රංගනය කියන්නෙ පහළට දාලා කතා කරන්න ඕනා වෘත්තියක් නෙවෙයි- සචින්තනී කෞශල්‍යා



ඉතාමත් කෙටි කාලයක් තුළ මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය තරුවක් වූ ඇය, හුදෙක් රංගන කාර්යයෙන් ඔබ්බට ගිය දැන උගත් නීතිඥවරියක් වශයෙන් මෙන්ම ගුරුවරියක් වශයෙන්ද කටයුතු කරන්නියකි. දිගැසි චරිතයෙන් මෙරට අති බහුතර ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය මේ දිනවල වඩාත් ජනප්‍රියව සිටින්නේ සංසාරිණීහි උපුලීගේ චරිතය හේතුවෙනුයි. අෑ අන් කවරකුවත් නොව ජනප්‍රිය රංගන ශිල්පිනී සචින්තනී කෞශල්‍යායි.


ඉතිං මේ දවස්වල මොකද වෙන්නේ?


මේ දවස්වල, සංසාරිණී හා කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය දෙකේ වැඩ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව සුපුරුදු විධියට  උසාවි යනවා, ප්‍රැක්ටිස් එක කරගෙන යනවා. අනෙක් අතට මගේ අමතර පන්තිවල කටයුතු කරනවා. මම උසස් පෙළ දරුවන්ට මීඩියා ඉගැන්වීම් කරනවා, සනීපෙට මීඩියා නමින්. ඒක මම සහ  දර්ශන දයානන්ද,  ගීත් නිමන්ත අපි තුන්දෙනා එකතු වෙලා කරන වැඩක්. ඔන්ලයින් හරහා තමයි ඉගැන්වීම් කටයුතු කරන්නේ. ඊට අමතරව මේ දවස්වල තව අලුත් පාඨමාලාවක් හදාරමින් යනවා.


සංසාරිණී හි උපුලිට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


මුලදි උපුලි කියන්නේ ගොඩක් අය බැනපු, අකැමැති වුණු විලන් කැරක්ටර් එකක්. නමුත් අද වෙද්දි ප්‍රේක්ෂකයන් උපුලි ගැන බොහොම සංවේදී වෙන තැනට පත්වෙලා තිබෙනවා. ඒක මම දිගැසි කියන චරිතයෙන් දැක්කා වගේම තමයි. ප්‍රේක්ෂක ආදරය කියන එක අපි කරන චරිත එක්ක අඩු වැඩි වශයෙන් අපිට  ලැබෙනවා. එහෙම බලද්දි උපුලි කියන චරිතයට මේ වෙද්දි විශාල ප්‍රේක්ෂක ආදරයක් හිමි වෙනවා. ඒකට ගොඩක් සතුටුයි.


නීතිඥවරියක්, ගුරුවරියක් කියන අතිශය කාර්යබහුල වෘත්තීන් දෙකක නියැළෙන ගමන් කලා කටයුතුත් සමබරව කරගෙන යන්නේ කොහොමද?


පළමුවැනිම කාරණය තමයි බිසී වෙනවා කියන දේ මම කැමැත්තෙන් කරන දෙයක්. පොඩි කාලේ ඉඳලම මම වැඩ ගොඩක් එක්ක ඉන්න පුරුදුවෙලා ඉන්නේ. මම කොයිම වෙලාවකවත් කාර්යබහුලකම කියන දේ පීඩාවක් බවට පත්කර ගත්තේ නැහැ. නින්ද අඩුවෙන් ලැබෙද්දි, කෑමට, බීමට පවා විවේකයක් නැති වෙද්දි මේක අමාරුයි කියලා හිතුණු වෙලාවල් තිබෙනවා, නමුත් මම අද මේ නිරතවන, කලාව, නීති වෘත්තිය, ගුරු වෘත්තිය මේ සියල්ලම හරිම ආසාවකින් තමයි කරන්නේ. ඒ වගේම මොන දේ කළත් මට පුළුවන් ප්‍රමාණය පමණයි බාර ගන්නේ. මට කරන්න බැරි තරම් වැඩ ගොඩක් ගොඩ ගහගෙන කරන්නේ නැහැ මම.


ලංකාව තුළ නීතිඥවරියකට, ගුරුවරියකට සාපේක්ෂව රංගන ශිල්පිනියකට හිමි වන ගෞරවය අවමයි. එවැනි තත්ත්වයක් මත ඔබ රංගනයට පිවිසීමට බලපෑ හේතුව මොකක්ද?


ඔය ප්‍රශ්නය කැම්පස් එකේ මුල්ම කාලේ මට තිබුණා. මොකද මම කැම්පස් එකේ ඉන්න කාලෙදි තමයි රංගනයට එකතු වෙන්නේ. ඒ කාලේ ගොඩක් දෙනෙක්ගෙන් මට විවේචනයක් තිබුණා, ඉගෙන ගන්න කෙනෙක් වෙලා ඇයි රඟපාන්නේ කියලා. එතැනදි මට ගැටලුවක් මතු වුණා “ඇයි ඉගෙනගත්ත අයට රඟපාන්න බැරිද” කියලා. මොකද මම විශ්වාස කරනවා මේ ලෝකේ හැම වෘත්තියකටම ගරු කළ යුතුයි හා හැම වෘත්තියකටම වටිනාකමක් තිබෙනවා කියලා. රඟපාන අයට ඉගෙන ගන්න බැරිද කියන ප්‍රශ්නය මගේ ඔළුවේ නිතරම වැඩ කළා. කෙනෙක් මගෙන් ඒ ගැන අහද්දි මම හැම වෙලාවෙම කිව්වේ. ඒකත් වෘත්තියක් එතැනත් උගත් අය ඉන්නවා කියනදේ. මේ ක්ෂේත්‍රය ඇතුළේ රංගනය උගත් අය වගේම වෙන වෙන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උගත් අයත් ඉන්නවා. විශේෂයෙන් ලංකාවේ ඇතුළේ රංගන ශිල්පිනිියක් කිව්වම සුළුතරයක් නිසා සියල්ලම එකම මට්ටමකින් මනින අවස්ථා තිබෙනවා. වැරැදි කොයි තැනත් සිදු වෙනවා, නමුත් ඒ දේවල් එළියට එන්නේ නැහැ. මම හිතන්නේ රංගනය එහෙම පහළට දාලා හෑල්ලු කරන්න අවශ්‍ය වෘත්තියක් නෙවෙයි. ඉගෙන ගත්ත අය රඟපාන්න ඕනා වගේම රඟපාන අයත් ඉගෙන ගන්න ඕනා.


ඔබ වෘත්තීන් තුනක කටයුතු කරන කෙනෙක්. එහිදී ඔබේ වැඩි රුචිකත්වය තිබෙන්නේ කුමන වෘත්තියටද?


මම කොහොමත් පොඩි කාලේ ඉඳන්ම අට පහ රස්සාවකට කොටු වෙන්න කැමැති වෙලා හිටපු කෙනෙක් නෙවෙයි. මට හැමදාම අවශ්‍ය වුණේ ආසාවෙන් නිදහසේ කරන වෘත්තියක් කරන්න. අකැමැති දෙයක් අමාරුවෙන් කරනවට වඩා අපි ආස දෙයක් කරන එක වටිනවා. එක වෘත්තියකට කොටු වෙලා හිටියා නම් මට එපා වෙයි ඇත්තටම. දැන් මම කරන්නේ එකිනෙකට වෙනස් වෘත්තීන් තුනක්. ඒක මට අවශ්‍ය විධියට කාල කළමනාකරණය කරගෙන සමබරව කරන්න පුළුවන් නිසා මම ඒ තුනටම හරි ආදරෙයි. 


සචින්තනී කියන රංගන ශිල්පිනියගේ හැරවුම් ලක්ෂ්‍යය ගැන කතා කළොත්?


මගේ රංගන ජීවිතයේ ටර්නින් පොයින්ට් එක තමයි දිගැසි කියන චරිතය. මම ප්‍රේක්ෂකයන් අතරට යන්නේ දිගැසි හරහා. ඊට කලින් මම ටෙලි නාට්‍යය කිහිපයක් හා වෙළෙඳ දැන්වීම් කිහිපයක් කරලා තිබුණත්, ඒ නිර්මාණ එක්ක බලද්දි අඩුම කාලයකින් ප්‍රේක්ෂකයන් අතරට මාව අරගෙන ගියේ කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ දිගැසි කියන චරිතය. අදටත් බොහෝ දෙනා සචින්තනීටත් වඩා මාව අ¾දුරගන්නේ දිගැසි කියන නමින්. මම කවදා මොන චරිතයක් කළත් දිගැසි කියන චරිතය හැමෝගෙම මතකයේ තිබේවි. මම හරි ආදරෙන් ධනුෂ්ක රත්නායක, වසන්ත අමරසිංහ අධ්‍යක්ෂවරුන්ටත් තිර පිටපත් රචක මහේෂ් රත්සර මද්දුම ආරච්චි අයියටත් ස්තූතිවන්ත වෙනවා. මොකද දිගැසිව හැදුවේ ඔවුන්.


රංගන ක්ෂේත්‍රයේ ඔබට මුහුණදීමට සිදුවුණු අභියෝග ගැනත් කතා කරමු?


මම වෙන්න කැමැති පුද්ගලයා වීම සම්බන්ධයෙන් ඒ තැනට පත්වෙන්න වැඩ කිරීමේදී මටත් ඕනෑම කෙනෙක්ට මුහුණදීමට සිදුවන, හිත් රිදීම්, ප්‍රතික්ෂේප වීම්, කඩා වැටීම් වැනි දේවල්වලට මුහුණදීමට සිදු වුණා.  නමුත් ඒ හැම තැනකදීම මම හිතන්නේ අතහැරලා දානවා වෙනුවට හෝ ඒවාට ප්‍රතිචාර දක්වනවා වෙනුවට මගේ දක්ෂතාව පැත්තෙන් වේවා, මගේ පෙනුම පැත්තෙන් වේවා මාව තවත් නඟා සිටුවන්න උත්සාහ ගන්නවා කියන දේ.


ක්‍ෂේත්‍රය තුළ රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ව එකම ආරයේ චරිතවලට කොටු කර තිබීම ඔබ දකින්නේ කොයි විධියටද?


ඒක ඇත්තටම දුකට කාරණාවක්. අද වෙද්දි පෙම්වතියකගේ චරිතයෙන් කෙනෙක් ජනප්‍රිය වුණොත් ඇයට දිගටම පෙම්වතියගේ චරිතම ලැබෙනවා. නමුත් මම පෞද්ගලිකව විවිධාකාරයේ චරිත කරන්න ආසයි වගේම මට කරන්න පුළුවන් කියලා හිතෙන, මහන්සි වෙලා කරන්න පුළුවන් විධියේ චරිත භාර ගන්න කැමැතියි. ඒ වගේම මම විශ්වාස කරනවා එහෙම එකම රාමුවකට කොටුවීම කලාකරුවකුට සිදුවන අසාධාරණයක් කියලා. ඒ වගේම අනෙක් පැත්තෙන් කලාකරුවන් විධියට අපටත් වගකීමක් තිබෙනවා අපට කළ හැකි පරාසයේ දේවල් කරලා පෙන්වන්න. නමුත් ඒකටත් වැඩ ලැබෙන්න අවශ්‍යයි. තමන්ට කරන්න පුළුවන් ආකාරයේ වැඩ නොලැබීමත් එක්තරා අවාසනාවක්. මගේ දිගැසි චරිතය දැකලා පුරුදු බොහෝ අය මට උපුලි වගේ නපුරු චරිතයක් කරන්න එපා කියලා ඉල්ලීම් කරපු අවස්ථා තිබෙනවා. එතැනදි අපිව එකම ආකාරයකින් ප්‍රේක්ෂකයා වෙතට අරගෙන යන එක වළක්වා ඒ රාමුව කඩාගන්න පුළුවනුත් අපිටයි.


අවසන් වශයෙන් ඉදිරියේදී එන්න තිබෙන නිර්මාණ ගැනත් කතා කරමු?


ශාන් ජයරත්න අධ්‍යක්ෂවරයාගේ අලුත් නිර්මාණයක් එන්න තිබෙනවා. ඒකේ වෙනස්ම චරිතයකින් මාව දැකගන්න ලැබෙයි. ඒ වගේම කරපු නිර්මාණ කිහිපයක්ම තිබෙනවා ඒවා කවදා එයිද දන්නේ නැහැ. ඒ වගේම නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තිබෙනවා ඒවත් සාකච්ඡා මට්ටමේ තිබෙන්නේ.


අක්ෂි මාපා වීරසිංහ



Previous Post Next Post