මේ දවස්වල එයා ගොඩක් සතුටින් ඉන්නෙ ගමේ ලස්සනම ලේලි නිසා -පියත් රාජපක්ෂ




ගමේ ලස්සනම ලේළි අපෙ අම්මගෙ වේවී‘ මේ, මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම ලබන පියත් රාජපක්ෂගේ ‘බඳිමු සුදා‘ ගීතයෙහි ජනප්‍රියම පද පෙළයි. තම හද පත්ලෙහි නැඟෙන පෙම් හැඟුම් පද වැලක අමුණා ඇරයුමක් ලෙසින් තම පෙම්වතියට පුදන පියත් මෙන්ම ඔහුගේ රාජපක්ෂ පවුල ද මේ දිනවල අතිශයින්ම ජනප්‍රියත්වයට පත්ව ඇති බව මිලියන තුනකට ආසන්න ප්‍රේක්ෂක පිරිසක් මේ වන විටත් ගීතය නරඹා තිබීමෙන් තහවුරු වෙයි. නා නා අයුරින් සමාජ මාධ්‍යවල සංසරණය වන මෙම ගීතය මෙතරම් කතාබහට ලක්වීමට හේතුව වී ඇත්තේ ඔහුගේ පවුලේ නම යොදාගෙන තිබීම මෙන්ම ඔහුගේ සැබෑ පෙම්වතියම මෙහි රූප රචනය සඳහා යොදා ගැනීමයි. ගීතය සමාජගත කිරීමේදී යම් අභියෝගයක් තමා මත පවරා ගත් බව පියත් අප හා එක්වෙමින් කියා සිටියේය.



මේ දිනවල වයිරල් වෙන ඔබේ ‘බඳිමු සුදා‘ ගීතය සමාජ කැලඹීමක් ඇති කරපු ගීතයක් බවට පත්වෙලා. කොහොමද ලැබෙන ප්‍රතිචාර?


ඒක නම් හිතාගන්නත් බැරි තරම්. මේ වෙද්දි මිලියන තුනකට ආසන්න පිරිසක් මේක නරඹලා. සෝෂල් මීඩියාවල දිගටම ට්‍රෙංඩින් වෙනවා. ඊටත් වඩා එළියට බැස්සම ලැබෙන ප්‍රතිචාරවලින් තේරෙනවා වයස් භේදයකින් තොරව වැඩිහිටි පරම්පරාවත් මේ ගීතය එක්ක බැඳිල කියලා. මෙච්චර කල් මට හිටියෙ තරුණ ඕඩියන්ස් එකක් විතරයි. මේ ගීතයත් එක්ක ඒක පුළුල් වෙලා කියල හිතෙද්දි පුදුමාකාර සතුටක් දැනෙනවා.


ඔබේ පවුලත් රාජපක්ෂ පවුලක්. මේ වචනය යොදා ගනිද්දි ඔබම ඔබේ ගීතය අභියෝගයකට ලක්කළා කියල හිතුනෙ නැද්ද?


මගේ යාළුවොත් ඕකම කිවුවා. ඕක හොඳ පැත්තට ගියොත් හොඳයි. නරක පැත්තට ගියොත් ගැටලුවක් වෙයි කියලා. මේක හරි වැඩක්නෙ. මේකෙන් කියවෙන්නෙ මගේ පවුල ගැන. මගේ නම මගේ ගීතයකට යොදාගන්න බැරි නම් මොකක්ද මේකෙ තේරුම කියලා මං කිවුවා. කමක් නැහැ, මම ඒ රිස්ක් එක ගන්නව මොකද වෙන්නෙ කියල බලමු කියල මං ඒ දේ කළා. තාම නම් කිසිම අවුලක් වුණේ නෑ.


ගීතයේ පද රචනයත් ඔබේමයි. ඇයි මේ වගේ අදහසක් ආවේ?


මම මේ ලොකුකමකට කියනව නෙවෙයි. ඇත්තටම සඳුනි කියන්නෙ ලස්සන ගෑනු ළමයෙක් නිසා මේක අමුතුවෙන් කියන්න දේකුත් නෙවෙයි. ඒත් මං මේකෙ ලියල තියෙන්නෙ මගේ හදවතේ පතුලෙන්ම එන වචන ටිකක්. මේ මගේ කතාව. මම එයාටත් කිවුවෙ ඔයා ලස්සන නිසා තමයි මගේ අතින් මේ වගේ පද පෙළක් ලියවුණේ කියලා.‍


ගීතය නිර්මාණය වුණු හැටිත් කියමු ද?


මේකෙ පද රචනය, තනුව මගේ. සංගීත නිර්මාණය සඳහා මාත් එක්ක ලහිරු ද කොස්තා සම්බන්ධ වුණා. මියුසික් වීඩියෝ එක අධ්‍යක්ෂණය කළේ සහන් වික්‍රමාරච්චි. මාත් එක්ක රංගනයෙන් එකතු වු‍ණේ මගේ පෙම්වතිය සඳනි ප්‍රනාන්දු, මගේ අම්මා, තාත්තා, අක්කලා දෙන්නා, එයාලගෙ ළමයි වගේම සඳනිගෙ අම්මයි, තාත්තයි. මේක මගේ පවුලෙ කතාව. මගේම පවුල තමයි වීඩියෝව පුරාවට ඉන්නෙ. මගේම පවුල යොදාගෙන මේ වගේ නිර්මාණයක් කරන්න ලැබීම ලොකු සතුටක්.


ගමේ ලස්සනම කෙල්ල ගෙදරට ගේනවට ඇත්තටම අම්මා කැමතිද?


ඔව්. ඔව්. එයා ගොඩක්ම කැමතියි. මේ දවස්වල එයා ගොඩක් සතුටින් ඉන්නෙ, ගමේ ලස්සනම ලේළි එයාගෙ නිසා.


කොහොමද එතකොට පියත් සඳනි ආදර කතාවට මුල පිරෙන්නෙ?


සඳනි මාරවිල. මං කැලණියෙ. දැන් නම් එයා අපේ ගෙවල් ළඟ නැවතිලා ඉන්නෙ. මගේ මුල්ම මියුසික් වීඩියෝ එක ‘ප්‍රියාවී’ කරද්දි තමයි අපි මුලින්ම හමුවෙන්නෙ. එයා ඒකට රංගනයෙන් දායක වුණා. ඒ දැනහැඳුනුම්කම තමයි මේ දක්වා ආවෙ.


පළමු හමුවීමෙන්ම ඇතිවුණු ආදරේ මේ දක්වා පවත්වාගෙන එද්දි ගැටලුකාරී තැන් තියෙන්න ඇති?



අපි දෙන්න, යන්නෙ මාවත් දෙකක. තනි තනිව යායුතු තැනදි අපි එහෙම ගියා. එකතුවෙන්න ඕන තැනදි අපි එකතු වුණා. අපිට අපේ කේෂ්ත්‍ර දෙක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා ගැටලු ඇති වුණේ නැහැ. හැම වෙලාවෙම සියයට සීයක් එකඟ වෙන්න බැරි අවස්ථා තියෙනවා. ඒත් ඒ දේවල් තේරුම් අරගෙන අපි අපේ ගමන යනවා.


ගමේ ඉන්න ලස්සනම ලේලි අම්මට ගෙනත් දෙන්නෙ කවදද?


අපි තාම ඒක තීරණය කරල නැහැ. මේ වෙලාවෙ අපි දෙන්නගෙම ෆෝකස් එක තියෙන්නෙ වෙන තැනක. මගේ සින්දුව හිතුවටත් වඩා ට්‍රෙංඩින් වුණා. මේ රටේ විතරක් නෙවෙයි ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කටාර්, ඩුබායි වගේ විදෙස් රටවලත් ටික්ටොක් වගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් හරහා හිතාගන්න බැරි විදිහට ට්‍රෙන්ඩිං වෙනවා. ඒ වගේම සඳනිගෙ පළමුවෙනි සිනමා අත්දැකීමත් මේ දිනවල තිරගත වෙනවා. මේ දේවල් එක්ක මේ අවුරුද්ද අපි ගොඩක් මහන්සි වෙනවා. අපි තාමත් හිතනව ඒ දවස කරගන්නෙ කවදද කියලා.


ගමේ ලස්සනම කෙල්ල තමන්ගෙ ලේළි කියල දැනගනිද්දි නැන්දම්මගෙ ප්‍රතිචාරය කොහොමද?



සින්දුවටත් සෑහෙන්න ප්‍රතිචාර ලැබෙන නිසා මේ දවස්වල නැන්දම්මා ගොඩක් සතුටින් ඉන්නෙ. කොහොමත් අපේ අම්මා ජීවිතේ හරිම සතුටින් ගෙවන කෙනෙක්. තාත්තත් එහෙමයි. මේ නිර්මාණයටත් සම්බන්ධ වුණ නිසා රාජපක්ෂ පවුලෙ හැමෝම මේ දවස්වල ගොඩක් සතුටින් ඉන්නෙ.


පියත් රාජපක්ෂ කියන ගායකයා ප්‍රේක්ෂකයන් හොඳින් හඳුන ගත්තෙ ‘දවසක් ඒවී‘ ගීතයෙන් නේද?


ඔව්. මං මීට කලින් කරපු ‘දවසක් ඒවී’ ගීතය ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා. එදා මං හිතුවා ඒ තරම් සමාජගත වෙන ගීතයක් නැවත මගේ අතින් නිර්මාණය වෙන එකක් නෑ කියලා. ඒත් මේ වෙද්දී ඒ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා හිතාගන්නවත් බැරි විදිහට. ‘බඳිමු සුදා’ ගීතය ඊටත් වඩා ඉදිරියට ඇවිත්.


සඳනි දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක් වීම ඔබේ නිර්මාණවලට වාසියක් නේද?


ඒක ඇත්‍තක් වුණත් මං මගේ හැම නිර්මාණයකටම එයා යොදාගන්නෙ නෑ. අපි දෙන්න නිතරම එකට දකින්න ඕනත් නෑ කියල මට හිතෙනවා. එයා එයාගෙ විදිහට එයාගෙ ගමන තනියම යාවි. මම මගේ විදිහට මගේ ගමන යනවා. අපි දෙන්න එකතුවෙන්න ඕන තැනදි එකතු වෙනව මිසක් අපි මේ දෙක පටලගන්නෙ නැහැ.


ඉදිරියටත් මේ වගේ සමාජ කැලඹීම් ඇති කරන්න බලාපොරොත්තුවක් තියේද?


මගේ තව ගීත 5ක් විතර මේ අවුරුද්දෙ එන්න තියෙනවා. ඒ වගේම මගේ WEPLUS සංගීත කණ්ඩායමේ ගීතයකුත් එළියට එන්න තියෙනවා.




Previous Post Next Post