මම ලස්සනයි, සල්ලියි හොයන්නෙ නෑ හැබැයි එයා උගත් කෙනෙක් වෙන්න ඕන -හිරුණි මංජලී



පුංචි තිරය හරහා අපේ ආලින්දයට එන රංගන ශිල්පීන් ශිල්පිනියන් අතරේ තවත් අලුත් මුහුණක් හිරුණි මංජලී. හිරුණි අපිට මුණගැහුණේ ශක්ති (සිඳු 2) ටෙලි නාට්‍යය හරහා. එහි ලින්ඩිගේ චරිතයෙන් ප්‍රේක්ෂක ආදරය, ආකර්ෂණය දිනා ගත් ඇය මේ දිනවල මොකද කරන්නේ කියලා දැන ගන්නත් එක්කම රසඳුන කතාබහකට සම්බන්ධ කර ගත්තා.


හිරුණි ගැන මුලින්ම කිව්වොත්?


පාසල් ගියේ කළුතර බාලිකා ජාතික පාසලට. විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරුවේ. පාසල් කාලයේ නාට්‍යය හා රංග කලාව හැදෑරුවා. ඒ නිසා කලාවටත් ලොකු කැමැත්තක් තිබ්බා. විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරපු නිසා වෛද්‍ය අංශය අතහැරලා නැහැ. මම වෛද්‍ය රසායනාගාර අංශයෙන් රැකියාවක් කළා. ඒ වගේම ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් විදිහට සේවය කළා. මේ දිනවල මනෝ විද්‍යාව සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනය හදාරනවා.


මුල්ම ටෙලි නාට්‍යය මොකක් ද?


ශක්ති (සිඳු 2) ටෙලි නාට්‍යයෙන් තමයි මම ක්ෂේත්‍රයට එන්නේ. ඒක මෑතක විකාශය අවසන් වුණා. ශක්ති ටෙලි නාට්‍යයෙන් පස්සේ තවත් නාට්‍යවලට මට ආරාධනා ලැබුණත් තවම නිර්මාණයක් භාර ගත්තේ නැහැ. දැනට වෙළෙඳ දැන්වීම් සහ නිරූපණ කටයුතු කරගෙන යනවා.


කලාවට තියෙන්නේ මොන වගේ කැමැත්තක් ද?


මම පොඩි කාලේ ඉඳන්ම දෙරණ ලිට්ස් ස්ටාර්, සිරස පුංචි පැංචි වැඩසටහන්වලට මගේ අම්මා මාව එක්ක ගියා. මට ශක්ති නාට්‍යයට අවස්ථාව ලැබුණේ ප්‍රදීප් මානවඩු සහාය අධ්‍යක්ෂතුමා නිසා. ඔහු නිසා තමයි මට ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ. ඉදිරියේ දී මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක කාලය ලැබෙන විදියට හොඳ නිර්මාණවලට දායක වෙන්න බලනවා.


චරිත තෝරා බේරා ගන්නේ කොහොමද?


කලාවට අමතරව මම ගුරු වෘත්තියේ යෙදෙන්නියක්. ඒ නිසා මම නියැළෙන ක්ෂේත්‍ර‍ෙට හානියක් නොවන චරිත තමයි තෝරා ගන්නේ.


මේ හැදෙයක් එක්ක කොහොමද ජීවිතේ ගත වෙන්නේ?


ජිවිතේ ගොඩක් කාර්යබහුලයි. ඒ වුණාට හැමදේම එක්ක ඉන්න තමයි කැමතියි. කාලය කළමනාකරණය කරගෙන සතුටින් ජීවිතේ ඉදිරියට අරගෙන යනවා.


ෆැෂන් කරන්න වැඩි කැමැත්තක් තියෙනවා වගේ?


ඔව්. මම ආසයි ෆැෂන් කරන්න. හැබැයි කවදාවත් මම ට්‍රෙන්ඩ් එකට යන්නේ නැහැ. මට ගැළපෙන දේ විතරයි මම කරන්නේ.


කොහොමද ගෙදරින් ලැබෙන සහයෝගය?


මගේ අම්මා කුමාරි මද්දුමබණ්ඩාර. ඇය ගුරුවරියක්. මගේ තාත්තා ආනන්ද රාජ්. ඔහු වෙළඳ නාවික ක්ෂේත්‍රයේ රැකියාවක් කළේ. මට අයියයි, අක්කයි. ඉන්නවා.


අම්මා තාත්තා වගේම ගෙදර හැමෝම හරි ආසයි මේ දේවල්වලට. ඒ නිසා ලොකු සහයෝගයක් ලබා දෙනවා.


කවදාහරි කලා ක්ෂේත්‍රයේ කෙනෙක් ආදරවන්තයා විදියට තෝරා ගනීද?


කොහෙත්ම නැහැ.


මොන වගේ කෙනෙක් ද හිතේ ඉන්නේ


මම ලස්සන හෝ ලොකුවට සල්ලි නම් හොයන්නේ නැහැ. හැබැයි ඔහු උගත් කෙනෙක් වෙන්නම ඕනේ.


අනාගත බලාපොරොත්තු මොනවද?


කාලයත් එක්ක අනාගත බලාපොරොත්තු වෙනස් වෙනවා. එක දෙයක් කියලා කියන්න බැහැ. කලාවේ වුණත් වෙනම පැතිකඩක් තෝරා ගන්න පුළුවන්. නැත්නම් වෛද්‍ය ක්ෂේත්‍රය නැතුව වෙන ක්ෂේත්‍රයක් තෝරා ගන්න පුළුවන්. ගුරු වෘත්තියත් නතර කරන්න පුළුවන්. ඒ නිසා අනාගතය කොහොම වෙයිද කියලා ස්ථිර කරලා කියන්න බැහැ. හැමදේම හොඳින් කර ගන්නව කියන තැන තමයි මම ඉන්නේ.


අනුෂා රණසිංහ



Previous Post Next Post