ලංකාවේ වාසනාවන්තම නවක නළුවා මම කියලා හිතුණා - සුරන් දසනායක




සැණින් එසැණින් වෙනස් වන වග දන්නා නමුදු ඒ මොහොතේ මහ මුහුද නිහඬය. සසල වන හැඩක් සසල වන වගක් නොහැඟිණි. උසුලාගත නොහැකි තරම් රන්වන් අව්ව ගත දවයි. උදෑසන සිට මහ මුහුද මැද බෝට්ටුවේ මාරියා වෙනුවෙන් වෙහෙසුණු  දර්ශන් ධර්මරාජ්, හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ, සුරන් දසනායක උන්නේ ගිමන් හරින මොහොතකය. සොඳුරු වෙහෙසක් ඔවුන් දවමින් සිටි මොහොතක මාරියා සිනමා වියමනේ අධ්‍යක්ෂවරයා කීවේ මෙවැන්නකි. 


''මුහුදෙ සීන් එක ආයි කරමුද...''


චිත්‍රපටයේ රූගත කිරීම් සියල්ල අවසන් වී විඩාවෙන් අහුවුණු තැන ඔහේ වැටී සිටි කට්ටියම දරුණුවටම නැතත් අරුණ කළ ඉල්ලීම හමුවේ හා එහෙනම් ආයෙ ගමු යැයි කීවේ දවස් ගණනාවක් තිස්සේ මහ මුහුද මැද අව් කාටකය මැද දරාගෙන මහන්සිය කළ රඟපෑම දශමයකින්වත් අවුලක් නොවිය යුතුය යන සිතුවිල්ල නිසාමය. හේමාල්, අශාන්, සුරන්, දර්ශන් මේ ආකාරයට කට්ටිය මුහුදට පැන්නෙත් අරුණගේ ඉල්ලීම මත තවත් වතාවක් කලින් රූගත කළ දර්ශනයක් රූගත කරනු පිණිසය. මහ මුහුදත් වරෙක පිරිමි හිත් වගේමය. මතුපිටින් දනවන ළතෙත් මෙලෙක් ආදරණීය බව හද ගැඹුරෙහි හමුවෙන තැන් විරලය. ඒ මොහොතේ මහ මුහුදත් ඒ වගේමය. මතුපිටින් නිසල සුන්දර ආදරණීය මහ මුහුද ඇතුළතින් බරුති රුලි අතුරාන ඔවුන් කළඹවයි. රුල්ලෙහි සැරට හේමාල් මුහුද ගැඹුරට ඇදී යද්දී අශාන් හේමාල් පසුපස පීනා ගියේ හැකි හැම වැරක්ම යොදා ඔහු බේරා ගන්නටය. මුහුද මැද වෙනම කතාන්දරයකි. වීඩියෝ කැමරා මානගෙන රූගත කිරීම් කරන අරුණ ජයවර්ධන මෙහෙයවන බෝට්ටුවේ උඩ තවත් කතාන්දරයකි. ලණු දමන්න යැයි කෑ ගසද්දී බෝට්ටුවේ උඩ පිරිස ලණුව දමා දිගටම රූගත කිරීම් කරන්නේ මේ රඟපෑමක් බව සිතාගෙනය. ලණුව විසිකර ඔවුන් නැවතත් කැමරාව අල්ලයි. විසි කළ ලණුව අල්ලා ගැනීමට හේමාල්ටවත් අශාන්ටවත් සුරන්ටවත් හැකි වූයේත් නැත. අවසානයේදී දන්න සිංහලේ හොඳම කුණුහරුප ටික කියා කෑ ගැසුවේ මරණ බය සම්, මස්, ලේ, නහර, ඇට මිදුළු විනිවිද දැනෙන්නට වූ නිසාය. රඟපෑමක් නොව මරණය සමඟ ඔට්ටුවක් අල්ලමින් සිටින වග බෝට්ටුවේ උන් පිරිසට වැටහෙද්දී මුහුද මැද කට්ටිය හොඳටම හෙම්බත්ව සිටියහ. අවසානයේ කුඩා බෝට්ටුවක් පැමිණ ලණුවක් දමා ''මාර ගේමක්'' දී අවසානයේ ඔවුන් බේරාගත් නිසාවෙන් අද මා සමඟ කතා කරන්නට හුස්මක් ගනිමින් සුරන් දසනායක මා අභිමුවය. 


සුරන්.. මරණ බය ඇත්තටම කොයි විදිහටද දැනුණෙ?


කියන්න වචන දන්නෙ නෑ. ඇත්තටම ඒ අන්තිම මොහොත වෙද්දි ජීවත් වෙන්න ලැබෙයි කියලා හිතන්නෙ නැති තැනක මම හිතන්නෙ අපි හිටියෙ කියලා මට හිතෙනවා. තව දශම ගාණක් පහු වුණානම් අපි බෝට්ටුව ඇතුළෙ ගිහිල්ලා හිරවෙනවා. එහෙම වුණානම් අපි ඔක්කොම එකට මැරෙන්නෙ එදා. 


Q ජීවිතේ පළවෙනි වතාවටද මරණ බය ඒ විදිහට දැනුණෙ?


නෑ දෙවැනි වතාවට. 


Q ඇයි එහෙම කියන්නෙ?


පළවෙනි වතාවට මට මරණ බය දැනුණෙ කොරියාවෙදි. මම කාලයක් කොරියාවෙ ජීවත් වුණා. කොරියාවට ගිය ගමන්ම කෙමිකල් බකට් එකක් නිසා මට හිතාගන්න බැරි අනතුරක් වුණා. ඒ කෙමිකල් වැදිලා ඇස් පේන්නෙ නැතුව ගිහින් මම කෑ ගැහුවා. මට හිතුණෙ මම මැරෙයි කියලා. 


 සුරන්... සිනමාව හා ඔබේ සම්මිශ්‍රණය අපි දකින්නේ 1970 Love story සිනමා වියමන ඔස්සේ. අරුණ ජයවර්ධන වැනි විචිත්‍රවත් සිනමාවේදියෙක් ඇසුරේ සිනමාව පිළිබඳව %අ^ යන්න තවදුරටත් කියවූ ඔබ වාසනාවන්තයි කියලා ඔබට හිතෙනවද?


ඇත්තටම ඔව්. අරුණ ජයවර්ධන කියන්නෙ සාමාන්‍යයෙන් නිහඬ චරිතයක්. පුදුම ඉවසීමක් තියෙන සිනමා අධ්‍යක්ෂකවරයෙක්. එයා එක්ක වැඩ කරන්න හරි ලේසියි. ඒත් සමහර තැන්වලදි තේරුම් ගන්නත් අමාරුයි. අරුණ අයියා දන්නවා පුදුම ඉවසීමකින් නළුවෙක්ගෙන් ගන්න ඕනෑ සාරය උපරිමයෙන් පෙරලාගන්න. චන්න දේශප්‍රිය, දමින්ද මඩවල, අරුණ ජයවර්ධන කියන තුන්දෙනාගෙ එකමුතුව මාරයි. සිනමාවෙදි ඒ තුන් කට්ටුවෙ නිර්මාණශීලීත්වය පුදුම සම්මිශ්‍රණයක්. රංගන ශිල්පීන් එක්ක එයාලා වැඩ කරන විදිහ හැමෝටම කරන්න බෑ. අරුණ අයියා තමන්ගෙ චිත්‍රපටයක චරිතයකට තෝරාගන්නෙ ඊට ගැලපෙනම කෙනා. එයාට පුදුම හැකියාවක් ඒ දේ හරියටම කරන්න තියෙනවා. 


Q මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දිනෙත් ද සිල්වා වැනි විචිත්‍රවත් රංගන ශිල්පීන් සමඟ ඔබ 1970 Love Story අත්දැකීම විඳගන්න තරම් වාසනාවන්ත වුණා කියලා මට හිතෙනවා. මම හරිද?


ඇත්තටම 1970 Love story කියන්නෙ සිනමාව ගැන හුඟක් දේවල් ප්‍රායෝගිකව ඉගෙන ගත්ත තැනක්. මම ඒ චිත්‍රපටයෙ රඟපෑවෙ පුංචිම චරිතයක් වුණත් සිනමාවට තිබුණු ආසාව නිසාම මම දිගටම රුඳී හිටියා. මම නිදාගත්තෙ සාලේ තිබුණු සෝපාවක. උදේම ''මේකප්'' කරන කට්ටිය ඇවිත් මල්ලි නැගිටින්න.. මෙතැන ''මේකප්'' කරන්න ඕනෑ කියලා මාව ඇහැරවනවා. චිත්‍රපටයක් කරන්න කොච්චර මහන්සියක් දරන්න ඕනෙද කියන එක 1970 Love story කරද්දි මම දැක්කා. හේමාල් වැඩක් කරද්දි ඒ වෙනුවෙන් පුදුම කැපකිරීමක් කරන රංගන ශිල්පියෙක්. එයාගෙ දුරකථනය ගැනවත් එයා අවධානයක් දෙන්නෙ නැහැ. ඒ නිර්මාණය ඉවර වෙනකම්ම එයා මානසිකව ඉන්නෙ ඒ චරිතයත් එක්ක. මහේන්ද්‍ර අයියත් එහෙමයි. ඇත්තටම ඔවුන් විශිෂ්ටයන්. ඒ වගේම තමයි දිනෙත්. දිනෙත්ට 1970 Love story චිත්‍රපටයේ රඟපාන්න තිබුණෙ රූප රාමු කිහිපයක් වුණත් ඔහු කෙතරම් විශිෂ්ට නළුවෙක්ද කියන එක ඔහු ඒ රූප රාමුවල හැම තත්ත්පරයකදීම ඔප්පු කරලා පෙන්නුවා. වෙඩි තියන්න යන තැනදි හරිම සියුම් විදිහට ඒ ඇඟිල්ලෙ වෙව්ලිල්ල පවා ඔහු කරන හැටි මට හිතාගන්න බැරි වුණා. ඇත්තටම ඔහු චරිතයත් එක්ක රඟපෑවෙ නෑ. ඒ චරිත ඇතුළටම කිඳා බැහැලා ඒ චරිතය එක්ක හුස්ම ගත්තා. තව දෙයක් කියන්න ඕනෑ. දිනෙත් කියන්නෙ ලංකාවෙ මොඩ්ල් එකේ සුපිරිම හැන්ඩියෙක්.  


Q මාරියා රූගත කිරීම් කරද්දි හමුවූවන් පිළිබඳව සුරන්ගෙ අර්ථකථනය කොහොමද?


දර්ශන් ධර්මරාජ් මට හිතෙන්නෙ සිංහල සිනමාවෙ වර්තමානය හා අනාගතය පිළිබඳව ලස්සන බලාපොරොත්තුවක් වෙච්ච ගාම්භීර කළු සිංහයා කියලා. ඒත් ඇඟෙන් පේන ඒ බර ගතිය දර්ශන්ගෙ හදවතේ නෑ. හරිම සරලයි. දර්ශන් මට රඟපෑම ගැන හුඟක් දේවල් කියලා දුන්නා. හරි සියුම් විදිහට කියලා දුන්නා. අපි දෙන්නට තිබුණා දමිළ දෙබස් කියන්න. බෝට්ටුව, මාළු, මුහුද හුරු මට ඇත්තටම ඒ චිත්‍රපටය මාර අත්දැකීමක්. මට දමිළ භාෂාවත් ටිකක් පුළුවන්. ඒත් ඒ දෙබස් කියද්දි දර්ශන් දුන්න සහාය කවදාවත් අමතක කරන්න බෑ. ඒ දර්ශන් අද හුස්මක් වැටෙන තැනක අපි එක්ක නෑ කියලා හිතෙද්දි ලොකු දුකක් දැනෙනවා. 


ලාංකික ප්‍රේක්ෂකාගාරයට එන්නත් පෙර මාරියා විදේශීය සිනමා සම්මාන උළෙලවල් කිහිපයකදි සම්මානයට පාත්‍ර වුණා. වියට්නාම් Hanoi සිනමා උළෙලේදි ඔබ හොඳම නළුවා වුණා. සුරන්ට සුරන් කියන නළුවා ගැන හිතෙන්නෙ මොකක්ද?


ගොඩබිමක් පේන්නෙ නැති මානයක මුහුද මැද මාරියා වෙනුවෙන් ඇත්තටම අපි දරාගත්තෙ පුදුම වෙහෙසක්. ඒත් ඒක දැන් දැනෙන්නෙ ජීවිතේ වින්ඳ සොඳුරු වෙහෙසක් විදිහට. මට හිතෙනවා නවක නළුවෙක් වශයෙන් ලංකාවෙ වාසනාවන්තම නළුවා මම කියලා. මට එහෙම දැනුණෙ අරුණ ජයවර්ධන වගේ අධ්‍යක්ෂවරයෙක් යටතේ දර්ශන්, හේමාල්, අශාන්, මහේන්ද්‍ර, ප්‍රියන්ත, දසුන් වගේ කට්ටියක් එක්ක මම වගේ නවක නළුවෙකුට රඟපාන්න ලැබුණාම. වියට්නාම් Hanoi සිනමා උළෙලේ හොඳම නළුවා සම්මානයෙන් ඒ අපි කට්ටියම සම්මානයට පාත්‍ර වෙද්දි දැනුණු හැඟීම කියා ගන්න අමාරුයි. ජාත්‍යන්තරයෙන් සම්මානයක් ලබන්න තරම් මම වාසනාවන්ත වුණා. ඒ වගේම රුසියාවෙ මොක්සව් සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය වෙනුවෙන් මාරියා සම්මාන ලැබුවා. අවුරුදු 33කට පසුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙන් පසුව මොස්කව් සිනමා උළෙලකදී සිංහල චිත්‍රපටයක් ඒ සම්මානය ලැබුවෙ එදා. ඒ වගේම ඉන්දීය සම්මාන උළෙල නියෝජනය කරමින් සම්මාන කිහිපයක් මාරියා චිත්‍රපටයට ලැබුණා. ක්‍රීඩාවෙන් ජාතික මට්ටමට පැමිණි ක්‍රීඩකයෙක් වෙච්ච මම නළුවෙක් වීම අහම්බයක් වුණත් රංගනය වගේ හරි ගැඹුරු සියුම් පරාසයක විහිදෙන ක්ෂේත්‍රයකට අඩිය තියන්න පුළුවන් වෙච්ච එක ගැන දැනෙන්නෙ පුදුමාකාර තෘප්තියක්. 


Q ජාත්‍යන්තර සිනමා උළෙලකදී හොඳම නළුවා වුණු ඔබ ඒ මොහොතේ විඳි සතුට අදටත් විඳිනවා. ඒ වගේම අදටත් අමතක කරන්න බැරි හිත් රිදුණු තැන් ඇති සමහර විට. ඉතින් කියන්න මට?


මට ආත්ම ලැජ්ජාවක් දැනුණු තැනක් තිබුණා. රඟපාන්න බෑ කියලා මාව ටෙලිනාට්‍යයකින් අයින් කළා. ඒ ක්ෂේත්‍රයට ආව මුල්ම කාලෙ. දෙබස් පාඩම් කරලා කරලා රඟපාන්න ගියාට මට ඇත්තටම රඟපාන්න බැරුව ගියා. ඒත් මාව එහෙම ප්‍රතික්ෂේප කරපු මට යන්න කීව අධ්‍යක්ෂකවරයාට මම අදටත් ආදරෙයි. මම මගේ ගමන අත්හරින්නෙ නැහැ. රංගනය කියන්නෙ මොකක්ද කියන එක අධ්‍යයනය කර කර හොයාගෙන යනවා කියන ගැම්ම මගෙ පපුවටම දැනුණෙ එදා. රඟපාන්න සූදානම් වෙලා ඉද්දි ඒ චරිතෙන් මාව අයින් කරලා වෙන අය දාපු තැන් තිබුණා. ඒ සියල්ල මම පුදුමාකාර ඉවසීමකින් නිහඬව දරා ගත්තා. මම තාම ගමනක් ගිහින් නෑ. ඒත් ගමනක් යන්න පටන්ගෙන තියෙනවා. ඕනෑම දෙයක් දරාගෙන ඒ ගමන යන්න හයියක් විශ්වාසයක් ගැම්මක් ජීවිත රස්තියාදුවක් අද මට තියෙනවා. 


Q චලෝ, ඇස්, අළු පාට දේදුණු, ජානු ප්‍රමුඛ නිර්මාණ රැසක් ඔස්සේ මට හිතෙනවා ඔබ ලාංකික ප්‍රේක්ෂක හදවත් තුළ ඉඩක් වෙන්කර ගත්තා කියලා. ඒ වගේම ඉන්දුනීසියාවේ ධීවර පිරිසක් මුහුණ දුන් සැබෑ සිද්ධියක් ප්‍රස්තුත කරගෙන නිර්මාණය වූ මාරියා ඔස්සේ ලාංකික ප්‍රේක්ෂකයන් ඔබ තවදුරටත් ආදරෙන් වැළඳගනී කියලා. ඒ ආදරයට ඔබ කොච්චර ආදරෙයිද?


ජීවිතේ සමහර තැන්වලදි ප්‍රතික්ෂේප විය යුතුයි. ඒ ප්‍රතික්ෂේප වීම් ආශිර්වාදයක් වෙන තැන් ජීවිතේ හමුවෙනවා. ඔයාට රඟපාන්න බෑ කියලා මට යන්න කියපු වෙලාවෙ දැනිච්ච ආත්ම ලැජ්ජාව මාව මට ඕනෑ මාවත දිගේ මාව එක්ක ආවා. තාම ගමනක් ගිහින් නැති වුණත් ගමනක් යා යුතු බව මට දැනෙනවා. ප්‍රතික්ෂේප වන තැන්වලදි කලකිරෙන්නෙ නැතුව අවබෝධයෙන් ජීවිතේ දරාගත යුතුයි. මේ ආදරය ලැබෙන්නෙ ඒ හින්දා. ඒ ආදරයට අවංකවම හදවතින්ම හැමදාමත් ආදරෙයි. කොරියාවෙදි හමුවූ යාළුවන්ට උදව් කරපු අයට ලංකාවෙ සහ විදේශවල ඉන්න මගේ යාළුවන්ට ප්‍රේක්ෂකයන්ට වගේම මගේ ජීවිතේ ඇතුළෙ ඉන්න හැම කෙනාටමත් මම හැමදාමත් ආදරෙයි. මම විශ්වාස කරන උත්තරීතරම දෙයක් තමයි ස්වභාවධර්මය. ස්වභාවධර්මයේ තීරණ, සොබාදහමත් එක්ක ජීවිතේ දකින සරල ආදරණීය කෙනෙක් විදිහට මාව අඳුනගත්ත අය ඇත්තටම මට ආදරෙයි කියන්නත් මම දන්නවා.


I




Previous Post Next Post