬකැවීම් ශිල්පියෙක්ට නිසි වටිනාකමක් ලැබෙනවාද?


හඬකැවීම් ශිල්පියෙක් හැටියට මම මුලින්ම ජාතික රූපවාහිනියේ සහ සිරස නාළිකාවේ හඬකැවීම් සඳහා සම්බන්ධ වුණා. ඉන් පසුව එතැන් සිට බොහෝ නාළිකා සමඟ මම දීර්ඝකාලීනව හඬකැවීම් ශිල්පියෙක් ලෙස කටයුතු කර තිබෙනවා. බොහෝ නාළිකාවල අපට කලට වේලාවට ගෙවීම් කටයුතු කරනවා. නමුත් ඇතැම් නාළිකාවල ගෙවීම් කරන්න බොහෝ කල් ගතවෙනවා එහෙමත් නැත්නම් මුදල් ගෙවන්නේම නැහැ. එවැනි තත්ත්වයන්ටත් අපට මුහුණ පාන්න සිදුවෙනවා. බොහෝම සුළු පිරිසක් තමයි ඒ ආකාරයට ගෙවීම් පැහැර හරින්නේ. අනෙක් නාළිකාවල ගැටලුවක් නොමැතිව අපට ගෙවීම් කටයුතු කරනවා.


බොහෝ දෙනෙක් සිතනවා හඬකැවීම් ශිල්පය කියන්නේ බොහොම පහසු කාර්යයක් කියලා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?


හඬකැවීම් ශිල්පය කියන්නේ සහජ දක්ෂතාවක් තිබිය යුතු කලාවක් යැයි මම සිතනවා. මේ දිනවල අන්තර්ජාලය හරහා හඬකැවීම් පාඨමාලා බොහෝ ප්‍රමාණයක් කෙරෙනවා. ඒ සඳහා ගුරුවරයෙක් හැටියට සම්බන්ධ වෙන්න මටත් ආරාධනා ලැබුණා. හඬකැවීම් ශිල්පය ඉගෙන ගැනීම තුළින් යම් කෙනෙක් සහජයෙන් ගෙන එන හැකියාව වැඩිදියුණු කරගන්න පුළුවන්. ඒ වගේම තාක්ෂණික උපක්‍රම පිළිබඳව ඉගෙන ගන්නත් පුළුවන්. නමුත් මම සිතන්නේ ඒ සඳහා සහජ හැකියාවක් තිබීම අත්‍යවශ්‍යයි.


ප්‍රවීණයෙක් හැටියට අලුත් පරම්පරාව ගැන මොකද සිතන්නේ?


අපිට වේදිකාවේදී හමුවෙන්නේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව අධ්‍යයනය කරන හෝ අධ්‍යයනයන් කළ ක්‍ෂේත්‍රය ගැන කැපවීමෙන් ආදරයෙන් කටයුතු කරන අලුත් පරම්පරාවක්. ඔවුන්ට දිගු ගමනක් තිබෙනවා. ප්‍රවීණයන්ට ගරු කිරීම, ප්‍රවීණයන්ගෙන් ගුරුහරුකම් ලබා ගැනීම ආදී හොඳ ගති සිරිත් ඔවුන්ට තිබෙනවා. ඔවුන් ජාතික සහ අන්තර්ජාතික වශයෙන් සම්මානයට ගෞරවයට පාත්‍ර වෙනවා. ඒ ගැන අපිට විශාල සතුටක් තිබෙනවා. නමුත් ටෙලි නාට්‍ය කලාව තුළ බිහි වෙන්නේ ටෙලි තරු. ඇතැම් වෙලාවට අප දැකලාවත් නැති දවසින් දෙකෙන් බොහොම ප්‍රසිද්ධියක් ලබාගත් නවකයන් සිටිනවා. එය මගේ දුර්වලකමක්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් අපි දකිනවා ඔවුන්ට තිබෙන්නේ බොහොම කෙටි ගමනක්. ඔවුන් තුළ සහයෝගය ළබැඳියාව දක්නට ලැබෙන්නේත් බොහොම අඩුවෙන්.


වේදිකාවේ සිදුවූ අමතක නොවන සිදුවීමක් ගැන කතා කළොත්?


වේදිකාවේ අමතක නොවන රසවත් මතකයන් බොහෝමයක් තිබෙනවා. ජයලත් මනෝරත්න මහත්මයාගේ සෙල්ලම් නිරි¾දු වේදිකා නාට්‍යයේ සිදුවූ සිදුවීමක් පිළිබඳව මතක් කරන්නම්. සාමාන්‍යයෙන් නාට්‍යවල ඇ¾දුම් පැල¾දුම් තිබෙන්නේ වේදිකා පරිපාලක භාරයේ. නමුත් මේ නාට්‍යයේදී මනෝරත්නයන් ඇ¾දුම් පැලඳුම් භාර දීලා තිබුණේ අපටමයි. නුවර ධර්මරාජ විද්‍යාලයේ තිබූ දර්ශන වාරයකට අපි සම්බන්ධ වුණා. එම නාට්‍යයේ මම චරිත හතරක් නිරූපණය කළා. නමුත් මට එදා ඇ¾දුම් අරගෙන එන්න බැරිවෙලා තිබුණා. මට නැවත අරගෙන එන්න වෙලාවක් තිබුණෙත් නැහැ.


කොහොම හරි අනෙක් රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ සහයෝගය ඇතිව ඇ¾දුම් හුවමාරු කරගෙන රඟපෑවා. විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි මනෝරත්නයන් මට කිසිවක්ම කියුවේ නැහැ. අද කොහේ යනවා කියලද ගෙදරින් ආවේ, අනෙක් දවසේ ඇඳුම් පැලඳුම් මතක් කරන්න බිරියට කියන්න කියලත් පැවැසුවා.


ඉදිරි වැඩකටයුතු මොනවාද?


නීල පබලු ටෙලි නාට්‍යයේ ඉදිරියටත් මාව දැක ගන්න පුළුවන්. ඒ වගේම තවත් කලාත්මක නිර්මාණ තුනකට සම්බන්ධ වුණා. ඒවා ඉදිරියේදී විකාශය වෙයි. ඊට අමතරව ඒකාංගික ටෙලි නාට්‍ය කිහිපයකටත් සම්බන්ධ වුණා. වේදිකාවේ නිර්මාණයකටත් ආරාධනා ලැබී තිබෙනවා. ඒ වගේම පෙර පරිදි වේදිකාවේ වැඩකටයුතු කරගෙන යන්න ඉක්මනින් හැකියාව ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් සිටිනවා.


කුශාන්ති අනුරාධා බණ්ඩාර




Previous Post Next Post