එදා වගේම අදත් ලැබෙන ප්‍රතිචාර හොඳයි-වත්සලා දියලගොඩ




වත්සලා දියලගොඩ කලක් රංගනයෙන් අෑත් වී සිටි ප්‍රවීණ රංගන ශිල්පිනියක්. මේ දිනවල විකාශය වන ‘කෝලම්කුට්ටම’ ටෙලි නාට්‍යයෙන් නැවතත්  ඇය ඔබ හමුවට එන්නේ අතීත මතකයන් සිහිපත් කරමින්. නොමඳව ප්‍රේක්ෂක ආකර්ෂණය ලබන වත්සලා මෙවර  අදහස් එක් කළේ මෙලෙසින්.


 මේ දිනවල මොකද වෙන්නේ?


මේ දිනවල මගේ රංගන කටයුතු අලුතෙන්ම ආරම්භ කළා. මේ වන විට ටෙලි නාට්‍ය දෙකක වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම පවුලේ වැඩකටයුතුත්, රංගන වැඩ කටයුතුත් සමබරව කරගෙන යනවා.


ඔබ බොහෝ කලකට පසුව පුංචි  තිරයට ඇවිත්. ඉතින් මේ නිර්මාණ පිළිබඳව කතා කළොත්?


ශිවගුරුනාදන් මහත්මයාගේ නිර්මාණ දෙකකට තමයි  මම රංගනයෙන් දායක වෙන්නේ. කෝලම්කුට්ටම කියන නිර්මාණය නම් මේ දිනවල විකාශය වනවා. නමුත් ලන්සු තියපු මල් කියන අනෙක් නිර්මාණය නම් තවම ප්‍රේක්ෂකයන්ට දැකගන්නට ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට මේ නිර්මාණයත් නරඹන්නට හැකි වේවි.


කලකට පසුව රංගනයට පැමිණීම නිසා කොහොමද ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එහෙම?


විශේෂයක් නැහැ. එදා වගේම අදත් ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම කලාවේ හිටියත් නැතත් හොඳ ප්‍රතිචාර මට ලැබුණා. ඒ මම ඒ කාලයේ ගොඩනඟාගත් චරිතත් එක්ක වෙන්න ඇති. කොහොම නමුත් නැවත රංගනයට පැමිණීම හොඳයි කියලා ප්‍රේක්ෂකයන් කියනවා.


ඔබ දීර්ඝ කාලයක් කලාවෙන් අෑත් වෙලා ඉන්න විශේෂ හේතුවක් තිබෙනවාද?


ඇත්තටම මගේ පෞද්ගලික වැඩ කිහිපයක් නිසා තමයි රංගනයෙන් අෑත් වෙන්න සිදුවුණේ. දැන් ඒ වැඩ කටයුතු බොහෝ දුරට අවසන්. දැන් ඔළුව ටිකක් නිදහස්, නැවත වැඩ කරන්න පුළුවන් පරිසරයක් තිබෙනවා. ඇත්තටම රංගනයෙන් අෑත් වෙන්න එහෙම විශේෂ හේතුවක් නැහැ. නමුත් මම ටික කලකට කලාවෙන් අෑත් වුණත් කලාව අතහැරියේ නැහැ.


ඔබ නැවත කලාවට සම්බන්ධ වෙන්න විශේෂ හේතුවක් තිබෙනවාද?


ශිවගුරුනාදන් මහත්මයාගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න වගේම සද්ධාමංගල අයියා ලියන පිටපතක වැඩ කරන්න මට ලොකු කැමැත්තක් තිබුණා. ඉතින් ඒ අවස්ථාව මට ලැබුණ නිසා මම එතැනින් නැවත කලාව පටන් ගන්න හිතුවා.


මේ නිර්මාණ දෙකෙන් පස්සේ නැවතත් ඔබ කලාවෙන් අෑත් වෙනවාද?


නැහැ. දිගටම කලා නිර්මාණවලට සහභාගි වෙන අදහසින් තමයි ඉන්නේ. මගේ ජීවිතයේදී රංගනය කියන්නේ මට වෙනස්ම ආකාරයකට දැනෙන දෙයක්. ඇත්තටම ඒකට මම කැමැතියි. ඒ නිසා මම රංගනය දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.


ඉතින් වර්තමාන කලා ක්ෂේත්‍රය සහ නවක නළු නිළියන් ගැන මොකද හිතෙන්නේ?


අපි රංගනයට පැමිණි මුල් කාලයට වඩා දැන් ගොඩක් වෙනස්. ක්ෂේත්‍රයත් වෙනස්. වැඩ කරන්න ඉන්න අයත් වෙනස්. සෑම දෙයකම පොඩි පොඩි වෙනස්කම් තිබෙනවා. නමුත් නව පරපුරේ දක්ෂයනුත් ඉන්නවා. ඉතින් මේ හැමෝම එක්ක වැඩ කරගෙන යනවා.


ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඔබව දැක ගන්නට ලැබෙන්නේ පුංචි තිරයෙන් පමණද?


දැනට මම දන්නෙ නැහැ ඒක කොහොම වෙයිද කියලා. ඒ ගැන ඉදිරියේදී බලමු.


ඔබ ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඉතින් වර්තමානයේ රංගන ශිල්පීන්ට හෝ ශිල්පිනියන්ට සම්මාන ලැබීම ගැන මොකද හිතන්නේ?


පෞද්ගලිකව මම සම්මාන ගැන එතරම් සිතන කෙනෙක් නෙවෙයි. එක එක ආකාරයේ සම්මාන උළෙලවල් දැන් තිබෙනවා. ඒ වගේම කැමැති කැමැති ආකාරයට සම්මාන උළෙලවල් තිබෙනවා. ඉතින් සමහර තැන්වල සම්මාන ලැබිය යුතු අයට සම්මාන ලැබෙන්නේ නැහැ. මෙවැනි දේවලුත් නැතිවාම නෙවෙයි. කොහොම නමුත් මම නම් දකින්නේ ප්‍රේක්ෂකයන්ගේ සම්මානය තමයි ජීවිත කාලයටම වටින්නේ කියලා.


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


ජීවිතයේ විශේෂයෙන් ගොඩනඟා ගත් බලාපොරොත්තු නැහැ. මගේ පුංචි පුතාටත් දැන් අවුරුදු දහයයි. එයාගේ වැඩකටයුතු වගේම මේ සෑම දෙයක්ම සමබරව කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post