හීනෙකින්වත් කලාව දාලා යන්න හිතන්නෙ නෑ-නයෝමි තක්ෂිලා



මේ දිනවල විකාශය වන නීල පබළු ටෙලි නාට්‍යයේ පූජා, ජානූ ටෙලි නාට්‍යයේ නිත්‍යා, දිවිතුරා ටෙලි නාට්‍යයේ ෂෙහාරා, ඇතුළුවීම තහනම් ටෙලි නාට්‍යයේ සමාධි යන චරිත තුළින් ඔබ හමුවට එන මේ දක්ෂ රංගන ශිල්පිනිය නමින් නයෝමි තක්ෂිලා. රංගන ක්ෂේත්‍රයේ සම්මාන රැසක්ම හිමි කරගත් මේ අපූරු රංගන ශිල්පිනිය මෙවර සුමති සම්මාන උළෙලේද ජනප්‍රියම රංගන ශිල්පිනිය මෙන්ම හොඳම රංගන ශිල්පිනියට නිර්දේශව සිටිනවා. වේදිකාව තුළ මෙන්ම ටෙලි නාට්‍ය තුළද දක්ෂ රංගන ශිල්පිනියක් වන නයෝමි තක්ෂිලා මෙවර   අදහස් බෙදාගත්තේ මෙලෙසින්. 


මේ දිනවල මොකද වෙන්නේ?


මේ දිනවල පුංචි බලාපොරොත්තු කිහිපයක් එක්ක, රංගන කටයුතු කරගෙන යනවා. මොකද සුමති සම්මාන උළෙලේ හොඳම නිළිය සහ ජනප්‍රියම නිළිය කියන සම්මාන දෙක වෙනුවෙන් මාව නිර්දේශ වෙලා තිබෙනවා.


මොනවද අලුත් වැඩ කටයුතු?


අලුත් නිර්මාණ කිහිපයකම වැඩ කටයුතු භාර අරගෙන තිබෙනවා. ඒවායේ වැඩකටයුතුත් මේ වන විට ආරම්භ වෙලා තිබෙන්නේ.


කොහොමද ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?


මම රංගනයෙන් දායක වුණු නිර්මාණ හතරක් විකාශය වෙනවා. ඉන් එකක් නම් මේ ළඟදී අවසන් වුණා. මේ නිර්මාණ හතරේදී මට රඟපාන්න ලැබුණේ එකිනෙකට වෙනස් චරිත. ඇත්තටම මගේ රංගනය පිළිබඳව ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන බොහොම සතුටුයි.


නිත්‍යා කියන චරිතය මේ තරම් ජනප්‍රිය වුණේ කොහොමද?


අපි මිනිසුන් ලෙස ආදරයත් එක්ක බැඳිලා ඉන්නේ. හැම මනුස්සයෙක්ම නොලැබෙන දේවල් වෙනුවෙන් පසුතැවෙනවා. නිත්‍යා කියන්නේත් තමන්ට නොලැබුණ ආදරයක් වටා ගෙතුණු කතාවක්.  මේ නිසාම මිනිස්සුන්ට නිත්‍යාව ගොඩක් සමීපයි. නිත්‍යා කියන්නෙම අනුන් ගැන හිතන චරිතයක් වගේම සුදු චරිතයක්. ඒනිසා වෙන්න ඇති ප්‍රේක්ෂකයන් මේ තරම් නිත්‍යාගේ චරිතයට ආදරේ කරන්නේ.


මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකටම ඔබ රංගනයෙන් දායක වෙනවා. විවිධ චරිත රඟදක්වන්න ලැබීම ගැන ඔබ මොකද හිතන්නේ?


ඇත්තටම ඒක හරියට අභ්‍යාසයක් වගේ. අද එක් නාට්‍යයක් කරලා අනෙක් දවසේ තවත් නාට්‍යයකට සහභාගි වනවිට චරිත වෙනස් වෙන්න ඕනේ. අපි ඉඳගන්න විදිහේ ඉඳලා ඇස් පිල්ලම් ගහන එකේ ඉඳලා සෑම දෙයක්ම චරිතයකින් චරිතයකට වෙනස් විය යුතුයි. ඇත්තටම ඒක රංගනයේදී ලැබෙන හොඳ පුහුණුවක්. දීර්ඝ කාලයක් තිස්සේ චරිත කිහිපයක් රඟපාන්න ලැබෙනවා කියන්නේම ඉදිරියේදී හොඳ නිර්මාණ බිහි කරන්නත් මට ඒක හොඳ අවස්ථාවක් වෙනවා. ඊටත් වඩා ඒක හොඳ අභියෝගයක්. ඉතින් මං මේ දේවල් සතුටින් භාර අරගෙන කරනවා.


දැන් වේදිකාව අතහැරිලද?


ඇත්තටම නැහැ. මම කරගෙන යන වේදිකා නාට්‍ය කිහිපයක් තිබෙනවා. ඒවා සුපුරුදු පරිදි කරගෙන යනවා. මම මේ දිනවල ටිකක් කාර්ය බහුලයි. ඒ නිසා අලුත් වේදිකා නාට්‍යවලට නම් සහභාගි වුණේ නැහැ. නමුත් මේ වැඩ ටික අවසන් වුණාම අලුත් වේදිකා නාට්‍යයක් පිළිබඳවත් සිතලා බලනවා.


සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?


සිනමා නිර්මාණවලට සහභාගි වෙලා තිබෙනවා. නමුත් මට ලොකුවට සිනමා නිර්මාණවලට ආරාධනා ලැබිලා නැහැ. සිනමා නිර්මාණවලට මගේ පෙනුම නොගැළපෙනවාද කියලා මම දන්නේ නැහැ. සිනමාවට සාපේක්ෂව මට වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ ටෙලිනාට්‍යවලට.


ඔබ වෘත්තීයමය රංගන ශිල්පිනියක්ද?


ඔව්. මම වෘත්තීයමය රංගන ශිල්පිනියක්.


ඔබ සම්මාන ලැබූ රංගන ශිල්පිනියක් ලෙස රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට සම්මාන ලැබීම ගැන මොකද හිතන්නේ?


පෞද්ගලිකව මටත් සම්මාන ලැබිලා තිබෙනවා.  නමුත්  සම්මානයක් ලැබුණා කියලා මම මේ රටේ ඉන්න හොඳම නිළිය කියලා විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒ අවුරුද්දේ රඟදැක්වූ චරිතයේ යම් විශේෂත්වයක් නිසා සම්මාන ලැබෙන්න පුළුවන්. රංගන ක්ෂේත්‍රයේදී සම්මාන ලැබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද රංගන ශිල්පීන්ට හෝ ශිල්පිනියන්ට ඇගයීමක් ලැබිය යුතුයි. සම්මාන ලැබීම නිසා රඟපාන්න ආසාවක් ඇතිවෙනවා වගේම නළු නිළියන් අතර පොඩි තරගයක් ඇති වෙනවා. ඒ නිසා චරිතවලට උපරිම දායකත්වයක් ලබා දෙනවා. මම නම් හිතන්නේ රංගන ක්‍ෂේත්‍රයේදී සම්මාන ලැබීම හොඳයි කියලා.


ඔබට ලැබුණු සම්මාන පිළිබඳවත් මතක් කළොත්?


මට 2019 වසරේ පැවැත්වූ සුමති සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය හිමි වුණා. ඒ වගේම 2022 වසරේදී රයිගම් සම්මාන උළෙලේ හොඳම සහාය නිළියට හිමි සම්මානය ලැබුණා. වේදිකා නාට්‍යවලදී නම් බොහෝ සම්මාන ලැබිලා තිබෙනවා.


ඔබ රංගනයේදී චරිත තෝරා ගැනීමක් සිදු කරනවාද?


ඇත්තටම ඔව්. මම කාලයක් නපුරු චරිතවලට රඟපෑවා. නමුත් මම වසර තුනක වගේ කාලයක් නපුරු චරිත භාරගත්තේ නැහැ. මොකද මිනිස්සු මාව නපුරු චරිතයක් ලෙස දකින්න ගන්නවා. ඒ වගේම නිර්මාණශීලී චරිතවලට මම ගොඩක් කැමැතියි. මොකද ඒ දේවල්වලින් අලුත් නිර්මාණයක් බිහි කරන්න පුළුවන්. රංගනයේදී විවිධ චරිත තෝරා ගන්න මම උත්සාහ කරනවා.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


කලාව දාල යන්න මම හීනෙකින්වත් හිතන්නේ නැහැ. කලාව තුළ රැ‍ෙ¾දන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. ඒ වගේම ඉදිරියේදී හොඳ නිර්මාණවලට දායක වෙන්නත් මම බලාපොරොත්තු වෙනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ






Previous Post Next Post