හොඳ කෙනෙක් ලැබුණොත් ආදරේ කරනවා- ඉෂාරි කුමාරසිංහ

 


ඉෂාරි කුමාරසිංහ කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය හරහා රංගනයට ආ නවක නිළියක්. ඇය මේ වෙද්දී නීල පබළු, තුන්පානේ, රාවණා, තාදී, ආදී බොහෝ නිර්මාණවලට දායක වී තිබෙනවා. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රයට සහ මියුසික් වීඩියෝ සඳහා ද ඇය සිය දායකත්වය සපනයවා.


ඔබ කොහොමද කලා ක්ෂේත්‍රයට එන්නෙ?


මොඩ්ලින්වලින් තමයි මම මේ කලා ක්ෂේත්‍රයට එන්නේ. මොඩ්ලින් ගැන හදාරලා ඒ ගැන ඉගෙන ගෙන ක්ෂේත්‍රයට ආවම මට අවස්ථාව ලැබුණා තියටර් ඩ්‍රාමා ගැන ඉගෙන ගන්න. ඉන්දියාවේ කොල්කටාවල වැඩමුළුවලට සහභාගි වුණා. ඒ හරහා තමයි රංගනයට එන්නේ.


පළමු රංගන අත්දැකීම ගැන මතක් කළොත්?


වේදිකාවේ තමා පළමු අත්දැකීම තියෙන්නේ. බැද්දේගම කියන වේදිකා නාට්‍යය.


මේ වෙද්දී සම්බන්ධ වෙන්න ලැබුණ නිර්මාණ මොනවද?


තියටර් ඩ්‍රාමාවලින් පටන්ගෙන ටෙලි ඩ්‍රාමා, කෙටි චිත්‍රපටවලට දායක වෙන්න ලැබුණා. ප්‍රධාන වශයෙන් ගත්තොත් කාක්කොත් එක්ක බෑ කියන වේදිකා නාට්‍යය. ටෙලි ෆිල්ම් වලින් ස්වරණවාහිනී නාළිකාවේ විකාශය වුණු හීනවලට පාට දෙන්න එකේ ප්‍රධාන චරිතයක් කළා. ටෙලි නාට්‍යයවලින් කෝපි කඩේ, තුන්පනේ, රාවණා, තාදී සහ එන් කවුන්ටර් කියන නාට්‍යවල චරිත කළා. මේ දවස්වල දෙරණ නාළිකාවේ විකාශය වන නිකිණි කුසුම් නාට්‍යයේ ප්‍රධාන චරිතයක් කරනවා. ඊට අමතරව මියුසික් වීඩියෝ සහ කෙටි චිත්‍රපටවලට දායක වුණා. මම කැමතියි ලංකාවෙන් පිට ඉන්ටර්නැෂනල් වැඩවලට සම්බන්ධ වෙන්න. මේ වෙද්දී මම දෙමළ කෙටි චිත්‍රපටයක් කළා. එකේ නම මාර්කස්.


නිළියක් වීම සිහිනයක් සැබෑ වීමක් ද?


එහෙම ලොකු අදහසක් තිබ්බේ නැහැ නිළියක් වෙන්නම ඕනේ කියලා. මම එකවුන්ට්ස් පැත්තෙන් ඉගෙන ගත්තේ. මම මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ මගේ ලොකුම ඉලක්කය ප්‍රේක්ෂකයින්ට හරි දෙයක් දෙන හොඳ නිළියක් වෙන එක. ඒ වෙනුවෙන් තමයි මම රංගනය ගැන හදාරමින් මේ ක්ෂේත්‍රය තුළ ඉන්නේ.


රංගනයට අමතරව මොනවද කරන්නෙ?


මම පෞද්ගලික ආයතනයක වැඩ කරනවා. ගිය අවුරුද්දේ අවසානය වෙනකම් කෝපි කඩේ නාට්‍යයේ සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කළා. තව ටෙලි නාට්‍යය, කෙටි චිත්‍රපට සහ ටෙලි ෆිල්ම්වල සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරලා තියෙනවා. ඒ වගේම මම ITN එකේ නිවුස් රීඩර් කෙනෙක් විදියට වැඩ කළා අවුරුදු එකහමාරක් දෙකක් වගේ කාලයක්. මම මගේ තියෙන ටැලන්ට් මොනවද කියන එක හොයාගන්න නිතරම උත්සාහ කරනවා.


අමතක නොවන මතකයන් ඇති?


මතකයන් ගොඩක් තියෙනවා. සතුටුදායක සහ සතුටුදායක නොවන. සතුටුදායක දේවල් වලින් මම සතුටින් ජීවත් වුණා. සතුටු දායක නොවන දේවල් තුළින් මම පාඩමක් ඉගෙන ගත්තා. ගොඩක් තැන්වලදී මාව ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. මම හිමින් ආව ගමනක් තියෙන්නේ. ඒ ගමනේ දී අමතක නොවන සිදුවීම් ගොඩක් තියෙනවා.


ක්ෂේත්‍රයේ දී හැදෙන කටකතා ගැන මොකද හිතෙන්නෙ?


කටකතා ගොසිප් ගැන නම් මම හිතන්නේ නැහැ. අපි හොඳට හිටියත් කටකතාවක් හැදෙන්න පුළුවන්. ඒ මේ ක්ෂේත්‍රයේ හැටි. කතා හදන අය කතා හදපුදෙන්. මම මගේ වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්නවා. ඒ හදන කතා මම රසවිඳිනවා. ඒ විදිහට තමයි මම ජීවත් වෙන්නේ. අපි හරියට ජිවත් වුණොත් කවදා හරි ඔය හැදෙන කටකතා නැතිවෙලා යයි.


ලැබෙන ඕනේම චරිතයක් රඟපාන්න සූදානම් ද?


මම පිටපත බලනවා. පිටපත බලලා තමයි මම චරිත භාරගන්නේ. මට ලැබෙන චරිතය ඒ නිර්මාණයට ලබා දෙන දායකත්වය සහ එහි තියෙන ගුණාත්මක බව ගැන මම බලනවා.


ආදරවන්තියක් ද?


දැනට නම් මම ආදරවන්තියක් නෙවෙයි. ආදරේ කියන තැනදි මම බොහොම සාමාන්‍ය කෙනෙක්. නිතරම එල්ලීගෙන වදයක් වෙන්න කැමති නැහැ. මම හිතනවා අනිත් අයට සාපේක්ෂව මම ආදරේ කරන කෙනා ගැන අනවශ්‍ය විදිහට හොයන්න යන්නේ නැහැ. එහෙම තියෙද්දී ඒ විශ්වාසය රකින්න පුළුවන් ආදරෙන් ඉන්න පුළුවන් කෙනෙක් තමයි මම හොයන්නේ. මට මේ ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්න සහයෝගය දෙන හොඳ කෙනෙක් ලැබුණොත් ආදරේ කරනවා.


ජීවිතේට තියෙන ඉලක්ක මොනවද?


ඉලක්ක ගොඩක් තියෙනවා. කවදා හරි දවසක ලංකාවෙන් දෙයක් ලෝකෙට දෙයක් දෙන්න පුළුවන් තැනකට එන්න මහන්සි වෙනවා. ඒ වගේම මම කැමතියි අසරණ සත්තුන්ට උදවු කරන්න. පුළුවන් සමාජ සේවයක් පොඩියට හරි පටන්ගන්න. රංගනය තුළින් පවා සමාජයට මගෙන් හොඳ දෙයක් වෙනවට තමයි මම කැමති. ඒ වගේම හිතේ සතුටින් ජිවත් වෙන එක තමයි එකම බලාපොරොත්තුව.


අනුෂා රණසිංහ



Previous Post Next Post