ඩයට් ප්ලෑන් එකක් කියන අතරේ නංගි මම ඔයාට ආදරෙයි කිව්වා-සිනෙති අකිලා




සිනෙති අකිලා කියන්නේ පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේද තම දක්ෂතා පෙන්වූ යොවුන් රංගන ශිල්පිනියක්. සිරි පැරකුම් චිත්‍රපටයේ කළු එතනාගේ චරිතයට පණ පොවමින් සිනමාවට පැමිණි සිනෙති අකිලා පසුවද සිනමා නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂකයින් අතරට ආවා. මේ වෙද්දී සිනමාවෙන් මෙන්ම පුංචි තිරයෙන් ද තෝරා ගත් නිර්මාණ කිහිපයකින් ප්‍රේක්ෂකයන් අතරට ආ සිනෙති මේ දවස්වල මොකද කරන්නේ සහ ඉදිරියට එන්න තියෙන නිර්මාණ ගැන කළ කතාබහයි මේ.


සිනෙති මොකද වෙන්නේ මේ දවස්වල?


මේ දවස්වල මී මැස්සා ටෙලි නාට්‍යයේ ෂූටින් කරගෙන යනවා. අලුත් ෆිල්ම් එකකට සම්බන්ධ වුණා. මේ දවස්වල ඒකේ ස්ක්‍රිප්ට් රීඩින් සහ රිහසල් සිදු වෙනවා. ඒ චිත්‍රපටයට ලොකු සූදානමක් වෙනවා. තවම චිත්‍රපටයේ නම කියන්න අවසර නම් නැහැ. ඒක ලොකු වැඩක් සහ සිනමා කේෂ්ත්‍රයේ මෙතෙක් කල් දැකපු නැති වැඩක් වෙයි කියන විශ්වාසය තියෙනවා. මටත් අවස්ථාවක් ලැබුණා එහි රඟපාන්න. ඒ එක්කම අපේ Sinethi Sahan Offical Youtube Channel එකේ වැඩත් කරගෙන යනවා.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


මී මැස්සා ටෙලි නාට්‍යය සහ සාරි ගප්පි, වෙස්සන්තර රජ දවස කියන චිත්‍රපට දෙක එන්න තියෙනවා. ලොකුම ප්‍රොජෙක්ට් එක වෙන්නේ සිංහබාහු. ඒක නුදුරු දිනකම තිරගත වෙයි. චිත්‍රපටය එනකම් මම බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්.


සිරි පැරකුම් හි “කළු එතනා“ වගේම සිංහබාහු හි ”පබසරා” සිනෙතිගේ රංගනයේ සුවිශේෂී තැනක් ගනීද?



කළු එතනා මට කොහොමත් කවදත් සුවිශේෂී චරිතයක්. ඒක තමයි මගේ පළමු සිනමා අත්දැකීම. සිරි පැරකුම් හි කළු එතනා විදියට මට තිබ්බේ ටිකක් නපුරු හිතුවක්කාර චරිතයක්. හැබැයි පබසරා කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. පබසරා කියන්නේ දරු දුක දැනෙන මවක්. ඇය ගොඩක් දුක්වෙන අවස්ථා තියෙනවා. ඒ සියල්ල මම කැමතියි සිනමාපටය තිරගත වෙද්දී සිනමාශාලාවකින්ම ප්‍රේක්ෂකයින් දැක ගන්නවා නම්.


සිනමාවට ද පුංචි තිරයට ද වැඩි කැමැත්ත


මම සිනමාවෙන් ආපු කෙනෙක්. පුංචි තිරයේ නිර්මාණ භාර ගන්නේ නැතුව නෙවෙයි. සිනමාවෙන් තමයි අදටත් මට වැඩිපුර ආරාධනා ලැබෙන්නේ.


ආදර මාසෙනේ මේ ඉන්නේ, මතක් කළොත් සිනෙති – සහන් ආදර කතාව කොහොමද පටන් ගත්තේ?


ඒ ආදර කතාව නම් ටිකක් දිගයි. මම කෙටියෙන් කියන්නම්. සිරි පැරකුම් හි රූපගත කිරීම් වලට යන්න කලින් සෝමෙ අන්කල් අකිල අයියට කිව්වා ජිම් ගිහින් ඇඟවල් හදාගෙන එන්න කියලා. ඒ එක්කම අකිල අයියට කියනවා සිනෙති සෙනාලිවත් එක්කන් යන්න. කට්ටිය එකටම ඉන්න කියලා. මොකද අපි තුන් දෙනාගේම පළමුවෙනි ෆිල්ම් එක. ජිම් එකට යද්දී මට අකිල අයියා එයාගේ හොඳම යාළුවෙක් විදියට සහන් අයියාව හඳුන්වා දුන්නා. සහන් අයියා ඒ වෙද්දී ජිම් උපදේශක කෙනෙක්. අකිල අයියාගේ යාළුවෙක් නිසා මම ‘හලෝ‘ කියලා හොඳින් හිනාවෙලා කතා කළා. එදා නම් සහන් අයියා ලොකුවට මාව ගණන් ගත්තේ නැහැ. මම ඒ නිසාම හිතින් හිතුවා අපෝ මෙයාගේ තියෙන ආඩම්බරකම කියලා. අපිව පුහුණු කරද්දී එයා පොඩ්ඩක් වසයි. කොහොම හරි අපේ ෂූටින් කාලේ ඇවිත් අපි ෂූටින් ගියා. ඒ වෙද්දීත් මට කෝල් කරලා කියනවා එක එක දේවල් කන්න එපා කියලා. එයා කියන දේ නම් මම ඇහුවේ නැහැ හොඳට කාලා මහත් වුණා. එක දවසක් ඩයට් ප්ලෑන් එකක් කියන අතරේ නංගි මම ඔයාට ආදරෙයි කිව්වා. මම හිතුවේවත් නැති වෙලාවක ඒ කිව්ව දේ එක්ක මට කියා ගන්න දෙයක් නැතුව මම කිව්වේ, අනේ අයියේ ඔයාත් අකිල අයියා වගේ මට සහෝදරයෙක් කියලා. එතැනින් එහාට දෙයක් නැහැ කියද්දී…ආ හරි කමක් නැහැ තියන්නම් කිව්වා. මට එතනින් එහාට අවුල් ගියා. මම ඊට පස්සේ එයාගෙන් කෝල් එකක් එනකම් බලන් හිටියා. මොකද එයා එක සැරේ කෝල් එක තියපු එක මට අවුල් නිසා. ආයෙමත් දවසක අකිල අයියා කිව්වා අනේ බලන්නකෝ කවුද මන්ද සහන් අයියගේ ඔලුවට පොල්ලකින් ගහලා කියලා. මම මුලින්ම හිතුවේ බොරුවක් කියලා. මම කෝල් එකක් අරන් බලද්දී එයා හොස්පිටල් එකේ හිටියේ, මොකද වුණේ අහද්දී රණ්ඩුවක් බේරන්න ගිහින් මෙහෙම දෙයක් වුණේ කියලා විස්තරේ කියලා තියන්නම් කිව්වා. එතැනදී මම කිව්වා මට ආයේ ගන්න කියලා. මම ආයේ කෝල් කරනකම් බලන් හිටියා. ඒ වෙද්දී මගේ හිතෙත් පොඩි කැමැත්තක් ඇතිවෙලා තිබුණේ. ඊට පස්සේ එයා මට ආයේ ගත්තා. ඒ කතා බහ දුරදිග ගිහින් තමයි ආදරය කරන්න ගත්තේ.


සහන්ගෙන් දැක්ක හොඳම ගුණාංගය මොකක් ද?


එයා හැමෝම එක්ක හරිම සුහදශීලි චරිතයක්. විනාඩි 5කට කෙනෙක් හමුවුණත් ගෙදර ගිහින් එයා ඒ කෙනා ගැන මතක් කරනවා. ඒක මට දැනිලා තියෙනවා. සමහර අය මට කෝල් කරලා කියලා තියෙනවා ඔයාගේ හස්බන්ඩ් හරි හොඳයි කියලා. එයාගේ හිත හොඳයි. ඒ වගේ ගුණාංග හැමෝම තුළ නැහැ. සමහර වෙලාවට මටත් නැහැ ඒ තරම් හොඳ ගුණාංග. එයා යන තැන එයාව කැපිලා පේනවා. මම එකට හරි ආසයි සහ ආඩම්බරයි.


වැඩියෙන්ම තරහා යන්නේ කාටද?


දෙන්නටම තරහා යනවා. හැබැයි වැඩිපුරම තරහා යන්නේ මට.


දෙන්නා අතරේ රණ්ඩුවක් වුණොත් මුලින්ම කතා කරන්නේ කවුද?


මුලින්ම කතා කරන්නේ සහන් අයියා. මම ඉන්නවා පොඩ්ඩක් වෙලා පාඩුවේ. එයා තමා ඇවිත් කතා කරලා ආයේ යාළු කර ගන්නේ. ඒ වෙලාවට මට පොඩ්ඩක් හිනා යනවා. මට දෙයක් හිතේ තියන් ඉන්න බැහැ. අපි මේ විනාඩි 5 රණ්ඩු වුණත් ඊළඟ විනාඩි 5දී අපි දෙන්නා යාළුවෙලා.


සහන් නළුවෙක් වෙන්නේ සිනෙතිව බැන්දට පස්සේ ද?


එහෙම කියන්නත් බැහැ. එයාගේ එක කුස උපන් අයියා ඉන්නේ රූපවාහිනියේ. එයා ‍ෆෝරෝග්‍රෑම් ඩිරෙක්ටර් කෙනෙක්. අයියා එක්කම එයා හැදුන නිසා කලා ‍කේෂේත්‍රය එක්කම වැඩිපුර ඉඳලා තියෙනවා. එයාගේ යාළුවෝ තමයි අකිල අයියා එහෙම. ඒ වගේම ජැක්සන් සර් එක්ක වැඩ කරලා තියෙනවා. මාවත් සම්බන්ධ වුණාම තවත් එයා කලාවට නැඹුරු වුණා. කොහොමත් එයා මේ නිරූපණ කේෂේත්‍රයේ හිටිය කෙනෙක්, මම නිසා නළුවෙක් වුණා කියලා මම හිතන්නේ නැහැ. මාව බඳින්න කලින් එයා කලාවේ ගොඩක් වැඩ කරපු කෙනෙක්.


සහන් රඟපාන එකට සිනෙති කැමති ද?


මම කැමතියි එයා රඟපානවට. සමහර වෙලාවට වෙනස් වෙන්න ඕනේ තැන් මම කියනවා. ඒ වගේම සමහර රඟපෑම් තියෙනවා විශිෂ්ට ලෙස කරපු. මම ආසයි මගේ මහත්තයාව පුංචි තිරයෙන් හෝ රිදී තිරයෙන් දකින්න.


සුන්දරත්වය පවත්වා ගන්න මොනවද කරන්නේ


එහෙම ලොකු ලොකු දේවල් මම කරන්නේ නැහැ. මම හොඳට වතුර බොනවා. ඊට අමතරව මගේ කොණ්ඩෙට සාත්තු කරනවා. මේ කැරළි කොණ්ඩයට මගේ අම්මා සහ මම ගොඩක් ආදරෙයි. ඒ නිසා කොන්ඩේ රැක ගන්න ගෙදර හදපු තෙල් එකක් මම භාවිත කරනවා.


2024 සපුරාගන්න තිබෙන බලාපොරොත්තු මොනවාද?


මම ලොකු බලාපොරොත්තු හිතේ තියන් ජිවත් වෙන කෙනෙක් නෙවෙයි. 2024 පටන් ගනිද්දිම එක එක සැලසුම් සකස් කළා. ඉන් එකක් තමයි අපේ යූටියුබ් චැනල් එක. ඒ වැඩ ටික සහ කලා කේෂේත්‍රයේ ලැබෙන දේ ලස්සනට කරලා සතුටින් ජීවත් වෙන්න අපි දෙන්නා බලාපොරොත්තු වෙනවා. අපි දෙන්නම හෙට දවස සැලසුම් කරලා ජිවත් වෙනවා හැර අනාගතයේ මෙහෙම වෙන්න ඕනේ කියලා ලොකු දේවල් සැලසුම් කරලා නම් නැහැ.


අනුෂා රණසිංහ




Previous Post Next Post