මට එයාව ගොඩක් ෆීල් වුණා -පියුමි බොතේජු




ඇය තිරයෙන් අප හමුවට එන ආදරණීය තාරකාවක්. ඒ වගේම ඇය හරිම සුන්දර ආදරණීය චරිතයක්. සිනමාපට හයක් ටෙලිනාට්‍ය සියයකට අධික ප්‍රමාණයක් හා වේදිකා නාට්‍ය පහක පමණ රංගනයෙන් දායක වී ඇති ඇය මේ වන විට ටෙලිනාට්‍ය රංගනයට අමතරව ප්‍රහසන රංගන සඳහා සිය දායකත්වය ලබාදෙමින් සිටින්නීය. ඈ නමින් පියුමි බොතේජුය.


පියුමි කියන්නෙ කවුද?


හැම තිස්සෙම මේ මොහොත ගැන සිතන; මේ මොහොත සතුටින් ගත කරන්න කැමැති; අතීතය ගැන හෝ අනාගතය ගැන සිතමින් වර්තමාන මොහොත නැති කරගන්න අකමැති කෙනෙක්. ඒ වගේම පියුමිට අනාගතය ගැන දැක්මක් තියෙනවා. හැබැයි ඒ ගැන සිතමින් මේ මොහොත නැති කරගන්න කැමැති නැහැ. මේ මොහොත උපරිම සතුටින් ගෙවන්නයි මම කැමැති.


පාසල් යන කාලේ පෙම්වතෙක් හිටියෙ නැද්ද?


පාසල යන කාලෙ නම් පෙම්වතෙක් ඉඳල නැහැ. හේතුව මං ඒ කාලෙ හිටියේ කොණ්ඩෙ කොටට කපල කොල්ලෙක් වගේ. ඒත් දවසක් පිරිමි ළමයෙක් මට ලියුමක් දුන්නා. මේක දැකපු මගේ හොඳම යාළුවා ඒක අපේ අයියට කියලා තිබුණා. ඒ පිරිමි ළමයා අයියල තුන්දෙනාගෙන් හොඳටම ගුටි කෑවා. පස්සෙ තමයි දැනගත්තේ මගේ යාළුවා ඒ පිරිමි ළමයට කැමැත්තෙන් ඉඳපු බව.


පොඩි කාලේ පොඩියට තිබ්බ ලව් එක.. ලොකුවෙද්දි අත්දෙකෙන් ලොකුවට පේනවා කියලා දවසක් වැඩසටහනක කියනව මං අහගෙන. මොකක්ද ඒ කතාව.?



මට අයියල තුන්දෙනෙක් ඉන්නවා. මමනෙ එකම නංගි. අයියලා මට හරිම ආදරෙයි. ඒත් පුංචි කාලෙ ඉඳල එයාලගෙ පංචින් බෑග් එක වුණේ මගේ අත්දෙක. ළඟින් ගියත් මගේ අතට ගහගෙන යන්නේ. ඒ ආදරේ තමයි මේ අත්දෙකෙන් දැන් ලොකුවට පේන්නේ…


ඔයා රංගනයට එද්දි ආසම කළ නිළිය කවුද?


වසන්ති චතුරාණි, එයාගේ අහිංසක කමත් එක්ක තිබුණ ගාම්භීරකමට මං ගොඩක් කැමැතියි. ඒ වගේම සබීතා අක්කා, දිල්හානි අක්කා මං ගොඩක්ම ආස කරන අය.


ලංකාවේ ඔයාට දැණුනු ස්ටාර් කවුද?


චාතුර්යා නාට්‍ය ගොඩක් දැණුනු නිසා රොජර් සෙනෙවිරත්නට තමයි මං මුලින්ම ආස කළේ. ඊට පස්සේ රතු රෝස නාට්‍යත් එක්ක කමල් අද්දරආරච්චි අයියව ෆීල් වුණා. සිනමාවේ මගේ ස්ටාර් රවින්ද්‍ර රන්දෙණිය අයියා. මට එයාගෙ අහිංසක කමත් ප්‍රතාපවත් බවත් එක්ක මට එයාව ගොඩක් ෆීල් වුණා. විශේෂයෙන්ම එක්ටැම්ගේ චිත්‍රපටයේ එයා රඟපාපු චරිතය මට ගොඩක් සංවේදීව දැනුණා.


ඔයා ආසම සිංහල චිත්‍රපටි දෙකක් නම් කරන්න කිවුවොත්?


එක්ටැම්ගේ සහ බඹරු ඇවිත්


යොවුන් වියේ ආසම කළ ටෙලිනාට්‍ය මොකක්ද?


රතු රෝස


පියුමිට ප්‍රේමවන්තයෙක් ඉන්නවද?


තාම නැහැ.


ආදරේ ඔයාට ෆීල් වෙන්නෙ කොහොමද?


ආදරේ තමයි වැදගත්ම දේ. ගහකට අත්‍යාවශ්‍යම දෙයක්නෙ වතුර. ඒ වගේ ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක් තමයි ආදරය. මිල මුදල් අපට එකතුවෙලා හරි හම්බකරගන්න පුළුවන්. නමුත් ආදරය එහෙම බෑ. අද සමාජයේ මුලටම එන්නෙ මිල මුදල්. ඒ නිසා අද සමාජයේ ආදරය අතුරුදන් වෙලා. ඒ නිසා මං හරි බයයි. මොකද මං ආදරේට ආදරේ කරන කෙනෙක්. යාළුවෙක්ගෙන් වුණත් උඹ මට ආදරේද කියල අහන කෙනෙක්.


රසික කොටුදුරගේ




Previous Post Next Post