මම මොඩ්ලින් පැත්තට යනවට එයා කැමති වුණේ නෑ-කාවින්දි නෙත්මිණී



රූමත් බව රැජනක් වීමට සුදුසුකමක් බව වාර්තා වූයේ අද ඊයේ නොවේ. මේ වන විට එය රූමත් බවින් ඔබ්බට යමින් විවිධ පරාසයන් කෙරෙහි විහිදී යන්නකි. ශ්‍රී ලංකාව ද මේ වන විට ඊට අනුගත වෙමින් සිටින බව පැහැදිලි වන්නේ පහුගිය වසරවල ලෝක රූ රැජන කිරුළු හිමිකරගත් ලාංකේය රූ රැජනන් නිසාය. අද අපේ කතාබහට ලක්වන කාවින්දි නෙත්මිණී මෙවර ඉන්දියාවෙහි පැවැත්වෙන ලෝක රූ රැජන කිරුළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නීය.


කුඩා කල පටන් දුටු සිහිනය සැබෑ වූ අවස්ථාවට පසුබිම සැකසුණු ආකාරය ගැන කාවින්දී මෙසේ අප හා පැවසුවාය.



“මට අවුරුදු 16 විතර ඉඳන් ලොකු ආසාවක් තිබුණා මිස් ශ්‍රී ලංකා වෙන්න. ඒත් අපේ ගෙදරින් ඒකට කැමති වුණේ නෑ. තාත්තට ඕන වුණේ අධ්‍යාපනය පැත්තෙන් ඉහළටම ගිහින් මං විධායක ශ්‍රේණියේ රැකියාවක් කරනවට. අපේ පවුලෙ හැමෝම අධ්‍යාපනයෙන් ඉහළටම ගිය නිසා එයාට ඕන වුණේ මාවත් ඒ පැත්තෙන්ම යවන්න. මොඩ්ලින් පැත්තට යනවට කැමති වුණේම නෑ. මං හොඳට ඉගෙන ගෙන තාත්තගේ බලාපොරොත්තුව ඉටු කළත් මගේ හිතේ තිබුණ හීනයත් නැති වුණේ නෑ. “


කිරිබත්ගොඩ විහාර මහා දේවී බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ කාවින්දි උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වී වැඩිදුර අධ්‍යාපනය හදාරා ඉන් පිටවූයේ මූල්‍ය කළමනාකරණ උපාධිධාරිනියක් ලෙසිනි.


“විශ්වවිද්‍යාලෙන් පිට වුණාට පස්සෙ මං රැකියාවක් කළා. ටික කාලෙකින් ඒකෙන් අයින් වෙලා එඩියුකේෂනල් කන්සල්ටන්සි පැත්තේ ව්‍යාපාරයක් පටන් ගත්තා. මේ වෙද්දි මං යටතේ සේවකයන් 15ක් විතර සේවය ඉන්නවා. “


පාසලේ මෙන්ම සරසවියේදී ද බාහිර ක්‍රියාකාරකම් කෙරෙහි යොමුව සිටි කාවින්දි පාසලේ දී ඇරබික් ජිම්නාස්ටික්, ඩාන්සින්, ස්විමින් වැනි අංශවලින් සමස්ත ලංකා ජයග්‍රහණ පවා ලබමින් දේශීය තූර්ය වාදක කණ්ඩායමේ නායිකාව මෙන්ම ශිෂ්‍ය නායිකාවක් ලෙස ද කටයුතු කළාය. අධ්‍යාපනය මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලදී ද දැක්වූ ඉහළම දක්ෂතා හේතුවෙන් ඇය 2015 වසරේ, වසරේ හොඳම ශිෂ්‍යාව ලෙස ද තේරී පත්වූවාය.



ආර්ථික දුෂ්කරතා මැද තම අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කරගත් කාවින්දි තමා උපයන මුදලින් කොටසක් වෙන් කර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුවෙක්ට අවුරුදු පහක ශිෂ්‍යත්වයක් ලබාදීමට කටයුතු කළාය. යහපත් ක්‍රියාවන්හි යෙදෙන්නන්ට යහපතක්ම වනවා යැයි කියන කියමන සනාත කරමින් ඇයගේ සද්ක්‍රියාවට පුදන මල් මිටක් මෙන් අද එය ‘සිසු අඹර ශිෂ්‍යත්ව පදනම‘ දක්වා වර්ධනය කරගැනීමට හැකියාව ලැබී ඇත්තේ ද විශාල පිරිසකගෙන් ලැබුණු අනුග්‍රාහකත්වය හේතුවෙනි.


මේ සියල්ල අතරේ කාවින්දිගේ සිතේ කොනක සැඟව තිබුණු මිස් ශ්‍රී ලංකා සිහිනය යළිත් ඉස්මතු වන්නට වූයෙන් ඇය යළිත් ඒ සඳහා උනන්දුවන්නට වූවාය.


“සල්ලි උපයන්න පටන් ගත්තට පස්සෙ මොඩ්ලින් පැත්තට යොමුවුණේ මගේ හීනය සැබෑ කරගැනීමේ අරමුණෙන්. මුලින්ම පොඩි පොඩි නිරූපණ අවස්ථා සඳහා ඉල්ලුම් කළා. ඒ අතරේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් යටතේ කැට් වෝක් එක ගැන ට්‍රේනින් කෝස් එකක් කළා. හැම පැජන්ට් එකකටම වගේ මං ඇප්ලයි කළා. 2021 වසරේ මිස් ඉන්ටකොන්ටිනෙන්ටල් පැජන්ට් එකට ඇප්ලයි කළත් තේරුණේ නැහැ. 2022 රූපවාහිනී අවුරුදු කුමරිය අවසන් සිය දෙනා අතරට ආවා. ඊට පස්සෙ ITN අවුරුදු කුමරියටත් ඉදිරිපත් වුණා. ආයෙමත් 2022 මිස් ඉන්ටකොන්ටිනෙන්ටල් පැජන්ට් එකට ඉදිරිපත් වෙලා අවසන් අට දෙනා අතරට ආවා. ඔය අතරේ මිස් නේචර් ක්වීන් කියලා අලුතෙන් පැජන්ට් එකක් තිබුණා. ඒකෙ අන්තිම දොළොස්දෙනාට තේරිලා අවසන් තරගයෙන් මිස් පර්සනල්ටි සහ මිස් බියුටිෆුල් ස්මයිල් කියන මිනි ටයිට්ල් දෙක ජයග්‍රහණය කළා. එතැන තමයි මට මේ ගමනේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. ඊට පස්සෙ මට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම මෙතරම් දුර එන්න මාවත සැකසුණේ ඒ ජයග්‍රහණය නිසයි. ඒකත් එක්ක ෂෝස්වලට, පත්තර මැගසින් කවරවලට ආරාධනා ලැබුණා.



ඊට පස්සෙ මට මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා වෙන්න ආසාවක් ඇති වුණා. රටේ පැවැති අර්බුදකාරී වාතාවරණය නිසා 2019න් පස්සෙ මිස් වර්ල්ඩ් තරග පැවැත්වුණේ නැහැ. ඒ අතරෙත් මං සියත අවුරුදු කුමරියට ඇප්ලයි කරලා අවසන් අට දෙනා අතරට ආවා. එතනදි සංගීතා වීරරත්න, සේනක ද සිල්වා වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අඳුනගන්න ලැබුණා. ඊට පස්සෙ මිස් ග්‍රෑන්ඩ් නොමිනේෂන් එකට ඇප්ලයි කළා. ඊටත් පස්සෙ තමයි මිස් වර්ල්ඩ් ඇප්ලයි කළේ. සාමාන්‍යයෙන් රටක අර්බුදකාරී වාතාවරණයක තරගයක් නොපවත්වා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයගෙන් හෙඩ් හන්ටින් කරල රට නියෝජනය කරන්න කෙනෙක් තෝරගැනීමේ හැකියාවක් තියෙනවා. 2021ත් එහෙම කරල තිබුණා. 2023 දී ඔඩිෂන් එකේදි තමයි මං මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා වුණේ. ඒ 2023 සැප්තැම්බර්වල. ඊට පස්සෙ ගොඩක් පුහුණු වීම් කළා. සේනක ද සිල්වා යටතේ කැට් වෝර්ක් එක වගේම කතාබහ කරන හැසිරෙන විදිහ පුහුණු කළේ කුමාර් ද සිල්වා. ඊට අමතරව සංගීතා වීරරත්න, රමණි ප්‍රනාන්දු, ධනංජය බණ්ඩාර, ශෙරීන් කුමාරතුංග, චන්න විජේවර්ධන වගේම අතුල මහවලගේ යටතේත් ඒ ඒ අංශයන්ගෙන් පුහුණුවීම් කළා. ඒ සියල්ල අවසානයේ පහුගිය දෙසැම්බර් 19 වැනිදා ගල්කිස්ස මහ හෝටලේදි පැවති උත්සවයෙදි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා විදිහට නිල වශයෙන් මට ක්‍රවුන් එක පැලඳුවා.“


2024 මිස් වර්ල්ඩ් පැජන්ට් එක පෙබරවාරි 18 වැනිදා ඉන්දියාවේ දිල්ලි නගරයේ පැවැත්වෙන අතර අවසන් වටය මාර්තු 9 වැනිදා මුම්බායිහිදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සති තුනක පමණ කාලයක් ඉන්දියාවේ රැඳී සිටින කාවින්දී සුන්දරත්වයට පමණක් සීමා නොවන මෙම කිරුළ දිනා ගැනීමට අවශ්‍ය ඉලක්කයන් අතර හෙඩ් ටු හෙඩ් චැලේන්ජ්, මල්ටි මීඩියා චැලේන්ජ් මෙන්ම ටැලන්ට් රවුන්ඩ් සඳහා මනා පුහුණුවක් ලබාදුන් සැමට මෙන්ම ඇගේ ගමන සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ සැමටත් සිය ස්තුතිය හා ගෞරවය පුද කරන බව ද පැවසුවාය.


නාමලී ගමගේ




Previous Post Next Post