ඇත්ත ජීවිතේ මං එහෙම කෙනෙක් නෙවෙයි -සිත්මි එදිරිසිංහ




හිරි පොද වැස්ස ටෙලි නිර්මාණයෙන් ඔබ හමුවට එන අලුත් මුහුණක් ගැන මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇත. කවුද මේ චාරු? බොහෝ දෙනාට ගැටලුවක් වී ඇති නිසා අපි ඇය ගැන සොයා බැලීමු. ඇය සිත්මි එදිරිසිංහය. ඔබ බොහෝ සේ ආදරය කරන පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයේ නිම්නාවිගේ සොයුරියයි. 2023 හිරු අවුරුදු කුමරිය තරගය හරහා වෙළෙඳ දැන්වීම් කලාවට එක්වුණු ඇය මේ වනවිට රංගන ශිල්පිනියක ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගෙන සිටින්නීය.


සිත්මි කලා ක්ෂේත්‍රයට ආගන්තුක නැත්තේ අක්කා නිසා ද?


කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මුලින්ම මාව හඳුනගත්තේ නිම්නාවිගේ නංගි විදිහට. නමුත් මං 2023 වසරේ හිරු අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා තුන්වැනි ස්ථානය දිනාගැනීමත් එක්ක වෙළෙඳ දැන්වීම්වලට ගොඩක් අවස්ථා ලැබුණා. පියුමාලි එදිරිසිංහ කියන්නේ මගේ අක්කා. පාට කුරුල්ලෝහි නිම්නාවි හරහා අක්කා ගොඩක් ජනප්‍රිය වුණා. හිරි පොද වැස්ස ටෙලි නිර්මාණයේ චාරුගේ චරිතයෙන් මටත් ප්‍රේක්ෂකයන් අතරට එන්න හැකියාව ලැබුණා.


කොහොමද චාරු වෙන්න අවස්ථාව ලැබෙන්නේ?


මං අක්කත් එක්ක ගොඩක් ලොකේෂන්වලට, ක්ෂේත්‍රයේ වැඩවලට යනවා. ඒ නිසා බොහෝ දෙනා නිම්නාවිගෙ නංගි විදිහට මාව හඳුනගෙන හිටියා. පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයේ සහාය අධ්‍යක්ෂ තරංග නිරිඇල්ල අයියයි වාසනා අයියයි මගේ ෆොටෝ වගයක් හිරි පොද වැස්ස ටෙලි නිර්මාණයට යවලා තිබුණා. මට ස්ක්‍රීන් ටෙස්ට් එකට කතා කළා. හිරිපොද වැස්ස අධ්‍යක්ෂ ඉන්දික ධර්මතිලක සහ නිෂ්පාදක ප්‍රභාත් රෝෂන් මාව චාරුගේ චරිතයට තෝරගෙන තිබුණා.


චාරු කියන්නේ ඔබේ පළමු රංගන අත්දැකීම. කොහොමද ඒක දැනුණේ?


මුලින්ම මට බය හිතුණා. මට රංගන අත්දැකීමක් තිබුණෙ නෑ. ටීනගේ යාළුවගේ චරිතය ලැබුණේ. සහාය අධ්‍යක්ෂවරයා නංගි මේක බලාගන්න කියලා මට ස්ක්‍රිප්ට් එක දුන්නා. මුල්ම සීන් එකට මුහුණ දෙද්දි මං ශයිනි අක්කට කිව්වා අක්කේ මට කිසිම අත්දැකීමක් නැහැ. වැරදුණොත් සමාවෙන්න කියලා. පිස්සුද නංගි බය වෙන්න එපා කියලා එයා මගේ බය නැති කළා. මං සීන් එකෙන් පස්සේ බොරුවටනේ නංගි බයවෙලා හිටියේ කියලත් කිව්වා. එයා හරිම ආදරණීය කෙනෙක්. මේ වෙද්දි නම් හිරි පොද වැස්ස කණ්ඩායම හරියට එක පවුලක් වගේ.


චාරුගෙ වැඩේම වලිවලට පැටලෙන එකමයි නේද? කොහොමද ඒ අත්දැකීම?


ඇත්තටම නිතරම වගේ අපට තියෙන්නේ ගහගන්න ඒවා. එක දවසක් ඉස්කෝලෙ ඇතුළෙම යුනිෆෝම් එකෙන් ගහගන්න තිබුණා. මං මල්වලට වතුර දාද්දි පවී ඇවිත් මගේ කොණ්ඩෙන් අදිනවා. පළවෙනි සැරේ පවී යන්තමට මගේ කොණ්ඩෙන් ඇද්දා. මාත් එයාට ලාවට වගේ පහරක් ගැහුවා. අධ්‍යක්ෂවරයා පවීට කෑගහනවා ඔහොම හරියන්නෙ නෑ හයියෙන් අදින්න කියලා. මටත් කෑගහනවා හයියෙන් ගහන්න කියලා. කොහොම හරි දෙවැනි සැරේ පවී හයියෙන්ම මගේ කොණ්ඩෙන් ඇද්දා. මගේ ඇස්වලින් කඳුළුත් පැන්නා. බලන් හිටිය අපේ අම්මගෙ ඇස්වලත් කඳුළු. කොහොමහරි එදා දවසම මගේ ඔළුව රිදුණා. ඒ වගේම මමත් හයියෙන් පවීට ගැහුවා. එයාගෙත් ගෙදර ගිහිල්ලත් අත රිදුණලු. එදා වලිය නම් හොඳටම ගියා. කොතරම් තාත්විකව ගහගෙන ද කිව්වොත් ඒක ෂෙයාර් වෙන්නත් පටන් ගත්තා.


චාරුට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?


ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මුලින්ම කවුද මේ චාරු කියලා අහලා තිබුණා. පස්සේ නිම්නාවිගෙ නංගි කියලත් දාල තිබුණා. එක හිතක් නැති කෙල්ලෙක් කියලා මේ දවස්වල නම් චාරුට බණිනවා. චාරු වෙලාවකට තිලාට කැමැතියි වගේ පෙන්නනවා. ටිකකින් අතුලට කැමැතියි වගේ. තව ටිකකින් බන්දුකට කැමැතියි වගේ පෙන්නනවා. ඒ නිසා චාරු මේ දවස්වල බැණුම් අහනවා. චරිතය තේරුම් ගත්ත අය බණින්නේ නෑ. මට හිතෙනවා මං ඒ චරිතයට සාධාරණයක් කරන්න ඇති කියලා. මේ ළඟදිත් මං ට්‍රැෆික් එකේ යද්දි ත්‍රීවීලර් එකක ගිය පිරිමි ළමයි වගයක් අන්න චාරු චාරු කියලා කෑගැහුවා. එහෙම වෙද්දි නම් ලොකු සතුටක් දැනෙනවා. මේකත් කියන්නම ඕන. ඇත්ත ජීවිතේ මං එහෙම කෙනෙක් නෙවෙයි.


සිත්මි ඉදිරියේදී ප්‍රධාන චරිතයකින් හමුවෙනවා කියලත් ආරංචියි?


ඔව්. නිර්මාණවලට ආරාධනා නම් ගොඩක් ආවා. ලබන අවුරුද්දේ මුල ඉඳන් මම ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ දවස්වල තවත් වැඩක් කරමින් ඉන්නවා.


අක්කයි නංගියි දෙන්නම දැන් ජනප්‍රිය චරිත නිසා ගෙදර ප්‍රතිචාර බෙදෙන්නේ කොහොමද?


එයාලට ගොඩක් සතුටුයි. අම්මා මගේ පස්සෙන්ම ඉන්නවා. අම්මයි තාත්තයි දෙන්න අපි දෙන්නගෙ කතා බලන්න පොරේ. එක්කෙනෙක්ට පාට කුරුල්ලෝ බලන්න ඕන කියනවා. අනෙක් එක්කෙනා හිරිපොද වැස්ස. අක්කා ඉන්න නිසා ආලවන්තීත් බලනවා. එකම වෙලාවට තියෙන එක හරිම ගැටලුවක් තමයි ඉතින්. එදාට බලන්න බැරි වෙන කතාව යූටියුබ් එකෙන් හරි එයාල බලනවා.


චාරුට වගේම සිත්මිටත් ආදරණීය අත්දැකීම් ඇති?


ඔව්. ආදරය ගැන අත්දැකීම් තියෙනවා. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමුකෝ.


නාමලී ගමගේ



Previous Post Next Post