නාද ගම නතර කරනවාද? සුපුන් ඒ ගැන කියපු කතාව




ශාස්ත්‍රීය හා නවීන යන කොටස් දෙකම අතරමැද හිඳිමින් මෙරට ගීත කලාව තුළ මොඩර්න් ක්ලැසික් සම්ප්‍රදාය ජනප්‍රිය කරවීම සඳහා දායකත්වයක් දැක්වූ ඔහු නමින් සුපුන් පෙරේරාය. වර්තමාන ශ්‍රී ලාංකික ගීත කලාව තුළ සිටින අති දක්ෂ ජනප්‍රිය ගායකයකු වන ඔහු මෙවර හදගැස්ම හා එක්වන්නේ, ඔහු ඇතුළු පිරිස මෙරට ප්‍රසංග කලාවට ලබා දුන් සුන්දරම අත්දැකීමක් වන නාදගම ප්‍රසංගය වසර පහකට පසුව කෙටි විවේකයක් ගන්නා බවට වන ආරංචිය නිසායි. නාද ගමට මොකද වෙන්නේ? මේ සුපුන් සමඟින් ඒ පිළිබඳව කළ සාකච්ඡාවයි. 


මේ දවස්වල තොරතුරු ටිකක් කියලම ඉමු?


මේ දවස්වල මගේ ඊළඟට එන්න තිබෙන  ගීතයේ වැඩ ඉවර කරලා ඒකෙ වීඩියෝ එකත් කරලා තිබෙන්නේ. බොහෝ දුරට මේ සතියේ හෝ ලබන සතියේ ඒක ප්‍රේක්ෂකයාට රසවිඳින්න පුළුවන්. ඊට අමතරව පසුගිය දිනවල එක දිගට නාද ගම ප්‍රසංගයේ ප්‍රසංග හතරක් කළා. ඒකෙ ප්ලේ කළේ මගේ බෑන්ඩ් එක. ඒ වැඩත් එක්කත් බොහොම කාර්යබහුල වුණා. ඒ කටයුතුත් එක්ක මේ දිනවල ඉදිරියේදී එන්න තිබෙන ප්‍රසංග වෙනුවෙන් මගේ සංගීත කණ්ඩායම සමඟ පුහුණුවීම් සිදු කරනවා.


නාදගම ප්‍රසංගය නතර කරන බවට සඳහන් වෙනවා. ඒ කියන්නේ රසියන්ට මින් ඉදිරියට නාදගම රසවිඳින්න නොහැකි වෙයිද?


ඇත්තටම මේක තාවකාලික නතර කිරීමක්. නතර කිරීමක් කිව්වත් මේක පොඩි බේ්‍රක් එකක් ගැනීමක් විතරයි. අවුරුදු පහක් විතර එක දිගටම නාද ගම ප්‍රසංගය මේ ෆෝර්මැට් එකෙන් කරගෙන ආවා. ඉතිං අපි හිතුවා පොඩි බේ්‍රක් එකක් අරගෙන අලුත් සිංදු ටිකක් එක්කම නැවුම් මුහුණුවරකින් එන්න.


නාද ගම විදෙස් ප්‍රසංගත් ඒ සමඟම නතර වෙනවද?


ඇත්තටම මේ බේ්‍රක් එක ලංකාව ඇතුළේ විතරයි. අපි ටුවර් කරයි මේ අවුරුද්දේ. ලංකාව ඇතුළෙත් පොඩි බේ්‍රක් එකක් ගැනීම විතරයි අපි කරන්නේ. ඉතිං ඒක නිසා නාද ගම ප්‍රසංගය මේ අවුරුද්ද ඇතුළේ විදෙස් සංචාරයන්වල නිරත වෙයි. ලංකාව ඇතුළෙත් පොඩි බේ්‍රක් එකක් ගත්තට අලුත්ම ෆෝර්මැට් එකකින් හොඳ වැඩක් එක්ක රසිකයන්ව හමුවෙන්න නැවතත් එනවා.


නාද ගම තාවකාලිකව නතර කිරීමට විශේෂ හේතුවක් තිබෙනවද?


විශේෂම හේතුව මම හිතන්නේ අපි දැන් මේක අවුරුදු 5ක් පමණ එක දිගට කළා. ඉතිං ඒක නිසා අපි හිතුවා පොඩි බේ්‍රක් එකක් අරගෙන ආයේ වෙනස් විධියකට එන්න ඕනා කියලා. මොකද නාදගම ප්‍රසංගය ඉතාමත් හොඳ තැනක. ඒකෙ පීක්ම ලෙවල් එකේ තිබෙන්නේ. ලොකු ඉල්ලුමක් තිබෙනවා මේ කොන්සර්ට් එකට. ෂෝස් කීයක් කළත් ටිකට් සෝල්ඩ් අවුට් වෙනවා. අපි හිතුවා මේ වෙලාව තමයි නවත්තන්න හොඳම වෙලාව. මිනිස්සු ඇති කියන්න කලින් තව ඕනා කියන තැනකදි තමයි නවත්වන්න අවශ්‍ය කියලා. මොකද ඊට පසුව අපිට පුළුවන් අලුත් විධියකින් ආයෙත් එන්න. ඒ වෙද්දි අපේ අලුත් සිංදු ටිකකුත් හැදිලා තියෙයි. ඉතිං මේ වෙලාවේ බේ්‍රක් එකක් අරගෙන අලුත්ම වැඩ ටිකක් එක්ක එන්න තමයි බලාපොරොත්තුව. මේ විධියට මේ සීරිස් එක කළා ඇති කියලා තීරණය කිරීම තමයි මේ බේ්‍රක් එකට හේතුව.


ඇතැම් මතවලට අනුව නාද ගම එක්තරා සමාජ මට්ටමකට පමණක් සීමාවූ ප්‍රසංගයක්. ඒ ගැන කියන්නට තිබෙන්නේ මොකක්ද?


එහෙම ඇත්තටම කියන්න බැහැ. අපිට සියලුම තරාතිරම්වල රසිකයෝ හම්බවෙනවා නාද ගම ඇතුළේ. ඇත්තටම නාද ගමේ ටිකට් එකයි එළියේ තිබෙන අනිත් ෂෝවල ටිකට් එකයි බැලුවම මිල ගොඩක් සමානයි. ඉතිං ටිකට්වල මිල වුණත් ලොකු වෙනසක් නැති නිසා අපිට හිතන්න බැහැ නාද ගමට එන්නේ එක්තරා විධියක පිරිසක් විතරයි කියලා. ඇත්තටම අපිට සියලුම සිටිනවා තරාතිරම්වල රසිකයෝ. අපෙත් බලාපොරොත්තුව නාද ගම සියලුම ආකාරයේ රසිකයන් වෙතට අරගෙන යෑම. ඉතිං මම හිතහ්න්නේ නැහැ ඒ කාරණය එහෙමයි කියලා.


නාද ගමේ හැමදාම කිව්වේ එකම සිංදු ටික කියලා පොඩි චෝදනාවක් තිබෙනවා ඒ ගැනත් කතා කරමු?


මට පෞද්ගලිකව හිතෙන විධියට ගොඩාක් දුරට නාද ගම බලන්න එනන බැරි වුණු, එක නාද ගමක්වත් දැකලා නැති අය තමයි ඔය දේ කියන්නේ. නාදගම ප්‍රසංගයට ටිකට් එකක් වෙන් කරගන්න ලොකු අර්බුදයක් තිබෙනවා දැඩි ඉල්ලුම නිසා. ඒක අද ඊයේ සිදු වෙච්ච දෙයක් නෙවෙයි. අවුරුදු ගාණක ඉඳන් වෙන දෙයක්. ගොඩක් ට්‍රයි කරලත් නාද ගම බලන්න බැරි වුණු අය ඉන්නවා. ටිකට් එකක් ගන්න බැරිවුණාම කොන්සර්ට් එකත් එක්ක පොඩි අමනාපකමක් ඇති වෙනවනේ. ඒකත් එක්ක කොන්සර්ට් එකට ටිකට් ගන්න බැරි වුණු අයට කොන්සර්ට් එකත් එක්ක පොඩි විරෝධයක් වගේ දෙයක් ඇති වුණා. මට හිතෙනවා නාදගම බලන්න බැරි වෙලා අතහැරුණු අයගෙන් තමයි මේ චෝදනා තිබෙන්නේ. අපිට පෞද්ගලිකව මුණගැහෙන අයගෙන් ඒ බව තේරෙනවා. අපි බලමු ඊළඟ සීසන් එකේවත් මේක මොනයම් හෝ ආකාරයකින් එයාලට බලාගන්න පුළුවන් වුණොත් එයාලා තේරුම් ගනියි නාද ගම මොන වගේ වැඩක්ද කියන දේ.


නාද ගම තාවකාලිකව නතර කිරීම ගැන කණ්ඩායමේ අනෙක් පිරිසගේ අදහස් මොන වගේද?


මේ තීරණයේදි අපි හැමෝම එක අදහසක ඉන්නේ. මේක අපි හැමදාමට නවත්වන්නේ නැහැ. නමුත් අපි හැමෝම නාද ගමට පොඩි විවේකයක් දීම සම්බන්ධ කාරණාවේදි එකඟ වුණා. මොකද අපි හැමෝටම නාද ගමට අමතරව තනි තනිව වෙනම සංගීත ගමනක් තිබෙනවා. ඉතිං මේ කාලය ඇතුළේ අපේ අලුත් නිර්මාණවලට අවධානය දෙන්න තීරණය කළා. මොකද අපි එළියේ වෙන වෙනම කරන වැඩ ටිකත් නාද ගමට ආවම ඒක තවත් ලස්සනයි. නාදගම කෙටි කාලයකට නතර කිරීමේදී අපිට අපේ නිර්මාණ වෙනුවෙන් තවත් වැඩි කාලයක් ලැබෙනවා. ඉතිං මේ තීරණයේදී හැමෝම එක තැනක හිටියා.


රියැලිටි තරගයකින් බිහි වෙලා රියැලිටි ලේබලය තොරවූ අනන්‍යතාවක් ගොඩනඟාගත්තේ කොහොමද?


මම රියැලිටි තරගයකින් එළියට ආවට එතැනින් මාව ලොකු ප්‍රේක්ෂක පිරිසක් අතරට ගියා කියලා මම හිතන්නේ නැහැ. ඒ තරගයෙන් පස්සේ මම ලොකු බේ්‍රක් එකක් ගන්නවා. මොකද මම ඒ තරගයට එද්දිත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. තරගයෙන් පස්සේ මම ආයෙත් මගේ උපාධිය සම්පූර්ණ කරන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යනවා. ඊට පසුව ලංකාවේ ඉහළ පෙළේ පෞද්ගලික ආයතනවල රැකියාවන් කරනවා. ඔය ඔක්කොම කරලා ලොකු බේ්‍රක් එකකට පසුව තමයි මම ආයෙත් රාධාවනී වගේ ගීත හරහා ක්ෂේත්‍රයට එන්නේ. මිනිස්සු මාව අල්ලගන්නේ මගේ ස්වයං නිර්මාණ හරහා. එකත් එක්කම තමයි මට රට පුරාම රසික ප්‍රජාවක් ඇතිවෙන්නේ. රියැලිටි තරගයකින් ආවම ඒ ලේබල් එක ගලවගන්න හරිම අමාරුයි. නමුත් කෙසේ හෝ මට වාසනාව ලැබෙනවා මගේ ගීත හරහා රියැලිටි එකෙන් හැදුණු නම අභිභවා යන්න.


අවසන් වශයෙන් ජර්නිවල ගමන ගැනත් කියමු?


ජර්නි මගේ සංගීත කණ්ඩායම. අපි මෑත කාලයේ නාද ගම ප්‍රසංගය සමඟ එකතු වෙලා වැඩ කළා. ඒ වගේම ඉදිරියේදි නාදගම ටුවර්වලදිත් අපි සහභාගි වෙනවා. ඊට අමතරව බේ්‍රක් එකෙන් පස්සේ නාද ගම හා ජර්නි එකට එකතු වෙලා වැඩ කරන්නත් පොඩි සාකච්ඡාවක් තිබෙනවා. ජර්නි බෑන්ඩ් එක මම පටන් අරගෙන දැනට අවුරුදු දෙකක් පමණ වෙනවා. මේ පොඩි කාලය ඇතුළේ ලොකු දුරක් ඇවිත් තිබෙනවා. නාද ගම, වොයිස් ශ්‍රී ලංකා කම්බැක් ස්ටේජ් වගේ ලොකු වේදිකාවලත් ජර්නි අපිට වැඩ කරන්න ලැබුණා. ඊට අමතරව රටවල් ගණනාවකට ටුවර් කළා. බෑන්ඩ් එකේම ඔරිජිනල්ස් ගීත කිහිපයක් එක්කම ඉදිරියටත් ජර්නි ගමන යනවා.


අක්ෂි මාපා වීරසිංහ




Previous Post Next Post