අම්මේ, ඇයි සුදු අඳින්නෙ කියලා අපි ඇගෙන් කවදාවත් අහල නෑ - නන්දා මාලිනිය ගැන දියණිය කියන කතාව



 බාල වියේදී අපේ පවුලේ මොන ප්‍රශ්න තිබුණත් අපේ ජීවිත හදා ගන්න ඇය කියලා දුන්නා...

“චන්ද්‍ර මඩලු යට සුරංගනාවන්

දූ සනසන්ට ගීත ගයනවලු

දුවේ එපා ඒ කතා අසන්නට

මේ නැළවිලි ගී මමයි ගයන්නේ…“


සුරංගනා කතාවලට නොව මේ මහපො‍ළොව මත පයගසා ජීවත් වන්නට සිය දියණියන් දෙදෙනාට ඉගැන්වූ ඇය එතැනින් නොනැවතී මුළු සමාජයේම දියණියන්ට ජීවිතය ගැන කියා දුන්නා ය. ඇගේ ගීත අර්ථවත්ය. ඒ ඇය ගී පද රචකයන්ගේ තෝරා බේරාගත් හොඳ නිර්මාණ ඇසුරේ ගායිකාවක ලෙස කටයුතු කළ නිසාය. ඇය නන්දා මාලනිය නම් වන්නීය.


විශාරද නන්දා මාලනිය එදා මෙදාතුර ගැයූ ගී බොහෝය. ඒ ගී එක් එක් ලෙස වර්ග කළ හැකිය.


අලුත්ගම ලෙවන්දූවේ ගැමි පවුලක 1943 වසරේ අගෝස්තු 23 දා උපන් ඇයගේ පවුලේ සාමාජිකයින් ගණන දොළොස් දෙනෙකි. බාලවියේ සිටම සංගීතයට ඇලුම් කළා මෙන්ම එහි දක්ෂතා පෙන්වූ ඇය ඒ ඔස්සේ දිගු ගමනක් පැමිණියාය. කරුණාරත්න අබේසේකරයන්ගේ “ළමා මණ්ඩපයට“ ඇය ගැයූ “බුදු සාදු“ ගීය බොහෝ ජනප්‍රිය විය.


1961 වසරේ අපේ රටේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ රන්මුතු දූව චිත්‍රපටය සඳහා “ගලන ගඟකි ජීවිතේ“ ගීතය ගායනා කිරීමට ඇයට අවස්ථාව ලැබිණි. ඇය මේ ගීතය ගයන්නේ නාරද දිසාසේකරයන් සමඟිනි. වසරේ හොඳම චිත්‍රපට ගීතය ලෙස සරසවිය සම්මාන ලබන්නේ ද මේ ගීතයයි. එදා මෙදා තුර ඇය ලැබූ සම්මාන බොහෝය. ඇගැයුම් බොහෝය. දැන් ඇගේ දවස ගෙවෙන්නේ කෙසේදැයි දැන ගන්නට අපි ඇයට කතා කළෙමු.


දුරකතනයට උත්තර දුන්නේ නන්දා මාලනියගේ වැඩිමහල් දියණිය වන වරුණි රසෝජාය. මේ කතා බහ ඇය සමඟිනි.


“පසුගිය කාලයේ අම්මා අසනීපයෙන් හිටියේ. දැන් ඇයට සුවයි. මේ දිනවල ඇය විවේක සුවයෙන් ඉන්නේ. ඉස්සර වගේ නෙවෙයි දැන් ඇය ගමනක් බිමනක් ගියත්, වෛද්‍ය උපදෙස් මත තමයි ඒ හැමදේම කරන්නේ. අම්මා ඉඳ හිට ගීත පටිගත කිරීමකට සහභාගි වෙනවා. ඉදිරියේදී ඇය නව ගීත කිහිපයක්ම කරන්න සූදානමින් ඉන්නේ.“වරුණි සිය මව ගැන අපට පැවසුවේ එලෙසිනි. එදා මෙදාතුර නන්දා මාලනීය කලාව වෙනුවෙන් කළ මෙහෙය බොහෝය . ඇය ගැයූ ගීත සංඛ්‍යාව සුවිශාලය. සිය නිර්මාණ ජීවිතයත් සමඟ කාලය ගෙවුවද සිය දියණියන් දෙදෙනාගේ ලෝකය යහපත් කිරීමට ද ඇය වෙහෙස වූවාය.


“අපේ අම්මා බොහෝම කාර්යබහුල කෙනෙක්. විවිධ හැල හැප්පීම් එක්ක ජීවිතය ගෙවූ කෙනෙක්. නමුත් මොන ප්‍රශ්න තිබුණත් අම්මා අපිට ඉගැන්නුවේ ධෛර්යසම්පන්නව ජීවත් වන විදිහ. ජීවිතය සමබරව ගෙනියන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තේ අම්මගෙන්. බාල වියේදී අපේ පවුලේ මොන ප්‍රශ්න තිබුණත් අපිට අපේ ජීවිත හදා ගන්න ඇය කියලා දුන්නා. අපේ පාසලේ හැමදේටම ආවේ ගියේ අම්මා. ඒ ආවාම ගුරුවරු, ළමයි, ළමයින්ගේ මවුපියන් ඒ හැමෝ එක්කම අම්මා කතා කරනවා.


අපට කවදාවත් අම්මා බලපෑම් කළේ නැහැ අර දේ කරන්න මේ දේ කරන්න කියලා. ඇය අපිට උපරිම නිදහස දුන්නා. අපි යන මාවතක යන්න මඟ පෙන්නුවා. මම පාසල් කාලේ ඉඳලම නර්තනය කළේ. මම නර්තන ගුරුවරියක ලෙස කලක් සේවය කළා. මගෙ නංගි පෙර පාසල් අධ්‍යාපනය ගැන ඉගෙන ගත්තේ කලක් ඇය එංගලන්තයේ වාසය කළේ. දැන් ඇය මෙහෙ පෙර පාසලක් පවත්වාගෙන යනවා. අපි දෙන්නම ඉන්නේ අම්මගේ ගේ ආසන්නයේමයි. “වරුණි සිය මව ගැන පවසන්නේ බොහෝ ආදරයෙනි. වෙනත් ගායක ගායිකාවන්ගේ දරුවන් සිය මවගේ හෝ පියාගේ ගී ගයමින් ඉදිරියට එන විට නන්දාගේ දියණියන් කුමක් කරන්නේ දැයි ඇසූ විට වරුණි පැවසුවේ මෙහෙම කතාවක්.


“ඇත්තම කිවුවොත් බොහෝ අය දන්නේ නැහැ නන්දා මාලනියට දුවලා දෙන්නෙක් ඉන්නවා කියලා. අනිත් එක තමයි අම්මාගේ නමින් එළියට එන්න අපිට කිසිම වුවමනාවක් නැහැ. එදා තිබුණෙත් නැහැ. අදත් නැහැ. මතුවටත් එහෙම තියෙයි කියලා මම හිතන්නේ නැහැ. අපිට කවදාවත් අම්මා නිසා නමක් හදා ගන්න ඕන කියලා හිතුණේ නැහැ. අපි කවදාවත් අම්මා නිසා වරප්‍රසාද ගන්න උත්සාහ කළේ නැහැ. නංගිවත් මමවත් අම්මා නිසා නමක් හදාගන්න ගියේ නැහැ.“


නන්දා මාලනිය විදෙස්ගත වූ කාලයේ පමණක් නොව ඇගේ සංගීත කටයුතු සඳහා ගිය විට දියණියන් දෙදෙනා බලාගත්තේ නි‍ෙවසේ උදව්වට සිටි මැගිලින්ය. ඒ හැරුණ විට ඇගේ බාල නැඟණියත්, නැඟණියගේ සැමියාත් දියණියන්ගේ කටයුතු සඳහා හැමවිටම සහායට ආරක්ෂාවට සිටියහ.


“මැගිලින් අම්මා ගාවට ආවේ 1982 දී විතර. ඇය නැති වෙලා දැන් අවුරුදු තුනක් විතර වෙනවා. ඇය තමයි අපේ හැමදේම කළේ. අම්මත් ඇයට බොහෝම හොඳට සැලකුවා. ඒ හැරුණම ජයන්ති පුංචි අම්මයි අශෝක බාප්පයි අපි ගැන හොයලා බැලුවා. අම්මාගේ සංගීත පන්තියේ කටයුතු සොයලා බලලා කරන්නේ අම්මාගේ හොඳම ගෝලයා වන අචලා අක්කා. අම්මා විදෙස්ගත වුණාමත් ඇය තමයි පන්ති කරන්නේ. මේ දවස්වලත් ඇය ඒ කටයුතු කරනවා. කොහොමත් තව මාසයකින් විතර ආයෙමත් අම්මා මඟ හැරුණ වැඩ ටික කරන්න පටන් ගන්නවා. චිත්‍රපට ගීත කිහිපයක්, ටෙලිනාට්‍ය ගීත කිහිපයක් පටිගත කරන්න තියෙනවා. නන්දා මාලනීගේ දුවල වෙන්න ලැබීම ගැන නංගිත් මමත් බොහෝම ආඩම්බර වෙනවා. අපි ක්ෂේත්‍රයේ නොසිටියාට අම්මා නිසා අපටත් සමාජයේ පිළිගැනීමක් ගෞරවයක් මේ සමාජයෙන් ලැබෙනවා. අපේ අම්මා කවමදාවත් ජීවිතේ කිසිම දෙයක් බදාගත්ත කෙනෙක් නෙමෙයි. අම්මා අපිට ආදරෙයි. නමුත් අම්මා අපිව බදාගෙන නැහැ. ඇය ඉස්සර ඉඳලම අපිට ස්වාධීනව ජීවත් වෙන්න ඉඩ දුන්නා. ඒ නිසා අපි අදටත් හරිම ස්වාධීනයි. අම්මා ඉන්නේ මහගෙදර. නංගියි මමයි ඉන්නේ ඒ ළඟම ගෙවල් දෙකක. මම මගේ දියණියටත් ඒ ස්වාධීනත්වය දීලා තියෙන්නේ. මම ඒ දේවල් ඉගෙන ගත්තේ අම්මාගෙන්.


ඉස්සර මට මතකයි අපිට අම්මා එක්ක වෙලාවට ගමනක් යන්න බැහැ. දවසක් අපි පේරාදෙණිය උද්‍යානයට ගියා. නමුත් පැය ගණනක් අපිට එතැන ඉන්න වුණා. හේතුව රසිකයෝ ඇවිත් අම්මා එක්ක කතා කරනවා. පින්තූර ගන්නවා. අම්මා කිසිම වෙලාවක ඒ අය මඟහැරලා එන්නේ නැහැ. හැමෝ එක්කම සුහදව කතා කරනවා. අම්මා එක්ක කොහේ ගියත් ඒ වගේ තමයි. අම්මා කවදාවත් එයාගේ රසිකයෝ ඇවිල්ලා ඇයත් සමඟ කතා කරන එක කරදරයක් විදිහට හිතුවේ නැහැ.“වරුණී සිය අම්මා ගැන අතීත මතකයන් හාරා ඇවිස්සුවේ එසේය.


නන්දා මාලීනිය කියූ සැණින් ඈ රුව අපේ මතකයේ ඇඳෙයි. සුදු ඔසරියෙන් සැරසුණ ඇය සොබාමත්ය. ඇය එදා මෙදාතුර සුදුවතින් සැරසුණේ ඇයි දැයි ඇසූ විට වරුණි කිවුවෙ මෙහෙම කතාවක්.


“අම්මා කවදත් ඇන්දේ සුදු ඔසරිය. මම පුංචි කාලේ මට මතකයි ඇය කුඩා මල් තියෙන සුදු ඔසරිය අඳිනවා. ඒ හැරුණම අම්මා මෑත කාලයේ ලුන්ගිය අඳිනවා. ඒ ඇඳුමටත් ඇය හැමවිටම උඩට ඇන්දේ සුදු බ්ලව්ස් එක. අම්මා ඇයි සුදු අඳින්නේ කියලා හේතුවක් කියන්න නම් මම දන්නේ නැහැ. අම්මේ ඇයි සුදු අඳින්නේ කියලා අපි ඇගෙන් කවදාවත් අහලත් නැහැ. නමුත් මේ අවුරුදු ගාණටම මම දැකලා නැහැ අම්මා පාට සාරියක් අඳිනවා. ඒ කොහොම වුණත් මගේ අම්මා සුදු ඔසරියට හරි ලස්සනයි. ජීවිතේ මොන ප්‍රශ්න තිබුණත් හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න අම්මාට පුරුද්දක් වෙලා තිබුණා. දැනුත් මගෙ අම්මා එහෙමයි.”


ඇගේ හඬ මිහිරිය. ඒ මිහිරි හඬ විටෙක දුක්බරය. විටෙක සටන්කාමීය. විටෙක ඇය අසාධාරණයට නැඟී සිටි. ආදරණීය නන්දා මාලනියට අප නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනය!! කරමු.

ඉනෝකා සමරවික්‍රම

Previous Post Next Post