මම නිතරම හීන දකින කෙනෙක්-ටානියා ශෙලෝන්



ටානියා ශෙලෝන් වාසනා මුණසිංහ මේ වෙද්දී ක්ෂේත්‍රයේ කා අතරත් දන්නා චරිතයක් වෙලා ඉන්නේ ශෙලෝන් මුණසිංහ නමින්. විවිධ චරිත ඔස්සේ ශෙලෝන්ව මේ කලා ක්ෂේත්‍රය තුළ විවිධ චරිත ඔස්සේ අද අපට දකින්නට පුළුවන්. ඊට හේතුව ඇය මේ වෙද්දී කලාවේ විවිධ භූමිකාවන් තුළ සිය දායකත්වය ලබා දෙමින් ඉන්න දක්ෂ සුන්දර තරුණියක් වීමයි.


ශෙලෝන් කොහොමද මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්නේ?


මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 12කට කිට්ටුයි. 11 වසර වගේ වෙද්දී පාසල තුළින් මාව වේදිකාව පැත්තට යොමු කරලා තිබ්බා. මම ගිය පාසල කලාවට නැඹුරු පාසලක්. මම උසස් පෙළට කළේ මිඩියා, ඩ්‍රාමා සහ ඩාන්සින්. පාසලෙන් මට කිව්වේ ඩ්‍රාමා පැත්තට ඔයාගේ දක්ෂතා තියෙන්නේ ඒ නිසා පැත්තට යන්න කියලා. ඔය අතරේ මගේ ගමේ තිබුණා පටිබා කියන වැඩසටහනක්. මගේ පාසලේ අයියා කෙනෙක් මේ වැඩසටහන එක්ක හිටියා. ඔය කාලේ අපේ ගමේ සුදත් රෝහණ මහතාගේ ගිරිකුළ නාට්‍යයයේ ෂූටින් තිබුණා. ඉස්කොලේ අයියා චන්දන වීරසිංහ. එයා කිව්වා නාට්‍යයට අවශ්‍ය කරන ඒ මොහොතේ ගමේ චරිත කිහිපයක් තියෙනවා අපිත් යමුද කියලා. එතැනදී කුමාරි කියලා අක්කා කෙනෙක්ට මාව හඳුන්වා දුන්නා. ඒ අක්කා දැන් චිත්‍රපට ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ දෙන්නා හරහා තමයි මමත් එකතු වුණේ. මගේ අම්මා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ මම රඟපාන්න යනවට. අම්මට ඕනේ වුණේ මාව ගායිකාවක් කරන්න. එහෙම නැත්නම් එයාලා කැමති වුණේ මම විශ්ව විද්‍යාලයට ගිහින් ලෙක්චර් කෙනෙක් වෙනවා දකින්න.


රංගනය ගැන හදාරලා තියෙනවද?


මම උත්සහ කළා රංගනය ගැන හදාරලා ක්ෂේත්‍රයට එන්න. එක පාරට මට මේ දේ කරන්න බැහැ කියන එක මම දැන ගත්තා. අපි මොන තරම් කිව්වත් කැමරාවක් ඉස්සරහට ගියාට පස්සේ තමයි තේරෙන්නේ හරි අමාරුයි කියන එක. අපිට දෙන ස්ක්‍රිප්ට් එකක් දීලා ලයිට් සෙට් කරලා දැන් හරි කියද්දී මට ආවේ ප්‍රවීණයෝ මොනවා කියයිද කියන බය. කැමරාවට නුහුරු බව තිබුණා. වේදිකාවේ අත්දැකීම් තිබුණට කැමරාව ඉස්සරහ ඇක්ෂන් කට් ඇතුළේ මට අත්දැකීම් තිබුණේ නැහැ. මගේ ආදරණීය ගුරුතුමා මහේන්ද්‍ර පෙරේරා. මම ගිහින් දෙවැනි දවසේදී මට කිව්ව දෙයක් තමයි ලොකු අක්කේ ඔයා මේක කඩාගෙන ඉස්සරහට යයි කියලා. ඒතරම් ඔහු සතුටු වුණා මගේ ඇක්ටින් දැකලා. ඒ එක්කම දමයන්ති ෆොන්සේකා අක්කා යටතේ මම රංගනය ගැන බොහෝ දේ ඉගෙන ගත්තා.


රංගනයට ලැබුණු අවස්ථා ගැන තෘප්තිමත් ද?


මම අද වෙද්දී ජනප්‍රිය රංගන ශිල්පිනියක් නෙවෙයි. මම කරන වැඩ එක්ක දැන් තෘප්තිමත්. මට පිටපත අතට දීලා ෂූටින් දින වකාවානු කියලා අන්තිම මොහොතේ ඒ චරිතය මට නොලැබුණු අවස්ථා තියෙනවා. මම හිතනවා මට තෘප්තිමත් වෙන්න තරම් මගේ හැකියාවන්ගෙන් කවුරුත් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ කියලා. මට දෙන චරිතය මම උපරිමයෙන් කරනවා. අනේ තව පාරක් මට ඒ චරිතය කරන්න තිබ්බානේ කියන එක මට දැනෙනවා කියන්නේ මම තාමත් ඉගෙන ගන්නවා. තෘප්තිය කියන දේ ලබන්න නම් මේ ක්ෂේත්‍රය තුළ කවදාවත් ප්‍රවිණයෙක්ටවත් බැරි වෙයි. මම මේ කිව්වේ කලාව පැත්තෙන්. මුදල් අතින් නම් ඒක ඊට වැඩිය හාත්පසින්ම වෙනස්.


රංගනයට අමතරව ඔබ නිවේදිකාවක්?


මගේ නිවේදන භූමිකාව හැදෙන්නෙත් පාසල තුළින්. මම පාසලේ කැපී පෙනුණු ළමයෙක්. මම ආස කළේ කතා කරන්න. මට ඕනේ වුණේ තව කෙනෙක්ව සතුටු කරන්න. එක අවස්ථාවක මට කෙනෙක් කියනවා ඔයා ඔයාගේ ජීවිතේට තවම දෙයක් කරගෙන නැහැ. ඔයාට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියන එක. මීට අවුරුදු 9කට කලින් මට අවස්ථාව ලැබෙනවා චැනල් C එකට නිවේදිකාවන් හොයන ඔඩිෂන් එකෙන් සමත් වෙන්න. ඒ ජොබ් එකට යන පළවෙනි දවසේ මගේ පළමු පෙම්වතා ඇක්සිඩන්ට් එකකින් නැතිවෙනවා. එතනින් තමයි මගේ ජීවිතේ කඩා වැටීම පටන් ගන්නේ. එතනින් පස්සේ මම නිවේදන හීනය අතහරිනවා. වසර තුනකට පස්සේ නැවතත් මට අවස්ථාව ලැබෙනවා චැනල් C එකත් එක්ක සම්බන්ධ වෙන්න.


ජීවිතේ මෙතෙක් ආපු ගමන් මඟ දැනෙන්නේ කොහොමද


ජීවිතේ මම දකින්නේ සුන්දරව. මම ආපු මගේ මල් නම් නොතිබුණු තරම්. මම එන්නේ කුරුණෑගල ඉඳන් තනියම. මගේ තාත්තා අවුරුදු හතේ දී නැති වෙනවා. තාත්තා ආසම දිල්හානි අසෝකමාලාට. ඒ නිසාම තාත්තා මට ගෙදරට කිව්වේ දිල්හානි කියලා. තාත්තට ඕනේ වුණේම මම නිළියක් වෙනවා දකින්න. මට ඒ හීනේ දුන්නේ තාත්තා. මට පුංචි කාලේ තාත්තා කියලා දුන්න හැමදේම අද වගේ මතකයි. මට ඉන්නේ අක්කලා දෙන්නෙක්. ඒ නිසා තාත්තා මාව හැදුවේ කොල්ලෙක් වගේ. ජීවිතේට මොන දේ ආවත් දරාගෙන ජීවත් වෙන්න කියලා දුන්නේ තාත්තා. මම හරිම ආසයි අභියෝගවලට මුහුණ දෙන්න. මම ආස නැහැ අතීතය දිහා හැරිලා බලන්න. මම ඕනේ කෙනෙක්ට කියන්නේ එන ඕනෙම අභියෝගයක් බය නැතුව ගන්න. මම හැමවෙලේම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. මගේ හිතේ තියෙන්නම ධනාත්මක සිතුවිලි. ධනාත්මකව හිතන්න හිතන්න ජීවිතේ ලස්සනයි. කන්න විදියක් නැතුව වතුර බීලා නිදාගත්තු රැයවල් තියෙනවා නිළියක් වෙන්න ගමේ ඉඳන් ආපු ගමනේ දී. හැබැයි මම හැමකෙනාටම කියන්නේ ජීවිතේ කටුකයි කියලා හිතන්න එපා.


මේ කාලේ ආදරයක් අත්විඳිනවද?


මේ කාලේ මගේ ජිවිතේ නම්බර් වන් වෙන්නේ මගේ අම්මා තාත්තා හැරුණම මගේ යාළුවෝ. මම දන්නේ නැහැ මිනිස්සු මේක කොහොම භාරගනී ද කියලා. මගේ තාත්තා නැති වුණාම කෙල්ලෝ තුන් දෙනෙක් ජීවත් කරන්න අම්මා සෑහෙන දුක් වින්දා. ඒ නිසා මට ඕනේ වුණේ ආදරේ හොයන්නට වඩා මහන්සි වෙලා හරි විදියට සල්ලි හම්බ කරන්න. නමුත් මේක ඇතුළේ සල්ලි හම්බ කරන්න මම ලොකු ගේමක් ගහනවා. මම ප්‍රඩක්ෂන් වැඩ කරනවා. රඟපානවා. මොඩ්ල් කොඩිනේටින් වැඩ කරනවා. හැබැයි මම කවදාවත් මේ ක්ෂේත්‍රය විකුණන් කන්නේ නැහැ. ඒ දේවල් එක්ක මට ආදරේ කරන්න හරි අමාරුයි. ආදරේ කියන්නේ හරිම සුන්දර අත්දැකීමක්. මම ආදරේ පළවෙනි වතාවට කරද්දී මාව වෙව්ලනවා. මගේ පළමු ආදරේ මට අහිමි වෙනවා. පාසලේ ක්‍රීඩා සහ බාහිර ක්‍රියාකාරකම් කරපු නිසා මම ප්‍රසිද්ධ චරිතයක්. හැමෝම මට ආදරේ කළා. ඕනෙම තරාතිරමක කෙනෙක්ව මම සුන්දරව ඇසුරු කරනවා. මගේ තාත්තා මාව හැදුවේ කොල්ලෙක් වගේ. හැබැයි ගැහැනුකම තියාගෙන. මාව ජීවිතේ වට්ටන්න පුළුවන් එක දේ ආදරේ. ආදරේ නිසා වැටෙන හැම තැනකම මාව නැගිට්ටුවේ මගේ යාළුවො. උඹට කොහොමද මචං කියලා අහන්න හරි දැන් ඉන්නේ මට යාළුවො විතරයි. ආදරේ කියන දේ මට දැන් තිත්තයි. මම තාමත් ආදරේ කරන අයට සුබ පතනවා. මම කවදාවත් කාවවත් රවට්ටලා නැහැ. මම ආදරෙන් පැරදුනු නිසා ඩිප්ප්‍රෙෂන් වෙලා තියෙනවා. මම ආදරේ නිසා ජිවිතේ නැති කර ගන්න අවස්ථා කිහිපයකම උත්සහ කරලත් තියෙනවා. ඒ නිසා ලයිෆ් පාට්නර් කෙනෙක් තෝරා ගනිද්දී මම දුර්වලයි. අද වෙද්දී මම ආදරේ කරන්නේ මගේ ජීවිතේට, විශ්වයට මගේ අම්මා තාත්තට සහ මගේ යාළුවන්ට විතරයි. ආදරේ කියන්නෙම පිවිතුරු දෙයක්. හැබැයි මට ආදරේ කරන්න කෙනෙක් මේ වෙනකොට නැහැ. කාලයත් එක්ක මට ආදරේ කරන කෙනෙක් හමුවුණොත් මම කසාද බඳියි. නැත්නම් මම ජීවිත කාලෙම මේ විදියට ඉඳියි.


ඔබේ ඉලක්කය කොතනද?


මම හීන දකින කෙනෙක්. මහ දවල් බස් එකක යද්දී වුණත් ඇස් අරන් හීන දකින කෙනෙක්. මම ආසයි ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් වෙන්න. මාව ගෙනියන තැන තමයි මාව ලංකාවේ හැමෝම ආදරෙන් වැලඳ ගන්න බිස්නස් වුමන් කෙනෙක් විදියට. බිස්නස් පැත්තට මම හරිම කැමතියි. නිළියක් වෙන හිනයටත් වඩා එහා ගිය හීනයක් ඒක. ඒ අඩිතාලම කොයි මොහොතක හෝ ජීවිතේට වැටෙනවා නම් මම හරිම කැමතියි. ඉලක්ක තුනයි ජීවිතේ තියෙන්නේ හොඳ ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් වීම, හොඳ බිසන්ස් වුමන් කෙනෙක් වීම සහ කවදා හරි දරුවෙක්ට හොඳ අම්මා කෙනෙක් වගේම සැමියාට හොඳ බිරීයක් වෙන එක. විශේෂයෙන්ම කියන්න ඕනේ මාව මේ තැනට ගේන්න වචනයෙන් හරි උදව් කරපු හැම කෙනෙක්ටම ස්තූතියි. මාව විශ්වාස කරලා මට චරිත දුන්න, මට වැඩක් භාර දුන්න හැමෝටම ස්තූතිවන්ත වෙන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.


 අනුෂා රණසිංහ




Previous Post Next Post