සිංහල ප්‍රේක්ෂකයන්ගේ හදවතේ මටත් ඉඩක් තියෙනවා-දර්ශන්




ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන සඳුන් බණ්ඩාර නිෂ්පාදනය කරන "see you” ටෙලිනාට්‍යයට දර්ශන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?


ගිය අවුරුද්දේ එක්තරා රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට මම රජතුමා ලෙසින් රඟපෑවා. එම වැඩසටහන නිෂ්පාදනය කළේ සඳුන් බණ්ඩාර අයියයි. "see you” ටෙලිනාට්‍යයෙත් නිෂ්පාදකයා ඔහුමයි. ඉතින් ඔය අතරේ ධනුෂ්ක අයියගේ (ධනුෂ්ක රත්නායක) නිර්මාණයකට දායක වෙන්නත් මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. 


Q ඔබ ධනුෂ්කගේ නිර්මාණයකට දායක වෙන්න බලාපොරොත්තු වුණේ ඇයි? ඒකට හේතුව මොකක්ද? 


මීට කලින් ධනුෂ්ක රත්නායක අයියා කරපු නිර්මාණ මම දැකලා තියෙනවා. ධනුෂ්ක අයියාගේ නිර්මාණවල යම් වෙනසක්, විශේෂත්වයක් මම දැක්කා. හීරෝගේ චරිතයට නම් ඒ හීරෝව පෙන්නන්න ඕනෑ කොහොමද? විලන්ගේ චරිතය නම් ඒ විලන්ව පෙන්නන්න ඕනෑ කොහොමද? ඒ අයගේ දෙබස් කියන්න ඕනෑ කොහොමද ආදී දේවල් හරි  අපූරුවට  ආසා හිතන විදියට ඔහු නිර්මාණය කරලා තිබුණා. ඒ දේවල් නිසා ධනුෂ්ක අයියා එක්ක "කොහොම හරි වැඩක් කරන්න ඕනෑ" කියන බලාපොරොත්තුව මට තිබුණා. ඒ අතරේ සඳුන් අයියා ධනුෂ්ක අයියට මාව යෝජනා කරලා තිබුණා. ධනුෂ්ක අයියත් ඒකට කැමති වෙලා තිබුණා


"see you” ටෙලිනාට්‍යයේ දර්ශන් රඟපාන චරිතය ගැන මොකද හිතෙන්නේ? 


මීට කලින් මම ටෙලිනාට්‍ය දෙකක රඟපාලා තියෙනවා. ඒ චරිත දෙකම දුෂ්ටයාගේ චරිතයි. නමුත් මේ ටෙලිනාට්‍යයේ මම රඟපාන චරිතය හීරෝද විලන්ද කියලා තාම මමවත් දන්නේ නැහැ. මේ චරිතය හැඟීම් ගොඩක් එක්ක කරන චරිතයක්. වෙලාවකට කේන්ති යනවා. තවත් වෙලාවකට හරි නිශ්ශබ්දයි. ඒ වගේම සහෝදර බැඳීම ලොකුවට තියෙනවා. ඒකට මම හරි කැමතියි. ඒ වගේ හැඟීම්  පෙන්නන චරිතයක් මෙච්චර දවසකට මට  ලැබිලා නැහැ. ඇත්තටම මම මගේ ප්‍රේක්ෂකයන් එක්ක  ලොකු සහෝදර බැඳීමකින් තමයි ඉන්නේ. මට බොහෝ දෙනා හරි ආදරෙන් "දර්ශන් අයියා" කියලා කතා කරද්දි මට මාරයි. ඉතින් ඒ අය ගැන හිතාගෙන මම මේ චරිතය රඟපාන අවස්ථා තියෙනවා. 


Q සහෝදර බැඳීම් විතරක් නෙවෙයි, ''See you'' ටෙලිනාට්‍යයේ ඔබට ආදරය කරන්නත්  තියෙනවා නේද? 


ඔව් ඔව්.. මේ චරිතයේදි මම  පරණ ආදරය ගැන හිතන චරිතයක් වෙනවා. ඇත්තටම මේ චරිතය මට  මගේ පෞද්ගලික ජීවිතේටත් ටිකක් සමීපයි. මගේ සැබෑ ජීවිතයේ මගේ හිටපු පෙම්වතිය ජනප්‍රිය නිළියක්. ඒ තැනට එන්නට ඇයට  මම උදව් කරලා නැහැ. නමුත් ඒ අතීතයේදි මම එයාට ගොඩක් සහයෝගයෙන් ඉඳලා තියෙනවා. ඒ වගේ කතාවක් තමයි ''See you'' කියන්නේ. ඒ කාලෙදි මම සම්පූර්ණයෙන්ම කලාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. නමුත් ඒ වෙද්දි මම රූපවාහිනි නිවේදකයෙක් විදිහට වැඩ කළා. ඒ හා සමාන ගොඩක් දේවල් ලියලා තියෙන නිසා මේ චරිතය මට සමීපයි.


දැන් දර්ශන්ට ගොඩක් හොඳට  සිංහල කතා කරන්න පුළුවන් නේද? 


ඔව්නේ.. ගොඩක් ස්තුතියි එහෙම කිව්වට. ඇත්තටම තවම මේ ටෙලිනාට්‍ය විකාශනය වුණේ කොටස් කිහිපයක් විතරයි. ඒ කොටස් කිහිපය යූටියුබ්  එකේ යද්දි ගොඩක් දෙනා මගේ සිංහල කතා කරන එකට හොඳ කියලා තිබුණා. ඒක සම්මානවලට වඩා මට වටිනවා. ඉදිරියට මට මගේ ගමන යන්න ඕනෑ නම් මම සුද්ද සිංහල කතා කරන්න පුළුවන් විදියට හදාරන්න ඕනෑ. මේ වෙනකොට මම කතා කරන සිංහලවලට ලැබෙන ප්‍රතිචාර ගැන  මට ලොකු සතුටක් දැනෙනවා. මට තාම සිංහල හරියට කතා කරන්න බෑ. ඒක හරියට බැලුවොත් වැරුද්දක්. "මෙයාට සිංහල කතා කරන්න බැරි නම් මෙයා සිංහල නළුවෙක් වෙන්නේ කොහොමද?" කියලයි හිතන්න ඕනෑ. නමුත් මගේ ප්‍රේක්ෂකයන්  කවුරුත් එහෙම හිතලා නැහැ. ඒ නිසා ඉතා ඉක්මනට මම හොඳට සිංහල ඉගෙන ගන්නවා. සිංහල ප්‍රේක්ෂකයන්ගේ හදවතේ මටත් ඉඩක් තියෙනවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. 


Q දන්නා තරමින් ඔබ අපූරු චිත්‍ර ශිල්පියෙක්. ඔබ තුළ හිටපු ඒ චිත්‍ර ශිල්පියාට මොකද වුණේ? 


ඇත්තටම දැන් මගෙන් ඒ චිත්‍ර ශිල්පියා මඟහැරිලා ඉවරයි. මම පොඩි කාලේ ඉඳන් චිත්‍ර ඇන්දා. පොඩි කාලේ මම හැමවෙලේම චිත්‍ර ඇන්දා. ටිකක් ලොකු වෙද්දි එක දවසකට එක චිත්‍රය බැගින් ඇන්දා. මුලින් මිකී මවුස් වගේ කාටූන් ඇන්දා. ටිකෙන් ටික ඒක හුරු වෙද්දි මාසයකටවත් එක චිත්‍රයක් අඳින්න ඕනෑ කියන තැනට මම ආවා. කාලය අරගෙන මම ලොකු චිත්‍ර ඇන්දා. ඒවා ඉතා සාර්ථක වුණා. මීට අවුරුද්දකට උඩදී මම කරපු අවසන් චිත්‍රය ගොඩක් ලස්සන ලොකු චිත්‍රයක්. ඒ නිසා ඊළඟට මම අඳින චිත්‍රයත් ඒ වගේම හොඳ නිර්මාණයක් වෙන්න  ඕනෑ. ඒ වෙනුවෙන් ලොකු කාලයක් ඕනෑ. නමුත් අද වෙද්දි ඒ වගේ චිත්‍රයකට යොමු කරන්න ලොකු කාලයක් මට නැති නිසා මම දැන් චිත්‍ර අඳින්නේ නැහැ. ගොඩක් කට්ටියට දෙවියන් හැකියා කිහිපයක් දෙනවා. මම රංගනයට සම්බන්ධ නැති කෙනෙක්. තාමත් මම රංගනය ගැන දන්න කිසිවක් නැහැ. රංගනය හදාරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා මේ කාලයේදි මම රංගනය වෙනුවෙන් වැඩි කාලයක් යොදනවා. අවස්ථාවක් ලැබුණොත් ආයේ චිත්‍ර අඳීවි. 


Q දර්ශන තුළ  ගායකයෙකුත් ඉන්නවා කියලා හඳුනා ගත්තේ කොහොමද? 


පොඩි කාලේ ඉඳන්ම එයත් මාත් එක්කම ඉන්නවා. මාව පොඩි කාලේ ඉඳන් දන්න අය මම සින්දු කියනවා කියලා දන්නවා. හැබැයි සින්දු කියද්දි මම ඒ සින්දුව විතරක් ගායනා කළේ නැහැ. පාසලේදි මේසයට ගගහා අපි සින්දු කියද්දි මම ඒ සින්දුවේ තියෙන සංගීතය පවා තාලයට කටින්  වාදනය කළා. මම ගායකයෙක් කියලා කියනවට වැඩිය "මම සින්දුවලට කැමති කෙනෙක්" කියලා කියනවට මම කැමතියි. දැන් වුණත් මම ගායකයෙක් කියනවට මට ලැජ්ජයි. ගායකයෙක් කියන්න තාමත් මට ඒ සම්බන්ධයෙන් දැනුමක් නැහැ. හැබැයි දැනටමත් මම හොඳ ගීත අසන්නෙක්. 


I දිශානි ජයමාලි



Previous Post Next Post