යෝජිත විවාහයකින් එක් වුණත් දෙන්නගෙ ගැළපීම තකට තක- චන්දන වික්‍රමසිංහ



නර්තනය යනු නෙතට රසඳුනකි. ව‍ර්තමානය වන විට නර්තනයට යොමු වන පිරිස ද බොහෝය. නමුත් නිවැරැදි හැදෑරීම සහ අධ්‍යයනය හරහා ක්ෂේත්‍රයට පිවිසෙන්නන් ඇත්තේ අතළොස්සකි. ඒ අතරින් චන්දන වික්‍රමසිංහට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. දක්ෂතාව මෙන්ම උත්සාහය හා කැපවීම මත ඔහු අද නර්තන කලාවේ සන්නාමයක් බවට පත්වී ඇත. වේදිකාව, පුංචි තිරය මෙන්ම රිදී තිරය ද ඔහුට ආගන්තුක නොවේ. නර්තනයේ සන්නාමයක් බවට පත්ව ඇති ඔහු සමඟයි අද අපේ කතාබහ.


කලා කටයුතු දැන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා නිසා ඔබත් ගොඩක් කාර්යබහුල වෙලා නේද?


දැන් ගොඩක් ඉවෙන්ට්වලට ආරාධනා ලැබෙනවා. ඊට අමතරව විදෙස් සංචාරවලට සහභාගි වෙනවා. පහු ගිය සැප්තැම්බර් ඉඳන් දෙසැම්බර් 1 වෙනකල් විවිධ රටවල නගර 14ක සංචාරය කළා. ඉදිරියේදී සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් නිදහස් උත්සවය වෙනුවෙන් විසි දෙනෙකුගෙන් යුත් නර්තන කණ්ඩායමක් එක්ක තවත් සංචාරයක් තියෙනවා. ඒකටත් සූදානම් වෙන ගමන් ඉන්නෙ. ඊට අමතරව ලිට්ල් ස්ටාර් වැඩසටහනටත් දින දෙකක් වෙන්වෙලා. ඒ සියල්ල අතරේ පන්තිවල වැඩත් කරගෙන යනවා.


වෘත්තීමය නර්තන ශිල්පියෙක් වීම ගැන මොකද හිතෙන්නෙ?


ගොඩක් ලොකු සතුටක් තියෙන්නෙ. අද මේ වයස වෙද්දි වෙනත් වෘත්තියක නියැළිලා ලබාගන්න බැරි තරම් දේවල් නර්තන ශිල්පි‍ෙයක් වීම නිසා ලැබිලා තියෙනවා. ආර්ථික, සමාජයීය වශයෙන් මෙන්ම අපි කරන නිර්මාණ ලෝකයට ගෙනියන්න පුළුවන් සන්නාමයක් හදාගන්න පුළුවන් වීමත් ලොකු සතුටක්. චන්දන කියන බ්‍රෑන්ඩ් එක ලංකාවෙ විතරක් නෙවෙයි ලංකාවෙන් පිටටත් ගිහින් ලංකාවෙන් ඩාන්සින් ගෲප් එකක් ගේන්න චන්දන කියන මට්ටමටම හැදිලා. ඉන්දියානු ව්‍යාපාරික ප්‍රජාව අතරේත් චන්දන කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්.


අද රැල්ලට ගියාට ඔබේ කාලේ නර්තන ශිල්පියෙක් වෙනව කියන්නෙ දුලබ දෙයක්. එදා නර්තන ශිල්පියෙක් විදිහට ඔබේ පවුලේ අය, සමාජය ඔබව පිළිගත්තෙ කොහොමද?


මම නර්තනය හදාරනවට මගෙ අම්මයි තාත්තයි ගොඩක් කැමති වුණාට ඒකෙ පැවැත්ම ගැන තිබුණු අස්ථාවර බව නිසා වෘත්තීමය නර්තන ශිල්පියෙක් වෙනවට නම් කැමති වුණේ නෑ. නර්තනය ඉන්ඩස්ට්‍රියක් විදිහට මේ තරම් දියුණු වෙයි කියල හිතුවෙත් නෑනෙ. අවුරුදු ගාණක් වැඩ කරලා නමක් හැදෙද්දි තවත් බ්‍රෑන්ඩ් එකක් වෙයි කියන අභියෝගය හරහා විවිධ සමාජ මට්ටම්වල, විවිධ කලායතනවල පුද්ගලයන්ගෙන් කකුලෙන් ඇදිලි ගොඩක් තිබුණා. ඒවට දුක් වුණා. කම්පා වුණා. ඒව ධනාත්මකව අරගෙන ඒ සටනට මුහුණ දීල අන්තිමට මං ජය ගත්තා කියල හිතෙනවා. අද මං කකුල් දෙකෙන් හිටගන්නව කියල බය නැතුව කියන්න පුළුවන්. දැන් මට තියෙන්නෙ ඊළඟ පරම්පරාව හදන කර්තව්‍ය තමයි. එයාලට අවශ්‍ය ප්ලැට්ෆෝම් එක අපි හදල දෙන්න ඕන.


ප්‍රසංග වේදිකාවෙ දකින සමහර නර්තනයන් නිසා නර්තන ක්ෂේත්‍රයම පිරිහීමට පත්වෙලා කියල චෝදනා කරන අයත් ඉන්නවා. ඒ ගැන මොකද හිතන්නෙ ?


විශ්වවිද්‍යාල වගේම කලායතන පැත්තෙනුත් හොඳ ශිල්පීන් බිහිවෙනවා. අතළොස්සක් තමයි මේ වගේ හැසිරෙන්නෙ. අද ඕනෑම කෙනෙකුට ටික්ටොක් තරුවක් වෙන්න පුළුවන්. නමුත් ඒ හරහා ඉගැන්වීමක් කරන්න පුළුවන්ද කියන එක ගැටලුවක්. ගීතයක රසය විඳින්න බැරි තරම් අවර ගණයේ නර්තන ශිල්පීන් මාධ්‍ය හරහා මේ කලාව අතික්‍රමණය කරල ඉවරයි දැන්. වෙළෙඳ කටයුතු සඳහා මාධ්‍යයේ ග්‍රහණයට හසුවුණු ඒ වගේ කොටස් දකින සමහරු තමයි මේ ක්ෂේත්‍රය විනාශ වෙලා කියල චෝදනා කරන්නෙ. එහෙම නැතුව සමස්ත නර්තන කලාවම විනාශ වෙලා කියන්න බෑ . අපිට ඒක සුද්ද කරන්න පුළුවන්. ඒකට ඉතින් මාධ්‍යයේ සහායත් අවශ්‍යයි.


ඉන්දියාවත් එක්ක ඔබට ලොකු බැඳීමක් තියෙනව නේද?


ඉන්දියාව හරහා මට බ්‍රෑන්ඩ් එකකුත් තියෙනවා. මම ඉන්දියාවෙ ශාන්ති නිකේතනයේ විශ්ව භාරතී විශ්වවිද්‍යාලයෙන් කථකලි වගේම පරිබාහිරව මනිපුරි සහ ප්‍රාසාංගික කලාව ඉගෙන ගත්තා. ගිය අවුරුද්දෙ සැප්තැම්බර්වල ඉන්දියානු සංචාරයක් තිබුණා. ආයෙම මේ වසරෙ අප්‍රේල්වලත් එකක් තියෙනවා. ඒවා ඩිරෙක්ම මට එන අවස්ථා. මුකේශ් අම්බානිගෙ දුවගෙ මංගල උත්සවය සම්පූර්ණයෙන්ම බාර දුන්නෙ මට. තවත් ලොකු ප්‍රසංගයකට ආරාධනා ලැබිල තියෙනවා. ඒ වගේම ඉන්දියානු ව්‍යාපාරික ප්‍රජාව අතරේ මාව බ්‍රෑන්ඩ් එකක් බවට පත්වෙලා ඉවරයි.


නර්තනය නිසා ජීවිතේට එක්වුණු අමතක නොවන සිදුවීම් ඕනතරම් ඇති?


මේ සිදුවීම මෙතෙක් මං කාටවත්ම කියල නෑ. කොවිඩ් කාලෙ පෙට්‍රල් නැති නිසා නැටුම් පන්ති කරන්න ගියේ කෝච්චියේ. දවසක් නුවර ක්ලාස් ඉවර වෙලා පේරාදෙණියට ආවෙ කොළඹ එන්න. මට ලැබුණෙ නැරඹුම් මැදිරිය. මං නැරඹුම් මැදිරිය බල බලා යද්දි එක පාරටම කෝච්චියයි ප්ලැට්ෆෝම් එකයි අතරින් මාව ඇතුළට වැටුණා. දැන් මං හිරවෙලා. මිනිස්සු පහත් වෙවී බලනව මට පේනවා. හරියට ෆිල්ම් එකක් වගේ. වෙලාවට කෝච්චිය ඇද්දුවෙ නෑ. මට මතකයි පිරිමි ළමයි දෙන්නෙක් පැනල කකුල් දෙකෙන් මාව උස්සල ගන්න හැදුවා. ඒත් මගේ බර නිසා ගන්න බෑ. ඒ වෙලාවෙ ගොඩක් උස මහත ලොකු ගෑනු කෙනෙක් ඇවිත් පහත් වෙලා මගේ පපුව ළඟින් අත දාල උස්සලා ෂර්ට් එකෙන් ඇද්දා. ඒ එක්කම අර ළමයි දෙන්නත් කකුල් දෙකෙන් උස්සලා ඇදල ගත්තා. ඒක නම් කවදාවත් අමතක වෙන්නෑ.


ඔබ දැන් සිනමාවෙන් ඈත්වෙලා කියලත් ආරංචියි?


ඔව්. කාලයක්ම මං සිනමාවෙන් ඈත්වෙලා හිටියා. දෙවැනි පාර මං සිනමාවට එන්නෙ රංගනය හරහා. ඒ සිංහබාහු චිත්‍රපටයේ වංග රජුගේ චරිතයෙන්. ඒ වගේම තවත් චිත්‍රපටයක ප්‍රධාන චරිතයකින් ඉදිරියේදි එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක මගේ ජීවිතේ සුවිශේෂී සන්ධිස්ථානයක් වේවි. ඒ වගේම දැවැන්ත සිනමා කෘතියක නර්තන අධ්‍යක්ෂවරයා විදිහට නැවතත් ඉදිරියේදී හමුවේවි.


ඔබේ බිරිය දිල්හානි වික්‍රමසිංහ මාධ්‍යවේදිනියක්. කොහොමද නර්තන ශිල්පියාගෙයි මාධ්‍යවේදිනියගෙයි ගැළපීම?


අපි විවාහ වුණේ යෝජිත විවාහයකින් වුණත් දෙන්නගෙ ගැළපීම නම් තකට තක. ඇය තමයි මගේ පළමු විවේචකයා. ඒ වගේම මගේ ව්‍යාපාරයේ මූල්‍ය පැත්ත සම්පූර්ණයෙන්ම බලාගන්නෙ එයා. දිල්හානියි, දුවයි, පුතාල දෙන්නයි මේ දවස්වල ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ.




Previous Post Next Post