ඉස්සර බැනපු අයත් දැන් මට හොඳ කියනවා-ආක්ෂා චමුදි




කුඩා කාලයේ පටන්ම ගීත ගායනයට දස්කම් පෑ ආක්ෂා චමුදි බොහෝදෙනා හ¾දුනා ගන්නේ “රෑ දවල්” වැනි වේග රිද්ම ගීත ගායානා කරන ළමා ගායන ශිල්පිනියක් ලෙසයි. නමුත් වේග රිද්මයේ ගීත මෙන්ම ලයාන්විත ගීත ගායනයට ඇති හැකියාව ඇය පසුගියදා මා නොවන මම වැඩසටහන ඔස්සේ පෙන්වා සිටියා. ඉතින් මේ දක්ෂ ළමා ගායන ශිල්පිනිය ඇගේ සංගීත කටයුතු පිළිබඳව මෙවර  අදහස් එක් කළේ මෙලෙසින්.


ඉතින් ආක්ෂා මේ දිනවල මොකද වෙන්නෙ?


පාසල් වාර විභාග කටයුතු පසුගිය දින කිහිපයේම තිබුණා. ඉතින් අධ්‍යාපන වැඩකටයුතුත් කරමින් මගේ කලා කටයුතුත් කරගෙන යනවා.


දුව ලංකාවේ ඉන්න ළමා ගායිකාවන් අතරින් ජනප්‍රියම ගායිකාවක්. කොහොමද ඔබට රසික රසිකාවියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?


මම පුංචි කාලයේ ඉඳලාම ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ලැබුණා. ඒ වුණාට ඉස්සර හිටිය ආක්ෂා නෙවෙයි දැන් ඉන්නේ. ඒ කාලේ මම ගොඩක් පොඩියි. බොහෝ දේවල් ගැන තේරුමක් තිබුණේ නැහැ. මට ගොඩක් නරක ප්‍රතිචාර ලැබුණේ “රෑ දවල්, ගීතයේ, “Yodeling” කොටස ගායනා කළ නිසයි. සාමාන්‍යයෙන් වේදිකාවක අපි ගායනා කරන්නේ වේග රිද්ම ගීතනේ. වේදිකාවක ගීත ගයනවිට ඒ


ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන්නේත් ඒ වගේ ගීත. ඒ නිසාම මට ගායනා කරන්න පුළුවන් වේග රිද්ම ගීත පමණයි කියලා සමාජ මාධ්‍යවල පළමුවන පෝස්ට් මම දැක්කා. ඉතින් මම හිතුවා මට ලයාන්විත ගීතත් ගායනා කරන්න පුළුවන් බව පෙන්නන්න ඕනේ කියලා. ඉතින් ඉස්සර මට නරක ප්‍රතිචාර ලබා දුන් පිරිසත් දැන් මට හොඳ ප්‍රතිචාර ලබා දෙනවා.


ගීත ගායනයේදී දුවගේ වැඩි රුචිකත්වයක් තිබෙන්නේ මොනවගේ ගීතවලටද?


මම හැම වර්ගයේම ගීත ගායනා කරන්න කැමැතියි.  මම ගොඩක්ම කැමැතියි මාව අහන් ඉන්න අය කැමැති ගීත ගායනා කරන්න.


දුවට ගායන කැමැත්තක් ඇති වුණේ කොහොමද කියලා දැනගන්න කැමැතියි?


මම අවුරුදු තුනේ වගේ කාලේ ඉඳලා සින්දු කියනවා. බොහොම කුඩා කාලයේ ඉඳලාම මම රියැලිටි තරග රූපවාහිනියෙන් නරඹනවා. ඉතින් ඒ කාලයේ දවසක් මම අම්මට කියලා තිබෙනවා මටත් ටීවී එක ඇතුළට යන්න ඕනේ කියලා. ඉතින් අම්මා ලිට්ල්ස්ටාර් තරගයට මගේ අයැදුම්පතක් යොමු කරනවා. එහෙම තමයි මම ගීත ගයන්න යොමු වුණේ.


පොඩි කාලයේ දුව ගීත ගායනා කරද්දී ඇතැම් පිරිස් දුවව විවේචනය කළා. නමුත් අද ඔවුන්ම ඔබව අගය කරනවා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?


පිරිසක් මට කැමැති වෙද්දි තවත් පිරිසක් මට අකැමැති වෙන්න පුළුවන්. අපි ගායනා කරන ගීතය අනුව තමයි ඔවුන් අපට කැමැතිද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඉතින් ඉස්සර බැනපු අයත් දැන් හොඳ කියන එක ගැන ගොඩක් සතුටුයි.


ඔබ ඉගෙනගන්න දරුවෙක් ලෙස ප්‍රසංගවලට සහභාගි වීම අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවෙයිද?


මම ගොඩක් වෙලාවට ෂෝ භාරගන්නේ සෙනසුරාදා, ඉරිදා කියන දවස්වල. මොනයම් හෝ  හේතුවක් නිසා පාසල් වැඩකටයුතු අතපසු වුණොත් මගේ නිවෙසට පැමිණ උගන්වන ගුරුවරුන්ගෙන් අතපසුවෙන පාඩම් ඉගෙන ගන්නවා. මගේ පාසලේ යාළුවොත් අතපසුවන පාඩම්වල නෝට්ස් දීලා මට උදවු කරනවා.


කුඩා දරුවෙක් වන ඔබට ප්‍රසංග එක්ක කාර්යබහුල වීම වෙහෙසකර නැද්ද?


මම පුංචි කාලේ ඉඳලම සින්දු කියනවා. ඉතින් ඒක මට මහන්සියක් නෙවෙයි. සින්දු කියනවා කියන්නේම හරියට මගේ විනෝදාංශය වගේ. ඉතින් මම ඒකට දැන් පුරුදු වෙලා. ඒ නිසා මට මහන්සියක් නැහැ.


වේග රිද්ම ගීත ගායනා කරමින් ඉඳලා දුව මා නොවන මම වැඩසටහන හරහා ලයාන්විත ගීත ගායනා කරනවා. ඒ වෙනසට හේතුව මොකක්ද?


එහෙම විශේෂ හේතුවක් නැහැ. මම කැමැතියි සෑම වර්ගයකම ගීත ගායනා කරන්න. ඒ වගේම මට ගායනා කරන්න පුළුවන් වේග රිද්ම ගීත පමණයි කියූ පිරිසක් සිටියා. ඉතින් ඒ පිරිසත් දැන් දන්නවා මට අනෙක් ගීතත් ගායනා කරන්න පුළුවන් කියලා.


වේග රිද්ම ගීත ගායනා කරමින් ඉඳලා හදිසියේම ඔබ ලයාන්විත ගීත ගායනා කිරීම ඔබේම තීරණයක්ද?


ඇත්තටම ඒක මගේම තීරණයක්. වේදිකාවේ අපි වේග රිද්ම ගීත ගායනා කළත් බොහෝ දෙනා කැමැත්තක් දක්වන්නේ ලයාන්විත ගීතවලට. අනෙක් එක මා නොවන මම වැඩසටහනට ගැළපෙන්නෙත් ඒ වගේ ගීතනේ.


වේදිකාවේ ගීත ගායනා කිරීමට වඩා ගෘහස්ථ ප්‍රසංග කරන්න දුවට අදහසක් නැද්ද?


මගේ ගීත රටාව වෙනස් වීමත් සමඟ දැන් බොහෝ ආරාධනා ලැබෙන්නේ ගෘහස්ථ ප්‍රසංගවලට. නමුත් මම කැමැතියි මේ දෙකම කරගෙන යන්න.


ඉදිරියේදී දුවගේම නිර්මාණ අපට අසන්න ලැබේවිද?


ඔව්. මගේම නිර්මාණ තුනක් කරලා තිබෙනවා. නමුත් තවම ඒවාට විෂුුවල් නම් කරලා නැහැ. ඒ නිසා තමයි ගීත එළිදක්වන්න ටිකක් ප්‍රමාද.


වේදිකාවේ අඳින ඇ¾දුම් තීරණය කරන්නේ ඔබද?


ඇත්තටම නැහැ. අම්මා තමයි මගේ ඇ¾දුම් තෝරලා දෙන්නේ.


ළමා ගායිකාවක් ලෙස දුවගේ අනාගත සිහින ගැන කතා කළොත්?


මම කැමැතියි සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යන්න. මගේ දැනට තිබෙන බලාපොරොත්තුව තමයි සංගීත කථිකාචාර්යවරියක් වෙන එක. ඒ වගේම සංගීත ක්ෂේත්‍රයෙන් ලංකාවේ විතරක් නොවෙයි ලෝකෙම දන්න චරිතයක් වෙන්න මම කැමැතියි. හැබැයි ඒක පහසු නැහැ.


නිශානි සවින්දිකා රාජපක්ෂ



Previous Post Next Post