ලයිෆ් එක මිස් වෙලා කියලා එයා කවදාවත් කියල නැහැ- සුනෙත් චිත්‍රානන්ද



දක්ෂ තිරපිටපත් රචකයෙක් වගේම අති දක්ෂ හඩ කැවීම් ශිල්පියෙක් වූ ඔහු ඔහුගේ නමට වඩා ජනතාවට සමීප චූටි මල්ලි කියලා. ඒ නිසා සුනෙත් චිත්‍රානන්ද යන නම ආගන්තුකයි. දශක දෙකකට එහා ඔහුට ආදරේට අමතන්නෙ චූටි මල්ලි කියලා. මේ කතාබහ බොහෝ දෙදෙනෙක් ආදරේ කරන සුනෙත් චිත්‍රානන්ද හා ඔහුගේ ආදරණීය කුටුම්බයේ තොරතුරු ගැනයි.


කොහොමද සුනෙත් ජීවිතේ ..?   


ජීවිතේ නම් හොඳින් ගත කරනවා, අලුත් නිර්මාණ කරන්න උත්සාහ කරමින් සතුටින් ජීවත් වෙනවා


ඔබත් ගාමින්දත් එක්ව චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. එහි වැඩ කටයුතු කොහොමද?


අපි සිරස එක්ක සම්බන්ධ වෙලා “අපි නොදන්න ලයිව්“ කළේ දශක දෙකකට කලින්. මමයි පොඩි මල්ලී-ගාමින්ද එකතු වෙලා ඒ වටා ගෙතුණු කතා හා මාධ්‍යවේදීන් හැටියට ගත කරද්දී සිදු වෙන සිදුවිම් හා අත්දැකීම් එක්ක තමයි මේ කතාව තිරපිටපත ලිව්වෙ. තවම නමක් දාලා නැහැ. එහි වැඩ අවසන් අදියරයේ තියෙන්නේ. ඒ වැඩ කටයුතු අවසන් කරලා චිත්‍රපටය තිරගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අලුත් නිර්මාණ අලුත් සංකල්ප එක්ක තමයි දවස ගෙවන්නේ.


වසර ගණනාවක් කාර්යබහුල ජීවිතයක් ගත කරද්දී, දුවන ජීවිතේ එක්ක දැන් ඇති මහන්සියි කියලා හිතිලා නැද්ද ?


මාධ්‍ය ජීවිතේට එකතු වෙලා සෑහෙන කාලයක් වෙනවා. මුල් කාලේ අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කළේ, තවමත් යම් තරමින් නිර්මාණ එක්ක කාර්යබහුලයි. ඒත් කවදාවත් මහන්සියක් දැනිලා නැහැ. නිර්මාණකරුවන් හැටියට අලුත් වෙවි ඉදිරියට යන නිසා කාර්යබහුලකම තේරෙන්නේ නැහැ. ඒ වගේම මම කැමතිම දේ මේ රැකියාව. ඒ නිසා ආසාවෙන් කැමැත්තෙන් නිර්මාණ කරනවා.


විවිධ චරිතවලින් ඔබ කොතරම් ජනප්‍රිය වුණත් ඔබේ නමට වඩා ඔබව හැමෝම ආමන්ත්‍රණය කරන්නේ චුටී මල්ලි කියලා. ඒ නම තවම හදවතට සමිප එක ගැන ඔබටත් සතුටු ඇති..?



චූටි මල්ලි දැන් රෙජිස්ටර් වෙලා ඉවරයි. කොහේ ගියත් කවුරුත් කතා කරන්නේ චූටි මල්ලි කියලා. සුනෙත් චිත්‍රානන්ද කියන නම මතක් වෙන්නෙ පස්සේ. දකින අය ප්‍රතිචාර දක්වන්නෙ මුලින්ම ආ මේ චූටි මල්ලි නේද කියලා අහලා. ඔය වැඩසටහන පටන් ගද්දි හිතුවේ නැහැ කවුරුත්ම මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. චූටි මල්ලි, ලොකු මල්ලි කියන නමින් අපිව ආමන්ත්‍රණය කරන්නේ අවුරුදු 20කටත් එහා ඉඳලා. එච්චර කල් අපිව දන්නෙ මෙහෙමයි කියලා හිතෙනකොට මටත් පුදුමයි. ඒ වගේම සතුටුයි. ඒක කොයිතරම් වාසනාවක් ද. කොතරම් නිර්මාණ කළත් ඊට වඩා මේ නම බොහෝ අයට සමීපයි .


ඔබත් ගාමින්දත් එකතු වෙලා කළ සිරස අපි නොදන්න ලයිව් හී චූටි මල්ලි පොඩි මල්ලි ෆෝමැට් එක දැන් යූටියුබ් නාළිකා බොහෝමයක කොපියක් බවට පත් වෙලා. ..?


මම නම් ඒ ගැන සතුටු වෙනවා. අපි කරපු ඒ වැඩ සටහන දැන් විවිධ නම්වලින් විවිධ වෙනස්කම්වලින් කරනවා. නමුත් ෆෝමැට් එක එකයි. අපිව අනුකරණය හෝ අනුගමනය කරමින් වෙනස්කම් අලුත්කම් එක්ක ඒ අය කරන වැඩේ නිසා ඒ අයගේ ආදායම් මාර්ගය බවට පත් වෙලා. ඒක නිසා ප්‍රසිද්ධිය ලබා ගෙන ලෝකේ වටේ යන්න අවස්ථාව උදාකරගෙන ඒක තව කොටසකගේ රස්සාව වෙලා. ඉතිං මම ඒකට දොස් කියන්නේ නැහැ, සතුටු වෙනවා මිසක. සමහර අපේ රසිකයින්ට ඒවා බලද්දී අපිව මතක් වෙනවා. අපි තමයි පුරෝගාමින් කියලා ඒ අය සතුටින් මතක් කරනවා. ඉතිං ඒවට අපි ඊර්ෂ්‍යා කුහකකම් කරන්නෙ නැහැ.



චූටි මල්ලි, පොඩි මල්ලි වෙන්න කලින් ඔබත් ගාමින්දත් හොඳ යාළුවෝ. තවම දෙන්නා යන්නෙ එක මඟ. ඒ බැදීම් මේ තරම් ශක්තිමත් වුණේ කොහොමද ..?


අපි දෙන්නා අතර හොඳ බොන්ඩ් එකක් තියෙනවා. ඒ බැදීම ඇති වෙන්නේ 1997 වර්ෂයේ තරුණ සේවා සභාවේදි. ඒ ආරම්භ කරපු ඇයි හොඳයිය හොඳ යාළුවෝ බවට පත් වුණා. අපි දෙන්නා අතර හොඳ අවබෝධයක් තියෙනවා. නිර්මාණ කරද්දී කතාබහ කරලා හොඳ දේවල් මොනවද අඩුපාඩු මොනවද කියලා තෝරා බේරාගෙන වැඩ කරන්න පුළුවන් . ආගිව්මන්ට්ස් ලොකුවට නැහැ. මොකද දෙන්නගෙන් කෙනෙක් මේක මෙහෙම වුණොත් හොඳයි කියලා කියනවා නම් ඒක එහෙම වෙන්න හේතු එක්ක තමයි කතා කරන්නේ. ඒ නිසා ප්‍රශ්න නැහැ ,


ගොඩක් හිත හොඳ වුණාම අමනාපකම් වැඩියි කියනවනේ, එහෙම අමනාපකම් ඇති වෙලා නැද්ද ..?


කිසිම වෙලාවක අපි රණ්ඩු කරගෙන තරහා වෙලා නැහැ. ඒක සහෝදර බැදීමක් හා සමානයි. අපි දෙන්නා විතරක් නෙමෙයි අපේ පවුල් අතරත් හොඳ බැදීමක් තියෙනවා. කොහේ හරි ට්‍රිප් යනවා නම් පවුල් දෙකම යනවා. තේකක් බොන්න එළියට ගියත් යන්නේ මමයි ගාමින්දයි එකට. වැඩි වෙලාවක් අපි දෙන්නා එකට ඉන්නෙ.


ඔබට ප්‍රේමය මුණගැහෙන්නේත් මාධ්‍ය ජීවිතේ නිසා. අවසානයේ ඇයව ගෙදරට කැන්දාගෙන එනවා..?


මගේ බිරිඳ රසිනි බණ්ඩාර. ඇය මනෝ උපදේශකවරියක් වගේම කථිකාචාර්යවරියක් හැටියට කටයුතු කරනවා. මම සිරස හිටපු කාලේ ඇයත් සිරසට ආවා වැඩ කරන්න. උසස් පෙළ විභාගය අවසන් කරලා ඇවිත් ටික කාලයක් වැඩ කරලා වැඩිදුර අධ්‍යාපන කටයුතු නිසා මාධ්‍ය ජීවිතෙන් අයින් වුණා. අයින් වෙලා විදෙස් ගත වුණා. සිරස ආයතනයෙදී තමයි ඇයව දැකලා කතාබහ කරලා අපි ආදරේ කරන්නේ. 2007 අවුරුද්දේ විවාහ වුණා , දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුව සුනෙලි වයස අවුරුදු 10යි. පුතා සුනෙර. එයාගේ වයස අවුරුදු 15ක්. කොතරම් කාර්යබහුල වුණත් පවුල් ජීවිතේ සතුටින් ගෙනියන්න මහන්සි වෙනවා.


විවාහ වෙන කාල වකවානුවේ ඔබ කාර්යබහුල චරිතයක්. ඒ කාර්යබහුලකම පුද්ගලික ජීවිතේට බලපෑවා කියන චෝදනාව ඇගෙන් ආවේ නැද්ද ..?



නැහැ. මොකද අපි වැඩ එක්ක කාර්යබහුල වුණත් පවුලේ වැඩකටයුතු එකිනෙකා අවබෝධයෙන් කර ගත්තා. දරුවන්ගේ වැඩ මම හොයලා බලලා කරනවා. කොවිඩ් කාලේ අපි හිටියේ ගෙදර. ලොකු කාලයක් එකට හිටියා. එළියට යන්න බැහැ. වැඩ නැහැ. ගේ අස්සට හිර වෙලා පවුල එක්ක ඉන්න ලැබුණා. ඒක ලොකු විවේකයක් හැටියට මම දැක්කේ. ඒ කාලේ අපි හරි විනෝදෙන් කාලේ ගත කළා. වැඩිපුර කාලයක් හැමෝම එකතු වෙලා ෆිල්ම් බැලුවා. හරි විනෝදෙන් ජීවත් වුණා. ඒ නිසා ලයිෆ් එක මිස් වෙලා කියලා එයා කවදාවත් කියලා නැහැ


තාත්තගේ ජනප්‍රියත්වය දරුවන්ට කොහොමද බලපෑවේ,


දරුවෝ දෙන්නා යන්නෙ පාසල් දෙකකට. එයාලගේ පාසලෙ අස්පස් කරන වැඩවලට දෙමාපියන් සම්බන්ධ වෙන්න වුණොත් මම යනවා. දුව ඉගෙන ගන්නේ කොළඹ විශාකා විද්‍යලයේ. ඒ පාසලට එන්නේ ජනප්‍රිය විවිධ නිල තල දරන අයගේ දරුවෝ . ඉතිං මම කලාකරුවෙක් හැටියට හොඳ ආදරණීය ප්‍රතිචාර ලබනවා. ඒ ගැන සතුටුයි මට


මම ජනප්‍රියයි කියන එක මගේ දරුවට අදාළ නැහැ, එයාලා හොඳින් ඉගෙන ගන්නවා. නමුත් එයාලගේ තාත්තා චූටි මල්ලි කියලා දන්න දරුවෝ දෙමාපියන් වගේම ගුරුවරු ඉන්නවා.


චූටි මල්ලි පොඩි මල්ලි දශක දෙකකට එහා බිහි වුණු චරිත, අලුත් පරම්පරාවේ ප්‍රතිචාර කොහොමද ..?


ලැබෙන ප්‍රතිචාරවලින් තෙරෙනවා එදා වගේම අද ඉන්න පරම්පරාවේ දරුවොත් අපිව දන්නවා, අපි කරන නිර්මාණ රසවිඳිනවා කියලා. අපේ ප්‍රතිචාරවලට පරම්පරා භේදයක් නැහැ. ඒ ගැන නිහතමානී ව සතුටු වෙන්න පුළුවන්.


සුනෙත් ගේ කටහඩ අවුරුදු විසිපහකටත් එහා කාටුන් සඳහා යොදා ගන්නවා..?


අවුරුදු විසිපහක් විතර හඬ කවනවා. සොනික්, සූටිං මාටිං, සූරපප්පා වගේ ගොඩක් කාටුන් සඳහා මගේ හඬ යොදා ගත්තා. තවම හඬ කවනවා. පොඩි ළමයි තවමත් පරණ කාටුන් ආයේ ආයේ බලන්න ආසයි. ඒකත් වෙනම කලාවක්. ඒ වගේම මගේ ළඟට ඇවිත් කතාබහ කරන අය අතරේ කාටුන් බලන අයත් ඉන්නවා. කාටුන් බොහෝමයකට මම හඬ කවලා තිබුණත් පරණ කාටුන් තවම රසවිදින අය ඉන්නවා.


මිලියන 600ට එහා ආදායම් ලැබූ ,අදායම් වාර්තා බිද හෙළු චිත්‍රපටයක් තමයි ගජමෑන් කියන්නේ , තවමත් කතාබට ලක් වෙන ගජමෑන් චිත්‍රපටයේ ඔබත් ගාමින්දත් ප්‍රධාන කොටස් කරුවෝ..?


අපි දෙන්නා තමයි ප්‍රධාන චරිත දෙකට හඬ කවන්නේ. ඒ වගේම තිරපිටපත් අපි දෙන්නගේ. ප්‍රවීණ කාටුන් ශිල්පි කැමිලස් පෙරේරා මහතා උදව් කළා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය චානක පෙරේරාගේ. චානක අපිට ආරාධනා කරද්දී අපි ඔහුව දන්නෙ නැහැ. ඒක පිටිපස්සේ ඉන්නේ ලොකු චරිතයක් වූ කැමිලස් මහතා කියලා දැනගත්තම චානක දක්ෂයෙක් කියලා හිතුවා. ඔහු ගැන හොයලා බැලුවම ඔහු දක්ෂයෙක්. වැඩේට අපිත් සම්බන්ධ වුණා. ප්‍රථම ත්‍රී ඩී ඇනිමේෂන් චිත්‍රපට ය මෙයයි. දශක ගණනක ඉඳලා කැමිලස් මහතාගෙ කාටුන් ජනප්‍රිය යි. ඉතිං ඒවගේ දැවැන්ත දක්ෂයෙක්ගේ කාටුන් එක්ක හැදුනු ගජමෑන් ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. එය නරඹන්න බොහෝ දෙනෙක් ආසාවෙන් හිටියා. තවම ප්‍රතිචාර ඉහළින් තියෙනවා කියන්න පුළුවන්. මම හඩ කැව්වේ ඇම්ඩාට.


ඔබ හඩ කවන කාටුන් ඔබේ දරුවන් නරඹලා ප්‍රතිචාර දක්වනවද..?


ඒ දෙන්නා ඉංග්‍රීසි කාටුන් බලන දෙන්නෙක්. සමහර වෙලාවට මගේ හඬ කැවීම් බලනවා. දෙරණ එෆ් එම් එකේ යන වැඩසටහන බිරිය නම් හැමදාම අහනවා. ඒක අහන ගමන් එයා වැඩ කරන්නේ. මාත් ඉතිං ඒක අහන්න පුරුදු වෙලා බිරිඳ නම් ප්‍රතිචාර දක්වනවා, දරුවන් ඒ ගැන හිතන්නේ නැහැ.


හර්ෂණී වීරරත්න

Previous Post Next Post