ඉන්දියාවේ චිත්‍රපටයක ගී ගැයූ අපේ රවී රොයිස්ටර්

 


ශ්‍රී ලාංකික කලාකරුවන් ඉන්දියානු මහා කලා කෙත හරහා ඇවිද යන්නට ඉතිහාසය පුරා වරින් වර උත්සාහ දැරූ බව අප කවුරුත් දන්නා කරුණක්. එහෙත් ඒ ඉලක්කය සාක්ෂාත් කරගත් ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය බොහොම සීමිතයි. මෑතකදී අපේ තවත් තරුණ කලාකරුවෙක් ඒ වික්‍රමය කරන්නට සමත් වුණා. ශ්‍රී ලාංකික සංගීතයේ පරීක්ෂණාත්මක නව්‍යකරණයේ තුරුණු සලකුණ බවට පත්ව සිටින රවි රොයිස්ටර් තමා මේ අපූරු වික්‍රමය පෑවේ.


පහුගිය දවස්වල හිටිහැටියේම යූටියුබ් වෙත මුදා හැරුණු දමිළ සිනමා පටයකට අයත් ගීතයක් ලංකාවේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. ඒකට හේතු වුණේ මේ ගීතයේ තනුව වගේම හඬත් ශ්‍රී ලාංකික රසිකයන්ට හුරු පුරුදු එකක් වීම. ඒ නිසාම ගොඩක් දෙනෙක් මේකෙ පිටිපස්සෙ තිබුණු කතාන්දරය හොයන්න පටන් ගත්තා. මුලින්ම ඇතිවුණු කතාබහ තමා රවී රොයිස්ටර් ඉන්දියානු චිත්‍රපටයකට ගීතයක් කරලා තියෙනවා කියන එක. පස්සේ තමයි විස්තර එකින් එක එළියට එන්න පටන් ගත්තේ.


“හමාර බණවරය" වගේ නිර්මාණවල ඉඳලා "පස්ස" වගේ නිර්මාණ දක්වා විශාල නිර්මාණ පරාසයකට හිමිකම් කියන රවීට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ඇත්තටම අපූරු සිදුවීමකට. පහුගිය දවස්වල ඔහුම සඳහන් කරපු විදිහට කතාව මෙහෙමයි. ඔහුට මේ අවස්ථාව හම්බවෙන්නේ “පස්ස" කියන ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය වුණු ගීතය නිසා.


“මට ටෙස්ට් එකක් දාලා තිබුණේ, ලින්ක් එකත් දාලා, ඔයාගේ මෙන්න මේ සින්දුව අපි විජේ ඇන්තනී සර්ගෙ ෆිල්ම් එකට ගන්න කැමතියි කියලා. මම ඉස්සෙල්ලම හිතුවේ ස්කෑම් එකක් කියලා. දන්නෙ නැති නම්බර් එකකින් ආපු නිසා මම රිප්ලයි කළේ නැහැ."


රවී එතරම් පැහැදිලිව දැනගෙන නොහිටියත් ඔහු හා දිමිත්‍රි එක්ව නිර්මාණය කරපු මිලියන 10ක නැරඹුම් වාරවලට හිමිකම් කියන "පස්ස" ගීතය මේ වෙනකොටත් ඉන්දියාවේ යම් ජනප්‍රියත්වයක් අත්කරගෙන තිබුණා. මේ ගීතය නිර්මාණය කරපු පළවෙනි අවස්ථාවේ මේ නිර්මාණය චෙන්නායි පැත්තෙන් පත්තු කරගන්න තිබුණනම්, වගේ අදහසක් රවී තුළ ඇතිවුණු බව ඔහු කියනවා.


කොහොම හරි මේ පණිවිඩය ඔහුට ලැබෙන්නේ ඒ අරමුණ ඔහු නොදැනම ඉටුවුණු අවස්ථාවකදී.


“දවස් දෙකකට විතර පස්සේ මට හිතුණා මැසේජ් එකක් දාලා බලන්න. නිකම් හෙලෝ කියල වගේ එකක්. ඊටපස්සේ තමයි රිප්ලයි කරලා කතාබහ කළේ. පළවෙනි දවසෙම විජේ සර් කෝල් එකක් අරගෙන කතා කළා. එදා හිතුණා මරු කියලා. වෙන මොනවා හිතන්නද?”


පළවෙනි වතාවේ රවීට පණිවිඩය එවලා තිබුණේ ජනප්‍රිය ඉන්දියානු සිනමා තාරකාවක් වන විජේ ඇන්තනීගේ සහාය අධ්‍යක්ෂකවරයා විසින්. පසුව ඉන්දියානු සිනමා තරුවම රවීට මේ ගීතය ගායනා කරන්න ආරාධනා කළා. මෙහෙම තමයි &පස්ස* ගීතයේ තනුව දමිළ වචන එක්ක මුසුවෙලා අමුතුම හැඩයක නිර්මාණයක් බිහිවෙන්න පටන් ගත්තේ.


ඉන්දියානු ජනප්‍රිය නළු විජේ ඇන්තනීගේ නවතම සිනමා නිර්මාණය වන “Romeo” චිත්‍රපටයේ එක් ගීතයක් විදිහට තමා "Vethala” ගීතය නිර්මාණය වුණේ. පහුගිය දිනවල මේ ගීතය යූටියුබ්වල Trending ඇවිත් තිබුණා. මේ වෙනකොටත් මිලියන දෙකහමාරකට අධික පිරිසක් මේ ගීතය නරඹලා තියෙනවා.


ඊළඟ සුවිශේෂීම දේ තමා, මේ ගීතයට දමිළ ගී පද එකතු කරලා තියෙන්නෙත් විජේ ඇන්තනී විසින්මයි. පහුගිය දවස්වල මාධ්‍ය ඉදිරියේදි රවී මේ නිර්මාණය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කරලා තිබුණා.


“පහුගිය වසරේ දෙසැම්බර්වලදි මම ඉන්දියාවේ ගියා. මේ ගීතය රෙකෝඩ් කළේ චෙන්නායිවල. විජේ ඇන්තනී ෆිල්ම් කෝපරේෂන්වල, එයාගේ ස්ටූඩියෝවල තමා වොයිස් කළේ."


ශ්‍රී ලාංකික ගායන තරු විවිධ අවස්ථා උදාකර ගනිමින් ඉන්දියානු සිනමා ලෝකය හා එක්වීම සැබැවින්ම සතුටට කරුණක්. සුවිසල් ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියානු සිනමා කර්මාන්තයෙන්, දිය දෝතක් හෝ ලබාගැනීමට ශ්‍රී ලාංකික කලාකරුවන්ට හැකි වේ නම් එය සත්‍ය වශයෙන්ම මහඟු අවස්ථාවක්. හැකියාව සේම වාසනාවත් මේ සඳහා බලපාන බව සඳහන් කළ යුතුමයි.


රවී පවසපු විදිහට ඉන්දියානු කලාව තුළ කලාකරුවන්ට ලබා දෙන ගෞරවය, ගනුදෙනු කරන වෘත්තීයමය භාවය ආදී දේවල් හරහා අපිටත් පාඩම් උගත හැකියි. කොහොම නමුත් මේ ගීතය දමිළ බසින් ගායනා කිරීම රවීට අභියෝගයක් වෙලා තියෙනවා. කවදත් අභියෝගවලට කැමති වෙනස් වෙනස් දේවල් කරන රවී රොයිටර් මේ අභියෝගය ජයගත්ත විදිහත් හරිම අපූරුයි.


“මම පැක්ට්‍රිස් කළා සෑහෙන්න. මම එහෙ ගිහිල්ලා ඉන්නකොට පොතක් තියාගෙන වචන ටික ලියාගෙන, ඒ ඒ සවුන්ඩ් එන තැන්වල අකුරු දාගෙන පැක්ට්‍රිස් කළා. මට ගොඩක් උදව් කළා ස්ටූඩියෝ එකේ හිටිය චන්ද්‍රෘ සර් සහ භාෂා කියලා කොපි රයිටර් කෙනෙක්. එයා තමා තෙළිඟු සෝන්ග් එකේ ලිරික්ස් කළේ. ඉතින් ඒ දෙන්නා මට ගොඩක් උදව් කළා. ඔක්කොම සිංහලෙන් තමා ලියා ගත්තේ."


අපි මෙතෙක් ලංකාවෙදි අසා තිබෙන්නේ ඉන්දියාවෙන් මෙරටට පැමිණි ගායක ගායිකාවන් අතීත ශ්‍රී ලාංකික සිනමාව වෙනුවෙන් සිය බසින් සිංහල ශබ්ද ලියා ගීත ගායනා කරපු ආකාරය ගැන විතරයි. අද අපේ කෙනෙකු ඒ වික්‍රමයම ඉන්දියාවට ගොසින් ඔවුන්ගේ බසින් ගී ගයමින් සිදු කිරීම ජයග්‍රහණයක්.


මීට පෙර ඉන්දියාව වෙත එළඹුණු ශ්‍රී ලාංකික ගායන තරු පිළිබඳව ද අප ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. ශ්‍රී ලාංකික කලාකරුවන් පිළිබඳ යම් විශ්වාසයක් ගොඩනැගෙන්නට, මෑත කාලීනව ඔවුන් දැක්වූ දායකත්වයක් විශාල හේතුවක් වී තිබෙනවා. මේ අනුව තවත් අවස්ථා බොහොමයක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉන්දියානු මහා කලා ලෝකය තුළ උදාවනු දැකීම තාම අප කාගේත් බලාපොරොත්තුවයි.


තමන්ට ලැබුණු අවස්ථාව මඟහැර ගන්නේ නැතුව මේ වන විටත් රවී රොයිස්ටර් Think Music Indian ලේබල් එක එක්ක ගිවිසුම් ගතවෙලා තියෙනවා. ඒ අනුව රවීගෙන් තවත් සිනමා ගීත කිහිපයක් බලාපොරොත්තු වීමේ අවස්ථාව ශ්‍රී ලාංකික රසිකයන් විදිහට අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මෙම සිනමා පටය හා සම්බන්ධ වුණු සජීවී ප්‍රසංග සමඟත් ඉදිරියේදී රවී එකතු වීමට නියමිතයි.


සැබැවින්ම ශ්‍රී ලාංකිකයන් විදිහට මෙය අපට ආඩම්බර වීමට හොඳ අවස්ථාවක්. කොහොම නමුත් ඒ ආඩම්බරය හැමදාම රඳවා ගන්න නම්, ලාංකික අපේ අනන්‍යතාවය ද සහිතව ඉන්දියානු මහා කරළියේ සිය ඉඩකඩ වෙන්කර ගැනීමට රවී රොයිස්ටර් වැනි තරුණයන් සමත් විය යුතුයි.


I නිසල්



Previous Post Next Post